ලෝක කුසලාන ඉතිහාසයේ අමතක කළ නොහැකි ප්‍රින්ගල්වරු

ලෝක කුසලානයේ නෑසූ කතා (20)

1602

1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ දී නැගෙනහිර අප්‍රිකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි ඩොන් ප්‍රින්ගල්. 1975 ලෝක කුසලානයේ තරග දෙකක් ක්‍රීඩා කළ ප්‍රින්ගල් එහි දී කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැත. ඔහුට පිතිහරඹයේ යෙදෙන්නට වුනේත් නොම්මර එකොළහ ක්‍රීඩකයා ලෙස. ඔහු නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායමට එක්වූයේ කෙන්යාවෙනි. 

ලෝක කුසලානයට ගිය පාපන්දු ගෝල රකින්නා

1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේ…

ලෝක කුසලානය නිමා වී මාස හතරක් යන්නටත් පෙර ප්‍රින්ගල් නැවත කරළියට පැමිණියේය. ඒ තමන් ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්වීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙනි. කෙන්යාවේ පැවති පළමුපෙළ ක්‍රිකට් තරගයක් නිමා කොට යළි පැමිණෙද්දී ඔහු මෙලෙස අනතුරට ලක්විය. ඔහු එම තරගයේ දී ලකුණු 16කට කඩුලු 6ක් දවා ගත්තේය.

1932 එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ දී උපත ලද ඩොන් ප්‍රින්ගල් 50 දශකයේ තම රැකියාව වූ භූ නිර්මාණ උපදේශකවරයෙකු ලෙස කෙන්යාව බලා පිටත් විය. එසේ අප්‍රිකාවට සංක්‍රමණය වූ ඩොන් ප්‍රින්ගල් එක්දින වරම් දිනා ගන්නේ වයස අවුරුදු 43 දී ය.

ඩොන් ප්‍රින්ගල්ගේ මරණයෙන් අවුරුදු හතකට පසු ප්‍රින්ගල් නාමය නැවතත් කරළියට පැමිණියේය. ඒ ඩොන් ප්‍රින්ගල්ගේ පුත්‍රයා ඩෙරෙක් ප්‍රින්ගල් නිසාවෙනි. ඩෙරෙක් උපදින්නේ 1958 වසරේ නයිරෝබි නුවර දී ය. පියා නැගෙනහිර අප්‍රිකාව නියෝජනය කළත් ඩෙරෙක්  නියෝජනය කළේ එංගලන්ත කණ්ඩායමයි. ඔහු 1987, 1992 ලෝක කුසලාන දෙකටම එංගලන්තය නියෝජනය කළේය. 

ඩෙරෙක් ප්‍රින්ගල් යනු ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 44කට එංගලන්තය නියෝජනය කළේය. විශේෂයෙන්ම එංගලන්තය ඩෙරෙක්ගෙන් බලාපොරොත්තු වූයේ ඉයන් බෝතම් කළ කාර්‍යභාරයට සමාන එකක්ය.

1987 රියලයින්ස් ලෝක කුසලානයේ දී ඔහුට එතරම් සාර්ථක වීමට ලැබුණේ නැත. ඉන්දියානු උපමහද්වීපයේ දඟපන්දු යවන්නන්ට සුදුසු තණතිලි මත ඩෙරෙක් ප්‍රින්ගල්ගේ පන්දු යැවීම සැබැවින්ම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත. ඒ අනුව එවර තරගමාලාවේ ඔහු ක්‍රීඩා කළේ තරග කිහිපයකට පමණි.

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ සාර්ථකම එංගලන්ත පන්දු යවන්නෙකු වූයේ ඩෙරෙක් ප්‍රින්ගල්ය. සෑම තරගයක දී ම එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ ඔහු සිය පාලනයක් සහිත පන්දුකරණයෙන් ප්‍රතිවාදී කණ්ඩායම අඩපණ කළේය. විශේෂයෙන්ම පාකිස්තානය සමඟ පැවති අවසන් මහා තරගයේ දී පාකිස්තානු පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් පන්දු යවමින් ඔහු ලකුණු විසිදෙකකට කඩුලු තුනක් දවා ගත්තේය. නමුත් අවාසනාවකට අවසන් තරගයේ කඩඉම පැනගන්නට ඩෙරෙක් ප්‍රින්ගල් ප්‍රමුඛ ඉංග්‍රීසි කණ්ඩායමට හැකි වූයේ නැත.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඩෙරෙක් ප්‍රින්ගල් ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙක් ලෙස පුවත්පත් ගණනාවක් හා සම්බන්ධ විය.

ලෝක කුසලානයේ ආරම්භක තරගමාලාවට සහභාගී වූ ඩොන් ප්‍රින්ගල් මෙන්ම 1992 ලෝක කුසලාන තරගමාලාවේ අවසන් තරගයට එංගලන්තය ගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වූ ඩෙරෙක් ප්‍රින්ගල් ද ලෝක කුසලාන ඉතිහාසයේ අමතක කළ නොහැකි පිය පුතු යුගලකි.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වලට විශාල ආදර්ශයක්

ඉයන් චැපල් යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු මේ වන විට විස්තර විචාරකයෙකු ලෙස ඉමහත් කීර්තියක් අත්කරගෙන තිබේ….

පාකිස්තානුවන් අකැමැති වූ විනිසුරුවරයා

1996 විල්ස් ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවට පැමිණීම වර්ජනය කළේය. එලෙසම එවර තරග විනිශ්චයට පැමිණි යම් විනිසුරුවරයෙකුටත් කණ්ඩායමකින් විරෝධයක් එල්ල විය. ඔවුන් ඉල්ලා සිටියේ අදාළ විනිසුරුවරයා තමන් ක්‍රීඩා කරන තරගයෙන් ඉවත් කරවන ලෙසයි.

1996 ලෝක කුසලානයේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර B කාණ්ඩයේ තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේ දී ය. මෙම තරගය සඳහා විනිසුරුවන් ලෙස තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ කේ. ටී. ෆ්‍රැන්සිස් සමඟ සිම්බාබ්වේ ජාතික ඉයන් රොබින්සන්ය. 

නමුත් තරගය ඇරඹීමට මත්තෙන් පාකිස්තානුවන් ඉයන් රොබින්සන් මෙම තරගය විනිශ්චය කිරීම ගැන දිගින් දිගටම විරෝධය ප්‍රකාශ කළේය. ඒ අනුව තරගය ඇරඹීමට මත්තෙන් ඉයන් රොබින්සන් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් පැමිණි ස්ටීව් බක්නර් අදාළ තරගය වෙනුවෙන් යොදාගැනීමට බලධාරීන්ට සිදු විය. 

නමුත් මෙම තරගය පාකිස්තානුවන්ට එතරම් යහපත් තරගයක් වූයේ නැත. පාකිස්තානු ආරම්භක පිතිකරුවා ආමීර් සොහේල් ශතකයක් ලබා ගත්ත ද දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රෝන්ජේගේ තුන් ඉරියව් දස්කම් ඊට ඉහළින් තිබුණි. ඒ අනුව මෙම තරගයෙන් කඩුලු පහක පහසු ජයක් අත්වුනේ දකුණු අප්‍රිකානුවන්ටය.

පියාගේ අපලය බිඳ දැමූ පුත්‍රයා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් ලෙස සම සත්කාරකත්වය දැරූ නවසීලන්තය හඳුන්වන්න පුළුවන්. නමුත් අනපේක්ෂිත ලෙස අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ලෝක කුසලාන ගමන නිමා කරන්නට නවසීලන්ත කණ්ඩායමට සිදු වුනා. 

ඕක්ලන්ඩ්හී ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පන්දුවාර පනහ ඇතුළත කඩුලු හතක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා. 

නමුත් තරුණ ඉන්සමාම් උල්හක් මෙල්ල කිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණේ නැහැ. උල්හක් ලබා ගත් පන්දු 37ක් තුළ වේගවත් ලකුණු 60 නිසා හතළිස් නමවැනි පන්දුවාරයේ දී ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට පාකිස්තානුවන්ට හැකි වුනා. මෙම පරාජය නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම පරාජයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

එවර නවසීලන්ත සංචිතයේ සිටි ක්‍රීඩකයෙක් රොඩ් ලැතම්. ඔහු අවසන් පූර්ව තරගයේ දී අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් පන්දු රැකීමේ යෙදුණා.

රොඩ් ලැතැම් මෙම අනපේක්ෂිත පාකිස්තානු පරාජයෙන් සති දෙකකට පසු රොඩ් ලැතම් පියෙකු බවට පත්වුනා. ඔහුට නම තැබුණේ තෝමස් විලියම් මැක්ස්වෙල් ලැතම් යනුවෙන්. 

1992 පාකිස්තානු පරාජයෙන් වසර විසිතුනකට පසු රොඩ් ලැතම්ගේ පුත්‍රයා තමාගේ පියාට කිරීමට නොහැකි වූ දෙයක් කළා. ඒ නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ සාපයක ආකාරයක් බඳු වූ අර්ධ අවසාන පූර්ව තරග බැම්ම බිඳ දැමීමෙන්. 

2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවතියේත් එදා වසර විසිතුනකට පෙර රොඩ් ලැතම් ඇතුළු නවසීලන්ත කණ්ඩායම පරාජය වූ ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ දී ම. ලෝක කුසලානය දිනා ගැනීමට ඉදිරියෙන්ම සිටි දකුණු අප්‍රිකානුවන් හඬවමින් නවසීලන්තය ජයග්‍රහණය කරා ගිය ද අවසන් මහා තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් එල්ල කළ අභියෝගය හමුවේ පරාජය වන්නට මෙවරත් නවසීලන්තයට සිදු වුනා.

වසර විසිතුනකට පෙර තමාගේ පියා සිටි කණ්ඩායමට පැනගන්නට නොහැකිවූ කඩඉම පැනගැනීමට එකම ක්‍රීඩාංගණයක දී ටොම් ලේතම් ඇතුළු නවසීලන්ත ක්‍රීඩකයින්ට හැකි වීම පුදුම සහගත සිදුවීමක්.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<