පන්දු යවන්නන්ට උන්හිටිතැන් අමතක කරවූ සනත්

ලෝක කුසලානයේ නෑසූ කතා (II)

513
Getty Images

1996 ලෝක කුසලාන තරගාවලියේ දිල්ලියේ දී පැවති මූලික වටයේ එක් තරගයක දී මනෝජ් ප්‍රභාකර්ට ඔහුට සුපුරුදු වේගපන්දු යැවීම නවතා දමා අතර මැද දී පිට දඟපන්දු යැවීමට සිදු විය. ඒ සනත් ජයසූරිය ප්‍රභාකර් ප්‍රමුඛ ඉන්දියානුවන්ට එරෙහිව දියත් කළ දරුණු ප්‍රහාරය නිසාවෙනි. ප්‍රභාකර්ගේ ක්‍රිකට් දිවියට තිත වැටුණේ සනත්ගේ මෙම අනුකම්පා විරහිත ප්‍රහාරය නිසාවෙන් බව නොරහසකි.

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක්….

මනෝජ් ප්‍රභාකර්ට මෙන්ම තවත් පන්දුකරුවෙකුට සනත් ජයසූරියගේ ප්‍රහාරය නිසා ප්‍රභාකර්ගේ ඉරණමටම මුහුණ දෙන්නට සිදු විය. එංගලන්තය සමඟ පාකිස්තානයේ ෆයිසලාබාද්’හි පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ෆිලිප් ඩිෆ්‍රෙයිටාස්ටත් සනත් ජයසූරියගේ දැඩි ප්‍රහාරයකට ලක්වී ඔහුට සුපුරුදු මද වේගපන්දු යැවීම පසෙකලා දඟපන්දු යැවීමට සිදු විය. සනත් ජයසූරිය මෙම එංගලන්ත තරගයේ දී පන්දු 44කින් ලකුණු 82ක් ලබා ගත්තේය. කිසිම පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි අන්දමේ සනත්ගේ මෙම ප්‍රහාරයට තිත තැබුණේ ජැක් රසල්ගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමක් නිසාය.

ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ලැබුණු අපූරු තෑග්ග.

2015 ලෝක කුසලානය ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට මෙන්ම නවසීලන්ත ජාතිකයින්ටත් හැඟීම්බර අවස්ථාවක් විය. එය තවත් තීව්‍ර කළ සිදුවීමක් ලෝක කුසලාන අවසාන මහා තරගයට පෙර සිදු විය.

1987 වසරේ දිනෙක ඇලන් බෝඩර් නම් අසහාය ඕස්ට්‍රේලියානු නායකයාට සිය මුල්ම ටෙස්ට් තරගාවලි ජය ලබා දෙන්නට ඔහු රිචර්ඩ් හැඩ්ලිගෙන් සමන්විත නවසීලන්ත පන්දු බලඇණියට එරෙහිව අවසාන පිතිකරුවා ලෙස පැමිණ පන්දු 18කට මුහුණ දුන්නේය. තරගයෙන් පසුව ඔහු වෙත පැමිණි නවසීලන්ත කඩුලු රකින්නා ඉයන් ස්මිත් තරග පන්දුව ඔහු වෙත ලබා දුන්නේය.

“මෙය ලැබීමට වඩාත්ම සුදුස්සා ඔබයි” ස්මිත් පැවසුවේය.

වසර කිහිපයකට පසුව ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලිට ඉහත කී ඕස්ට්‍රේලියානුවා හමුවූ අවස්ථාවක එදා ඉයන් ස්මිත් ලබා දුන් පන්දුව ගැන මතකය නැවත අලුත් කළේය.

“විට්නි, ඔබ සතුව ඒ පන්දුව තවමත් තිබෙනවා ද?”

“ඔව්, එය මා සතුව තිබෙනවා” ඕස්ට්‍රේලියානුවා පිළිතුරු දුන්නේය.

“මම ටෙස්ට් තරගවල කඩුලු පහ බැගින් දවා ගත් අවස්ථා තිස් හයෙන් මා සතුව නැත්තේ ඔය පන්දුව පමණයි.” හැඩ්ලි කනගාටුවෙන් පැවසුවේය.

“සමාවෙන්න, සර් හැඩ්ලි එය දැන් අයිති මටයි” ඕස්ට්‍රේලියානුවා පිළිතුරු බැන්දේය.

නමුත් අප කතානායක ඕස්ට්‍රේලියානුවා අදාළ පන්දුව නැවත ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලිට ලබා දෙන්නට තීරණය කර තිබුණි.

එය නැවත ලබා දෙන්නට ඔහු තෝරාගත්තේ එසේ මෙසේ අවස්ථාවක් නොවේ. වසර විසි හතකට පසුව 2015 ලෝක කුසලාන අවසාන මහා තරගයට පෙර මෙල්බර්න් නුවර පැවැත්වුණ උත්සවයක් අතරතුර වේදිකාවට නැගුණ ඕස්ට්‍රේලියානුවා ශ්‍රීමත් හැඩ්ලි වෙත පන්දුව පිරිනැමුවේය. එය දෙදෙනාටම ඉතා හැඟුම්බර අවස්ථාවක් විය.

“මෙය මාත් සමඟ අවුරුදු විසිහතක් ගත කළා. දැන් එය නියම සුදුස්සාට ලැබීමට කාලයයි.”

මයික් විට්නි නම් කාලයක් ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය ශක්තිමත් කළ මෙම ඕස්ට්‍රේලියානුවා පසු කාලයක ඕස්ට්‍රේලියානු රූපවාහිනී තිරයට නැතිවම බැරි චරිතයක් බවට පත්විය.

“එදා මම පිටියට යද්දී බෝඩර් මගේ පිටට තට්ටු කලා. ඔහු ඉතා අසීරුවෙන් හිනා වුනා පමණයි කුමක් හෝ කියන්නට හැදුවත් වචන පිටවුනේ නැහැ. ටෙස්ට් තරගාවලි ජයක් නොමැතිව අපි සෑහෙන කාලයක් ගත කළ නිසා ඔහු තරමක උද්දාමයට පත්වෙලා හිටියේ”

“එදා තරගය නිමා වී විවේකාගාරයට යන අතරතුර සර් හැඩ්ලි පැමිණ මගේ කරට අතක් දමා ගත්තා. මම දන්නවා උඹට බැට් එකක් උස්සගන්නවත් බෑ කියල. උඹ උඹේ රට වෙනුවෙන් ලොකු දෙයක් කළේ යැයි ඔහු කිව්වා. මට මා කළ වික්‍රමයේ බරපතලකම ඇත්තටම දැනුණේ ඒ අවස්ථාවේ දී”

සචින්ගේ මැජික් පිත්ත

1996 විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. නමුත් තරගාවලිය පුරාම අතිසාර්ථක වුණ එක්තරා ක්‍රීඩකයෙක් හිටියා ප්‍රතිවාදී කණ්ඩායමක. ඒ තමයි සචින් තෙන්ඩුල්කාර්. විල්ස් ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වුනේ ඔහු. ඒ දිනවල ඔහුට අමුතුම තාලයේ දේවත්වයක් ආරෝපණය වෙලා තිබුණේ. දැන් අපි කතා කරන්න යන්නේ ඔහු ලෝක කුසලානය වෙනුවෙන් භාවිතා කරපු අපූරු පිත්ත ගැන.

1996 ලෝක කුසලානය ආරම්භ වෙනවාත් එක්කම සචින් තෙන්ඩුල්කාර්ගේ පිත්තට අනුග්‍රහය දක්වන්න සමාගම් දෙකක් ඉදිරිපත් වෙනවා. නමුත් ඔහු මෙම අනුග්‍රාහක අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කරනවා ලෝක කුසලානය ඉදිරියේ තබාගෙන අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන නිසාත්, ලෝක කුසලානය කෙරෙහි තිබෙන අවධානය දිගටම රඳවා ගැනීමටත්.

දිනක් පුහුණු සැසියක් අතරතුර අජිත් වඩේකාර් භාවිත කළ සැහැල්ලු පිත්තක් දකින තෙන්ඩුල්කාර් එය වඩේකාර්ගෙන් ඉල්ලා ගන්නවා. එය සාමාන්‍ය පිත්තකට වඩා බරෙන් අඩු එකක්. තෙන්ඩුල්කාර්ට කුමන හෝ හේතුවකට මේ පිත්තට සෑහෙන ආශාවක් ඇති වෙනවා. ලෝක කුසලානය පුරාවටම තෙන්ඩුල්කාර් පිතිකරණයේ යෙදෙන්නේ වඩේකාර් පුහුණුවීම්වලට ගෙන ආ වැඩි වටිනාකමක් නැති මේ සරල පිත්තෙන්.

නමුත් තරගාවලිය පුරාවටම සාමාන්‍ය පිත්තක් යොදා ගෙන තෙන්ඩුල්කාර් රැස් කළ ලකුණු ප්‍රමාණය නම් තිබුණේ අසාමාන්‍ය මට්ටමක. ඔහු ලෝක කුසලාන තරගාවලියේ තරග හතක දී ලකුණු 523ක් රැස්කළේ ඉනිමකට ලකුණු 87.16 සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ඇත්ත වශයෙන්ම කල්කටාවේ පැවති අවසන් පූර්ව තරගයේ දී පවා සචින් තෙන්ඩුල්කාර් පිටියේ රැඳී සිටින තාක්කල් තණතිල්ලේ කිසිම අතුරු අන්ත්‍රාවක් පෙන්නුම් කළේ නැහැ. ඉතාම දක්ෂ ලෙස ලද අවස්ථාවෙන් රොමේෂ් කළුවිතාරණ විසින් ස්ටම්ප් කිරීමකට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාවට සචින්ගෙන් එල්ල වූ තර්ජනය සුළුපටු නැහැ.

තවත් නෑසු කතා සමඟින් ඊළඟ ලිපියෙන් හමුවෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<