​සුනිල් ගවස්කාර් ඉන්දියානුවන්ට ක්‍රිකට් එපා කරවූදා​

ලෝක කුසලානයේ නෑසූ කතා (03)

1012
Getty Images

1975 වසරේ මුල්ම වරට ලෝක කුසලාන තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වුනා. එහි මංගල තරගයට සහභාගී වූ රටවල් දෙක වූයේ එංගලන්තය සහ ඉන්දියාව.

මෙම තරගයේ ඉන්දියානු ඉනිම අතරතුර එක්තරා ඉන්දියානු  ප්‍රේක්ෂකයෙකු තරගය පැවති ලෝඩ්ස් ක්‍රීඩා පිටියට කඩා වැදුණා. ඒ අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර්ගෙන් ඔහු යම් විශේෂ ඉල්ලීමක් කළා. එනම් මීට වඩා උද්‍යෝගයකින් පිතිහරඹයේ යෙදෙන ලෙස. මෙම සිදුවීමේ පසුබිම් කතාව අද අපි මෙහි ඔබට ගෙන එනවා.

පන්දු යවන්නන්ට උන්හිටිතැන් අමතක කරවූ සනත්

1996 ලෝක කුසලාන තරගාවලියේ දිල්ලියේ දී පැවති මූලික වටයේ එක් තරගයක දී මනෝජ් ප්‍රභාකර්ට…

Getty Images

මෙම  තරගය පැවැත්වුණේ 1975 වසරේ ජුනි 7 වෙනිදා. එදා ලන්ඩන් නුවරට හොඳින් හිරු පායා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම උචිත කාලගුණයක් පෙන්නුම් කරපු දවසක්. තරගයේ කාසියේ වාසිය දිනූ  එංගලන්ත නායක මයික් ඩෙනෙන්ස් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය එංගලන්ත පිළට ලබා ගත්තා.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට එක්වුණේ ඩෙනිස් ඒමිස් සහ ජෝන් ජේම්සන්. මුළු ලකුණු සංඛ්‍යාව 54ක් වෙද්දී එංගලන්ත කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස ජෝන් ජේම්සන් දැවී ගියත් ඉන්පසු පසු පිටියට එක්වූ කීත් ෆ්ලෙචර්, ඩෙනිස් ඒමිස් විශාල සබඳතාවයක් ගොඩ නගා ගත්තා. ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම ශතකය වාර්තා කරගත් ඩෙනිස් ඒමිස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 137ක්. කීත් ෆ්ලෙචර් එංගලන්ත ඉනිමට ලබා දුන් දායකත්වය ලකුණු 68ක්. එංගලන්ත ඉනිමේ අවසාන භාගයේ දී කඩුල්ලට පැමිණි ක්‍රිස් ඕල්ඩ්ගේ වේගවත් අර්ධ ශතකය නිසා පන්දුවාර 60 අවසානයේ එංගලන්ත ඉනිම කියවුණේ කඩුලු හතරක් දැවී ලකුණු 334ක් ලෙස. එවැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම 1975 වන් කාලයක කිසිදු කණ්ඩායමකට ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසුණේ සුනිල් ගවස්කාර් සමඟින් එක්නාත් සොල්කාර්. විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට තිබුනත් ගවස්කාර් පෙන්නුම් කළේ අතිශය මන්දගාමී පිති ප්‍රහාරයක්. එදා තරෙගය නරඹන්නට පැමිණ සිටි ඉන්දියානු ප්‍රේක්ෂකයින් පවා ගවස්කාර් ඉතා සෙමින් පන්දුවට පහර දෙමින් ක්‍රියාත්මක කළ මන්දගාමී පිතිහරඹයට දැක්වූයේ දැඩි අකමැත්තක්.

වරක පිටියට කඩා වැදුණ ඉන්දියානු ප්‍රේක්ෂකයෙකු විමසුවේ මේ ආකාරයෙන් සෙමින් පන්දුවට පහර දෙන්නේ ඇයි ද කියා. එමෙන්ම උද්‍යෝගිමත්ව මේ ලකුණු සංඛ්‍යාව හඹා යෑමට උත්සාහ කරන ලෙස ප්‍රේක්ෂකයා ගවස්කාර්ගෙන් සහ ඔහුගේ සහායක පිතිකරුවාගෙන් ඉල්ලීමක් කළා.

Getty Images

ප්‍රේක්ෂකයාගේ ඉල්ලීම කෙසේ වුවත් ගවස්කාර් තම පිතිහරඹය කිසිලෙසකින්වත් වෙනස් කළේ නැහැ. නියමිත පන්දුවාර 60 අවසාන වන විට ඉන්දියානු කණ්ඩායම කඩුලු තුනක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136ක්.

තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට ඉතාම වේදනාකාරී අත්දැකීමක් එක් කළ සුනිල් ගවස්කාර් ඉන්දීය ඉනිම අවසානයේ නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 36ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 174කට මුහුණ දී තිබුණා.

ගවස්කාර්ගේ මෙම ක්‍රියා පටිපාටිය බොහෝ දෙනෙකු දරුණු අන්දමින් විවේචනය කළා. ඔහුට තමන් කළ දේ පිළිබඳව නිදහසට කරුණු පවා ඉදිරිපත් කරන්නට නොහැකි තත්වයකයි පසුවුණේ.

ගවස්කාර් ඇතුළු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි ඇතමුන් ප්‍රකාශ කළේ මෙය නව තරග රටාවක් නිසා ඉන්දියානුවන්ට එයට හැඩ ගැසීමට අපහසු වූ බවයි.

ඉන්දියානු කණ්ඩායමේ සහායට පැමිණි තවත් පිරිස් පැවසුවේ අවසන් වරට ඉන්දීය කණ්ඩායමක් ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරද්දී එක් ඉනිමක ලකුණු 42කට දැවී ගිය බියකරු මතකය ඉන්දියානු පිතිකරුවන්ගේ මනසේ හොල්මන් කළ බවයි.

නමුත් ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරිත්වය දැරූ ජී. එස් රාම්චන්ද් මහතා ගවස්කාර්ගේ ඉනිම ගැන පැවසුවේ මෙවැන්නක්.

Getty Images

“ක්‍රිකට් පිටියේ මා දැක ඇති නින්දිතම සිදුවීම් වලින් එකක්. මා ඔහුගෙන් නිදහසට කරුණු විමසූ විට කීවේ ක්‍රීඩා කළ තණතීරුව තරමක මන්දගාමී එකක් බවත් පහරවලට යොමු වීම තරමක් අපහසු වූ බවත්. ඒක මහ විකාර කතාවක්. එංගලන්ත කණ්ඩායම ලකුණු තුන්සීයකට එපිට ලබා ගත්තේත් මෙම තණතීරුව මතයි. ඔහු කිව්වා එංගලන්ත ලකුණු සංඛ්‍යාව හඹා යෑමට අපහසු එකක් බව. නමුත් ගවස්කාර් එදා පන්දුවට පහර දුන් ආකාරය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකියි.”

ගවස්කාර් මේ ආකාරයෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දියානු නායක ශ්‍රීනිවාසන් වෙන්කතරාඝවන් හා තිබූ අමනාපයක් නිසා බව තවත් ජනප්‍රිය මතයක්. තරගයට තෝරාගත් කණ්ඩායම ගැන ගවස්කාර් පසුවූයේ යම් අකමැත්තකින් බව ඒ සමඟම කියවුණි. නමුත් ගවස්කාර්ගේ මන්දගාමී පිතිහරඹයට පාදක වූ සත්‍යය කාරණාව ස්ථීර වශයෙන්ම කියන්නට කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ.

ගවස්කාර් මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට කිසිවක් ප්‍රකාශ කළේ නැතිවුවද පසු කලෙක මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නට තීරණය කර තිබුණා.

“ඇත්තටම මම හොඳින් දස්කම් අතර හිටියේ නැහැ. විශේෂයෙන්ම තරගයේ මා ක්‍රීඩා කළ දෙවැනි පන්දුවේ දී ම මා කඩුලු රකින ඇලන් නොට් අතට උඩපන්දුවක් ලබා දුන්නා. නමුත් පන්දු රකින කණ්ඩායමේ කිසිවෙකු ඉල්ලීමක් කළේවත් නැහැ. විනිසුරු එය දැවී යෑමක් ලෙස නම් කළෙත් නෑ. එය මගේ මනසට විශාල බලපෑමක් කළා. ඔබ හොඳින් මගේ ඉනිම නිරීක්ෂණය කළොත් දැනේවි මා මුල් පන්දුවාර කිහිපයේ පහරවල් කිහිපයක් එල්ල කිරීමට උත්සාහ කළ බව. නමුත් ඒ සියල්ල මට හුරුපුරුදු තාක්ෂණානුකූල පහරවල් නොවෙයි. ඇත්තටම මා ක්‍රීඩා කළ දුර්වලම ඉනිමක් ඒක”ෙ

එදා ගවස්කාර් සමඟ පන්දුවට පහ රදුන් අන්ෂුමාන් ගයික්වාඩ් පවසන්නට තිබුණේ මෙවැන්නක්.‍

ඇත්තටම මටත් හිතාගන්න බැරි වුනා මොකක්ද සිදු වුණේ කියල. ගවස්කාර් මට වඩා සෑහෙන අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුට උපදෙස් දෙන්නට මට අයිතියක් නැහැ. ඒ වගේම පිටිය මැද සිටින විට මේ ලකුණු හඹා යන්නේ කෙසේද කියා අපි දෙදෙනා කතා කළෙත් නැහැ. මා වැඩි අවධානයක් යොමු කළේ මගේ ඉනිම ගොඩනගා ගන්නේ කෙසේද යන කාරණාවට. ඉන්දියානු ඉනිම අවසානයේ ක්‍රීඩක විවේකාගාරයට ආ ගවස්කාර්ට විරුද්ධව කවුරුත් කිසිම දොසක් කිව්වෙත් නැහැ.‍ෙ

ගවස්කාර්ට පවා නිදහසට කරුණු කියන්නට නොහැකිවූ මෙම මන්දගාමී ඉනිම ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ ආත්මාර්ථකාමී ඉනිමක් ලෙස මෙන්ම විශාල කළු පැල්ලමක් ලෙස අදත් ඉන්දීය ක්‍රිකට්ලෝලීන් හඳුන්වනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<