ක්‍රිකට් පිත්තට, බිලී පිත්තට පෙම් බැඳි යෝධ ඕස්ට්‍රේලියානුවා

4867
@Getty Images

“මා ඔහු එවමින් තිබූ පන්දු ගණන ගණන් කරමින් හිටියේ. මගේ අනාවැකියේ හැටියට ඔහුට පන්දුවාර තුනකට වඩා එහා යැවිය නොහැකියි. එදා සාජා නුවර අධික උෂ්ණත්වයක් තිබුණේ. “

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු මැතිව් හේඩන් තමන් ක්‍රිකට් පිටියේ සක්‍රීයව සිටි කාලයේ පටලා ගත් ගැටුමක් ගැන මතකය අවධි කළේ එලෙසය. කවදත් වලියට බර මැතිව් හේඩන්ගේ මෙවර ගොදුර වූයේ රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස් නම් විරුදාවලිය ලත් ලෝකයේ වේගවත්ම පන්දු යවන්නෙකු වූ ෂොයිබ් අක්තාර්ය.

බෝම්බ වරුසා මැද පැවති අනූදෙකේ නවසීලන්ත සංචාරය

1992 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. ගාලු මුවදොර අසල ටාජ් සමුද්‍රා හෝටලය අසලින් විශාල පිපුරුම්..

“එදා සාජා නුවර උෂ්ණත්වය දරාගත නොහැකි තැනක තිබුණේ. ඒ කිසිවක් මායිම් නොකරමින් ෂොයිබ් අක්තාර් පන්දු යැවීමට දිව ආවේ හතරේ සීමාව ආසන්නයේ සිට. මා කල්පනා කළා මට කළ හැකි දේ ගැන.

මගේ වාසිය සාජා නුවර උෂ්ණත්වය තිබෙනවා. එමෙන්ම එම තරඟයේ විනිසුරුවා ලෙසින් කටයුතු කළේ ඉන්දියානු ජාතිකයෙක් වූ ශ්‍රීනිවාසන් වෙන්කතරාඝවන්. එයත් මා කල්පනා කළා වාසියකට හරවා ගත යුතු බව. ඔව්, ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් අතර තදබල විරසකයක් තිබෙනවා. මා එය වහාම වාසියකට හරහා ගත යුතුයි.

 පන්දු යැවීමට හතරේ සීමාවේ සිට දිව එන ෂොයිබ් මා මැද හරියේ දී නවත්වනු ලැබුවා. හෙමිහිට වෙන්කතරාඝවන් වෙත ළං වූ මම ඔහුට පැවසුවා මේ පන්දු යවන්නා නිතරම මා අල්ලා වාග් ප්‍රහාරයක් එල්ල කරන බව.

විනිසුරු වෙන්කතරාඝවන්ට මා එ් කී දෙය ඉහ මුදුනින්ම පිළිගත්තා. ඔහු සෑහෙන දුරක් ඇවිදිමින් අක්තාර් වෙත ළඟා වී ඔහුට යම් උපදෙසක් ලබා දෙන ආකාරයක් දකින්නට ලැබුණා. ඔව් මගේ උපක්‍රමය සාර්ථකයි.

මා එවැන්නක් කළේ කාරණා දෙකක් හිතේ තබාගෙන. එකක් ඉන්දු පාකිස්තානු නොහොඳ, නෝක්කාඩුකම. අනෙක මා සිතුවා එවැන්නක් කිරීමෙන් වෙන්කතරාඝවන් විනිසුරුවරයා මට විරුද්ධව තීරණයක් දීමේ දී දෙවරක් සිතාවි කියා.

එදා වැඩි පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ෂොයිබ්ට හැකි වුනේ නැහැ. එකවරම දණහිස් දෙක මත අත් තබාගෙන ඔහු යම් කිසි අපහසුතාවයක් විවේකාගාරයට පෙන්නුවා. ඔව්, ඔහු ආබාධයකට ලක්වී ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙනවා. එලෙස ඉවත්ව යන අක්තර්ට කිට්ටු කර ඊළඟ තරගයේ දී හමුවෙමු කියන්නත් මා අමතක කළේ නැහැ.” හේඩන් කියන්නේ ආඩම්බරයෙනි.

“මා හැමවිටම අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඇවිස්සීමට කුමක් හෝ කියනවා. අනිත් පැත්තෙන් මා ආගමට සෑහෙන බර කෙනෙක්. ඉරිදාට පල්ලි යෑම කවදාවත් මා වරද්දන්නේ නැහැ. මිනිසුන් මගෙන් විමසනවා ඔබ එකිනෙකට වෙනස් චරිත දෙකක් ගත කරන්නේ කෙසේද කියා.

මම ඔවුන්ට කියනවා මම කවදාවත් ආගම අල්ලලා හෝ වර්ණවාදී භේද ඇති කරවන ආකාරයෙන් කා සමඟ හෝ පැටලී නැති බව.”

1971 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දී උපත ලද හේඩන් කාලයක් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ආරම්භ පිතිකරුවාගේ භූමිකාව රඟ දක්වමින් ලෝකයේ සෙසු කණ්ඩායම්වල ඇති කළේ ස්වල්ප තර්ජනයක් නොවේ.

Inside Edge (March 1993)

ඉහුමට පිහුමට, මාළු බෑමට විශාල රුචිකත්වයක් දැක්වූ හේඩන්ට තිබුණේ අති විශාල ශරීරකායකි. පෙනුමෙන්ම බොහෝ කණ්ඩායම්වල පන්දු යවන්නන්ට ඔහු ඇති කළේ දැඩි භීතියකි.

හේඩන්ගේ මාළු බෑමේ මෙම විනෝදාංශය නිසා ඔහුගේ ජීවිතය අහිමි වෙන්නට ගියේ වරක් දෙවරක් නොවේ. 1999 වසරේ දිනක හේඩන්, තම කණ්ඩායමේ සගයෙකු වූ ඇන්ඩෲ සයිමන්ඩ්ස් සහ තවත් මිතුරෙකු සමග බ්‍රිස්බේන් මුහුදේ මාළු බෑමට ගිය අතර තිදෙනා ගමන් කළ බෝට්ටුව ගැඹුරු මුහුද මැද පෙරළීමට ලක්විය. කවදත් පිහිනීමට උපන් හපන්කම් දැක්වූ හේඩන්, සයිමන්ඩ්ස් සහ මිතුරා පැය තුනක කාලයක් මුහුදේ පිහිනාගෙන විත් ජීවිතය බේරාගන්නට සමත් විය. ඔවුන් අනතුරට ලක් වූ මුහුදු පෙදෙසේ මෝරුන් බහුලව ගැවසෙන බව ප්‍රසිද්ධ කාරණාවකි.

ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දිනක දී ද බ්‍රිස්බේන් මුහුදු තීරයේ සර්ෆිං කිරීමට ගොස් හේඩන් අනූ නමයෙන් ජීවිතය බේරාගත්තේය.

හේඩන් සෑමවිටකම ගැටුණේ ප්‍රතිවාදී රටවල ක්‍රීඩකයින් සමග නොවේ. 1994/95 සුප්‍රකට වාර්ෂික ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේ එක්තරා තරගයක දී ඔහු තම රටේම ක්‍රීඩකයෙකු වූ ග්ලේන් මැක්ග්‍රාත් හා ගැටුණේය.

එවර ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියට යම් වෙනසක් කරමින් ඕස්ට්‍රේලියානු A කණ්ඩායමක් එක් කරන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණි. මැක්ග්‍රාත් ඕස්ට්‍රේලියානු ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කළ අතර හේඩන් ක්‍රීඩා කළේ ඕස්ට්‍රේලියානු A  කණ්ඩායමටය.

එහි පළමු අවසන් මහා තරගයේ දී පිතිහරඹයේ යෙදෙමින් සිටි හේඩන් හිතාමතාම පන්දු යවමින් සිටි ග්ලේන් මැක්ග්‍රත්ගේ ඇඟේ හැපුණේය. පිළිතුරු ලෙස මැක්ගාත්, හේඩන්ව තල්ලු කළේය. දෙදෙනා අතර යම් වාග් සංග්‍රාමයක් ද ඇති විය. ජනමාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබා දුන්නේ පුළුල් ප්‍රචාරයකි.

“අපේ පුහුණුකරුවා ලෙසින් සිටියේ ග්‍රේග් චැපල්. විශාල ජනකායක් ඉදිරියේ අපි ක්‍රීඩා කරමින් සිටියේ. හැම දෙනාම උද්දාමයට පත්වෙලා හිටියේ. තාමත් මිනිස්සු එදා සිද්ධිය ගැන කතා කරනවා. අපි දෙදෙනාත් මෙම සිද්ධිය මතක් කරමින් හිනා වෙනවා. මගේ බිරිඳ කියනවා ඒ සිද්ධිය අමතක කරන්න දැන් කාලේ හරි කියල.” හේඩන් පසු කලෙක ප්‍රකාශ කළේය.

එවන් චරිතයක් වූ හේඩන් 2007 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළේය.

දකුණු අප්‍රිකානුවන්ට, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ නවසීලන්තයට එරෙහිව ශතක වාර්තා කළ හේඩන් එවර ලෝක කුසලාන තරගාවලිය නිමා කළේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. තරගාවලිය පුරාවට හේඩන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 659ක් විය. විශේෂයෙන්ම මූලික වටයේ තරගයක දී ෂෝන් පොලොක්, ජැක් කලිස් ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු බලඇණියට එරෙහිව ඔහු දියත් කළ ප්‍රහාරය බිහිසුණු එකක් විය.

Sports Kreeda

“දකුණු අප්‍රිකානු තරගයට පෙර කණ්ඩායම් හමුවේ දී සුපුරුදු විදියට ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ගැන සාකච්ඡා කරන්න මම තීරණය කළා. ඒ වෙද්දි ෂෝන් පොලොක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නෙක්. මම පොලොක්ගේ නම කියන කොටම හේඩන් සහ ගිල්ක්‍රිස්ට් එක දෙදෙනාම කිව්වා ඔහු ගැන කතා කිරීමට අනවශ්‍ය බව. මම පුදුමයට පත්වුනා. ඔවුන් දෙදෙනාම කිව්වා අපි ඔහුට මුල්ම පන්දුවේ ඉඳලාම වේගයෙන් පහර දෙන්න හිතාගෙන ඉන්නේ කියල. කියපු විදියටම ඔවුන් එය සාර්ථකව කළා. හේඩන් කිසිම අවස්ථාවක පොලොක්ට ස්ථාවර වෙන්න ඉඩ දුන්නේම නැහැ”

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පසුව මැතිව් හේඩන් දකුණු අප්‍රිකානුවන් අසරණ කළ බිහිසුණු ඉනිම ගැන විස්තර කළේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<