ක්‍රිකට් ගහන්න මට නිවාඩු ඕනෑ

ලෝක කුසලානයේ නෑසූ කතා (23)

828

කයිල් මැකලන් අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන්නෙකි. 2007 ලෝක කුසලානයේ දී මැකලන් අමුතුම ඉරණමකට මුහුණ දුන්නේය. 

Image courtesy : Getty Images

කයිල් මැකලන් පූර්ණ කාලීනව අයර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ අයෙකු නොවේ. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. මැකලන් ගුරු වෘත්තියට අමතරව අර්ධ කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත විය. ඔහු ගුරු වෘත්තියේ නිරත වූයේ බෙල්ෆාස්ට් හී පාසලක ශාරීරක අධ්‍යාපනය පිළිබඳ ගුරුවරයෙකු ලෙසිනි. 

මැකලන් 2007 ලෝක කුසලානයට පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු ලෝක කුසලානය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දේශයට පැමිණෙන්නේ ට්‍රෙන්ට් ජොන්ස්ටන්ගේ උපනායකයා ලෙසිනි. එලෙස ආ මැකලන් තමා ඉගැන්වූ පාසලෙන් නිවාඩු ලබාගෙන පැමිණියේ මූලික වටයේ තරග සඳහා පමණි.

අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට ක්‍රීඩා කළේ D කාණ්ඩයෙනි. ඔවුන් සමඟ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන්, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙම කාණ්ඩයේ ක්‍රීඩා කරන ලදි.

මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව

2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර…..

අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. එදා එම තරගය නිමාව දුටුවේ ලකුණු සමවීමෙනුයි. පන්දුයැවීමේ දී සාර්ථකම අයර්ලන්ත පන්දු යවන්නා වෙමින් කඩුලු දෙකක් දවා ගන්නට මැකලන් සමත්විය. 

අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානය ඉතිහාසයේ විශාලතම පෙරළියක් කරමින් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරාජය කළේ ඔවුන් මූලික වටයේ ක්‍රීඩා කල දෙවැනි තරගයේ දී ය. පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ අභාග්‍යසම්පන්නම දිනය ලෙස එය හැඳින්වූවාට වරදක් නැත. පාකිස්තානු පරාජයට සෑහෙන දායකත්වයක් දෙමින් මැකලන් මෙම තරගයේදීත් කඩුලු දෙකක් දවා ගත්තේය.

මෙම අනපේක්ෂිත පාකිස්තානු ජයග්‍රහණයත් සමඟ අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාවක් ලැබුණි. නමුත් මැකලන් මුහුණ දී සිටියේ විශාල ප්‍රශ්නයකටය. අප්‍රේල් පළමු වෙනිදා දක්වා නිවාඩු ලබාගෙන පැමිණි මැකලන්ට තවත් කාලයකට තම නිවාඩුව දිගු කරගැනීමට සිදුවී තිබුණි. 

“මා නිවාඩු ලබාගෙන පැමිණියේ අප්‍රේල් පළවෙනිදා දක්වා පමණයි. නමුත් ලෝක කුසලානයේ සුපිරි අට වටය මාර්තු 27 සිට අප්‍රේල් 21 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. ඉතින් මට තවත් සති ගණනකින් මගේ නිවාඩුව දිගු කරගැනීමට සිදු වුනා.

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගයේ මට නායකත්වය දරන්න සිදු වුනා. ඒ ට්‍රෙන්ට් ජොන්ස්ටන්ගේ උරහිස ආබාධයකට ලක්වීම නිසා. මට කාසියේ වාසිය උරගා බැලීමට යෑමට තිබුණේ ලෝක පූජිත බ්‍රයන් ලාරා සමඟ. 

එදා මම මගේ පාසලේ වූ විදුහල්පතිවරයා ජෝන් ලොකට් වෙත දුරකතන ඇමතුමක් ලබා ගත්තා. මම ඔහුගෙන් ඇසුවා ඔබ අයර්ලන්ත කණ්ඩායමේ දස්කම් ගැන අවධානයෙන් ද සිටින්නේ කියා. එමෙන්ම මට තවත් සති කිහිපයකට නිවාඩු අවශ්‍යය බව. 

ඇත්තෙන්ම ඔහු දැන සිටියා කොදෙව් දේශයේ අප දක්වන දස්කම් ගැන. ඔහු කීවා ගුරු මඩුල්ලම මගේ දස්කම් ගැන අතිශයින්ම ආඩම්බර වන බව. එමෙන්ම අයර්ලන්ත ජාතිකයින් අපේ දස්කම් ගැන ඉතාම සතුටින් සිටින බව.

අපි සුපිරි අට වටයෙත් කුමක් හෝ පෙරළියක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි විශ්වාස කළා අපිට ලෝක කුසලානයේ දී අපට දැනෙන යමක් කළ හැකියාවක් ඇති බව. ටෙස්ට් වරම් නැති රටක් ලෙස අපව විවේචනය කළ අයට අපි කදිම පිළිතුරක් ලබා දුන්නා. එමෙන්ම අපි දන්නවා මෙවර ලෝක කුසලානයට පෙර තරග කිහිපයක් අයර්ලන්ත කණ්ඩායම දරුණු ලෙස පරාජය වුනත් පාකිස්තානය වැනි ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් පරාජය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව.” මැකලන් ප්‍රකාශ කළේය. 

ලෝක කුසලානයේ සුපිරි අට වටයේ දී අයර්ලන්තය වාර්තා කළේ එක් ජයග්‍රහණයක් පමණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගයේදීත් ලකුණු 25කට කඩුලු දෙකක් දවා ගැනීමට මැකලන් සමත්විය.

මැකලන්ට නිවාඩු ලබාදීමේ කටයුත්තට එවකට අයර්ලන්ත අගමැතිවරයා ද සක්‍රීයව දායකත්වයක් දැක්වූ බව දැන ගන්නට තිබුණි.

අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 39කට ක්‍රීඩා කළ මැකලන් එහි දී කඩුලු 39ක් දවා ගැනීමට සමත්විය.

ලෝක කුසලානය රැගෙන ඉගිළී ගිය ක්‍රිකට් ක්‍රීඩකයා.

\Cricket the Noble Art – Sunil Wettimuny

1996 විල්ස් ලෝක කුසලානය දිනා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂීම සංධිස්ථානයක්. ලෝක කුසලානය දිනා ගත් 96 වසරේ මාර්තු 17 වෙනිදා රාත්‍රියේම ශ්‍රී ලංකා කණ්ඩායම යූ. එල් 184 නම් විශේෂ ගුවන් යානයකින් ලාහෝරයේ  සිට කොළඹ බලා ගමන් ආරම්භ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට ඉඩ කඩ ලබා දීමට ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයේ පිරිසකට ලාහෝර් නුවර නැවතීමට සිදු වුනා. ලෝක කුසලානය සමඟ ඡායාරූප ගැනීමටත්, විවිධ සමරු තිළිණ ක්‍රීඩකයින් වෙත ලබා දීමටත් මගීන් අතර තිබුණේ විශාල තරගයක් බව පැවසෙනවා. මෙම ගුවන් ගමනේ සුවිශේෂීම කාරණාව වූයේ ගුවන් යානයේ නියමුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ සුනිල් වෙත්තමුණි කටයුතු කිරීමයි.

සුනිල් වෙත්තමුණි යනු ශ්‍රී ලංකා එක්දින තරඟ වංශකතාවේ එක්තරා සුවිශේෂී චරිතයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයක මුල්ම අර්ධ ශතකය වාර්තා කරගත්තේ වෙත්තමුණි විසින්. ඒ 1975 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව. එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ සුනිල් වෙත්තමුණි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිය දී අවාසනාවන්ත අයුරින් ජෙෆ් තොම්සන්ගේ කෙටි පන්දු කිහිපයක් දිගින් දිගටම ශරීරයේ වැදීම නිසා තුවාල ලබා පිටියෙන් ඉවත් වීමට එදා වෙත්තමුණිට සිදු වුනා. ඒ වන විට ඔහු ලකුණු 53ක් ලබා සිටියා.

Image courtesy : Prasanna Hennayake

එමෙන්ම 1979 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල්ම ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කළා. ඒ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 67ක් රැස් කලේත් සුනිල් වෙත්තමුණි විසින්.

එදා ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ලෝක කුසලානයත් රැගෙන ගුවන් නියමුවාගේ කුටියට ගොස් සුනිල් වෙත්තමුණි සමග මොහොතක් ගත කිරීමට ද අමතක කළේ නැහැ.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<