ලෝක කුසලානයේ විස්සයි විස්ස ගැසූ අපි

ලෝක කුසලානයේ නෑසූ කතා (08)

298
www.icc-cricket.com

විස්සයි විස්ස තරග අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය තරග රටාවක්. නමුත් විස්සයි විස්ස තරග ලෝකයේ ජනප්‍රිය වෙන්න බොහෝ කාලයකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්තරා අපූරු ආකාරයේ විස්සයි විස්ස තරගයකට එක්වුනා. මේ තරගය වාර්තා පොත් අතරට ගියේ නැති නිසාම බොහෝ දෙනෙක් දන්නේ නෑ.

​කල්කටාවේ​ ​දී වාසියට පැරදුණ කාසිය​

1996 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සැලසුම් සකස් කරන්නේ අවුරුද්දකට දෙකකට කලින්. නායක අර්ජුන රණතුංග…

1975 ජුනි මස හත්වැනිදා මැන්චෙස්ටර්’හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මුල්ම වතාවට ජාත්‍යන්තර එක්දින තරගයකට ක්‍රීඩා කළා. ඒ පෘඩෙන්ෂල් ලෝක කුසලානයේ තරගයකට. එදා අපේ ප්‍රතිවාදීන් වුණේ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම. පන්දුවාර 37.2ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 86කට සීමා කරන්නට එදා කොදෙව් වේගපන්දු යවන්නන් සමත් වුනා.

ශ්‍රී ලාංකික පිතිකරුවන් අතරින් යාන්තමින් හෝ සාර්ථකවන්නට ලැබුණේ දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටි ඩී. එස්. ද සිල්වාට පමණයි. ඔහු ලකුණු 21ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළා. පන්දු යැවීමේ දී කොදෙව් කණ්ඩායමේ බර්නාඩ් ජූලියන් ලකුණු 20කට කඩුලු හතරක් දවාගෙන තිබුණා.

පන්දුවාර විස්සක් ඇතුළත එක් කඩුල්ලක් පමණක් දැවී ඉතාම පහසුවෙන් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නට අත්දැකීම් සහිත බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් සමත් වුනා. කොදෙව්වන් වෙනුවෙන් රෝයි ෆ්‍රෙඩ්රික්ස් ලකුණු 33ක් ලබා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ බිඳ වැටුණ එකම කඩුල්ල දවා ගත්තේත් ඩී. එස්. ද සිල්වා විසින්. මෙම පරාජය සීමිත පන්දුවාර ක්‍රීඩා රටාවට ආධුනික ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට එල්ල කළ මානසික පීඩනය සුළුපටු වුණේ නැහැ.

මේ තරගය නරඹන්න එදා 5000 විතර ප්‍රේක්ෂකයන් පිරිසක් මැන්චෙස්ටර්වලට ඇවිත් හිටියා. තරගය හිතුවටත් වඩා ගොඩක් කලින් ඉවර වෙච්ච නිසා බොහෝමයක් දෙනා සෑහෙන අපහසුතාවයට ලක්වුනා.

පන්දුවාර හැටක ක්‍රිකට් තරගයක් නරඹන්නට ලක ලෑස්ති වෙලා ආපූ ගොඩක් ගාව තමන් ගෙනාපූ කෑම පාර්සල්, බීර වගේ දේවල් එහෙමම ඉතුරු වෙලා තිබුණා. කණ්ඩායම් දෙක අතර නැවත ප්‍රදර්ශන තරගයක් පවත්වන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වන්නට ප්‍රේක්ෂකයින් කටයුතු කළේ ඒ අනුවයි.

ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම අනුව දෙපිලටම පන්දුවාර විස්ස බැගින් වූ නිල නොවන මට්ටමේ ක්‍රිකට් තරගයක් සංවිධානය කරන්නට එදා සංවිධායකයින්ට සිදු වුනා. මෙම තරගයට නැවත වතාවක් ප්‍රවේශපත් නිකුත් කළේ නැහැ. කලින් තරගය වෙනුවෙන් මිලට ගත් ප්‍රවේශපත්වලින්ම මේ තරගයත් නැරඹීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට ලැබුණා

මෙලෙස ආරම්භ වූ ප්‍රදර්ශන තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ නිත්‍ය නායක ක්ලයිව් ලොයිඩ් වෙනුවට ලාන්ස් ගිබ්ස්. මෙකී විස්සයි විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ කොදෙව් කණ්ඩායම. ඔවුන් තමන්ගේ පන්දුවාර විස්ස තුල දී ලකුණු 141 ලබා ගත්තා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ පන්දුවාර  විස්ස තුළ දී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් දුලීප් මෙන්ඩිස් මේ තරගයේ දී අනගි අර්ධ ශතකයක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු විස්සක ජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වුනා.

මේ තරගය ඉතාම සුවිශේෂී එකක් වශයෙන් ඉතිහාසයට එක්වන්නේ එකම කණ්ඩායම් දෙකක් එකම විනිසුරු මඩුල්ලක් සහ ප්‍රේක්ෂකයන් පිරිසක් හමුවේ එකම දිනයක දෙවරක් ක්‍රීඩා කිරීම නිසායි. ක්‍රිකට් ඉතිහාසයේම එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව ද එය විය හැකියි.

ඉන්දියාවට සචින් හිමි කර දුන් 1983 ලෝක කුසලානය

2019 වසර මුල පැවති ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි පැවසුවේ ඉන්දීය කණ්ඩායම ලද ජයග්‍රහණය 1983 ලෝක කුසලානය හා සමානව හෝ ඊට ඉහළින් තැබිය හැකි ජයග්‍රහණයක් බවයි. මෙම ප්‍රකාශය නිසා බොහෝ ඉන්දියානුවන්ගේ විවේචනයට ලක්වන්නට ශාස්ත්‍රිට සිදු වුනා.

ඉන්දියානුවන් ප්‍රකාශ කරන පරිදි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන්නේ මෙම ලෝක කුසලානයයි. අද වෙද්දී ඉන්දියානුවන්ට ක්‍රිකට් කියන්නේ තවත් ආගමක් කිව්වොත් වැරදි නැහැ. අද ඉන්දියාව ලෝක ක්‍රිකට් බලවතා වීමේ ගමන ආරම්භ වූයේ 1983 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවයි.

ඉන්දියානුවන් දේවත්වයෙන් සලකන සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවට හිමි වන්නේ 1983 ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස බවයි කියවෙන්නේ.

සචින් තෙන්ඩුල්කාර් යනු ඉතාම කුඩා අවධියේ දී ක්‍රිකට් ක්‍රීඩාව හා පෙමින් බැඳුණු දරුවෙක්. ඉතාම කුඩා කාලයේ දී ම තමන්ගේ වැඩිමහල් සහෝදරයින් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට ඔහු පුරුදුව සිටියා.

නමුත් 1983 ලෝක කුසලානය ඇරඹෙන සමය වන විට සචින් තෙන්ඩුල්කාර් උග්‍ර විම්බල්ඩන් සහ ටෙනිස් උමතුවකින් පෙළුණා. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වුණේ සුප්‍රකට ඇමෙරිකානු ක්‍රීඩක ජෝන් මැකෙන්රෝ. සචින් කෙතරම් මැකෙන්රෝ උන්මාදයකින් පෙළුණේ ද යත් ඔහු තමාගේ කැරලි ගැසුණු කොණ්ඩය මැකෙන්රෝ ආකාරයෙන් සකසා ගෙනයි සිටියේ.

අසල්වැසියන් තමාට මැකෙන්රෝ නමින් අමතනවාට ඔහුගේ තිබුණේ අසීමිත ආශාවක්. ඔහුගේ සම වයසේ දරුවන් මෙන්ම සචින්ගේ වැඩිමහල් සහෝදරයින් නැවත ක්‍රිකට් ක්‍රීඩාව වැඩි අවධානයක් දෙන ලෙස කෙතරම් පෙරත්ත කලත් සචින්ගේ ටෙනිස් උමතුව නම් සංසිඳුණේ නැහැ. ඔහු ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අමතක කර තිබුණා.

ඉන්දියාවට වර්ණ රූපවාහිනිය මුල්ම වතාවට පැමිණියේ 1982 වසරේ දීයි. ඒ වසරේ පැවති දිල්ලියේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලිය රූපවාහිනියේ සජීව ලෙසින් විකාශය කෙරුණා. ක්‍රීඩාව වටා තරුණ පිරිස් උනන්දුවක් දක්වන්නට එයිනුත් සෑහෙන බලපෑමක් ඇති වුනා.

කරුණු කාරණා මෙසේ වෙද්දී සචින්ගේ සිතිවිලි සියල්ල වෙනස් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. 1983 කපිල් දේව්ගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනිද්දී බොහෝ තරුණ පිරිස් නැවත රූපවාහිනිය වටා එක්වෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගත් බවයි කියවෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව අමතක කර ඉන් ඈත් වී සිටි සචින් තෙන්ඩුල්කාර් නම් දරුවා ද ඉන් එක් අයෙක්. එදා කපිල් දේව් ප්‍රමුඛ ඉන්දියානුවන්ට ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකිවූවා නම් සචින් තෙන්ඩුල්කාර් වැන්නෙකු බිහි නොවීමට වැඩි ඉඩකඩක් තිබූ බවයි ඒ නිසා බොහෝ දෙනා පවසන්නේ.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<