නායකයාගේ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කළ සයිමන්ඩ්ස්

ලෝක කුසලානයේ නෑසූ කතා (16)

533
@Getty Images

2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් වඩාත්ම දායකත්වයක් දුන් ක්‍රීඩකයින් කිහිප දෙනා අතර ඇන්ඩෲ සයිමන්ඩ්ස් ද විය.

ලෝක කුසලාන තරගාවලියට පෙර සමයේ සයිමන්ඩ්ස් එතරම් දස්කම් අතර සිටියේ නැත. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තුන්කොන් තරගාවලියේ අවසන් තරග තුනේ දී ම ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු දොළහකි.

පිටියෙන් ඉවතට හයේ පහර ගැසූ නිසා දැවී ගිය ක්‍රීඩකයා

1975 ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පෘඩෙන්ෂල් ලෝක කුසලාන අවසන් ..

සයිමන්ඩ්ස්ගේ එක්දින තරග දිවිය දෙස හැරී බැලීමේ දී ද ඊටත් වඩා වෙනසක් තිබුණේ නැත. ඒ වන විට එක්දින ජාත්‍යන්තර තරග 54කට ක්‍රීඩා කර තිබූ සයිමන්ඩ්ස් රැස් කරගෙන සිටියේ අර්ධ ශතක දෙකක් පමණි.

නමුත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් දිගින් දිගටම සයිමන්ඩ්ස් වැන්නෙකුගේ තුන් ඉරියව් වටිනාකම කණ්ඩායමට ලබා දෙන දායකත්වය ගැන කතා කළේය. රිකී පොන්ටින් පවසන ආකාරයට ඔහු ක්‍රිකට් පිටියේ දැක ඇති විශිෂ්ටතම පන්දු රකින්නා ඇන්ඩෲ සයිමන්ඩ්ස්ය.

තම සහජ හැකියාව ඒ වන විටත් ක්‍රියාවට නංවන්නට නොහැකි වූ සයිමන්ඩ්ස් ගැන පොන්ටින්ගේ තිබුණේ කලකිරීමකි. 2003 ලෝක කුසලාන සංචිතයට සයිමන්ඩ්ස් ඇතුළු වන්නේ පොන්ටින්ගේ ඉල්ලීම නිසාය. සිය නායකයා තමා කෙරේ තිබූ විශ්වාසයට සයිමන්ඩ්ස් තරගාවලිය නිමා වන විට උපරිම සාධාරණීකරණයක් ඉටු කර තිබුණි.

“2003 ලෝක කුසලාන සංචිතයට තේරී ඇති බවට පුවත මට ලැබුණේ මා පුහුණුවීම්වල යෙදී සිටිය දී. කෙනෙකු මා වෙත පැමිණ පැවසුවා මා ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානුවන් සංචිතයට තෝරාගෙන ඇති බව. මා ඔහුගෙන් ඇසුවා ඔබට හොඳටම විශ්වාස ද කියල. ඔහු එය නිවැරදි ආරංචියක් බවට නැවත වතාවක් ස්ථීර කළා. මට ඇති වුණේ සෑහෙන පුදුමයක්. එකක් මා එතරම් දස්කම් අතර නොසිටීම. අනෙක බ්‍රැඩ් හොජ් වැනි ක්‍රීඩකයින් දේශීය තරගවල දී ඉහල දස්කම් දක්වන ක්‍රීඩකයින් ලෝක කුසලාන සංචිතයට තෝරා නොගැනීම. නමුත් මට ඒ වෙනුවෙන් කිරීමට කිසිවක් නොමැතිබවත් මගේ සේවය කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සූදානම් වීම හැර වෙනත් විකල්පයක් මට නොමැතිබවත් මට හැඟී ගියා.

2003 ලෝක කුසලානයේ අප ක්‍රීඩා කළ ආරම්භක තරඟය පැවැත්වුණේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. තරගයට පෙර මයිකල් බෙවන් ආබාධයකට ලක්ව සිටියේ. ඉකුත් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හමේ පැහැය අලලා කළ යම් වර්ණවාදී වදන් කිහිපයක් නිසා ඩැරල් ලීමන් තරග තහනමකට මුහුණ දීල හිටියේ. අප තවත් අසරණ කරමින් පාකිස්තානු තරගයට පෙරදා ෂේන් වෝන් නැවත ඕස්ට්‍රේලියාවට හරවා යැව්වා. ඒ තහනම් උත්තේජන ලබාගැනීමේ චෝදනාවකට ලක්වූ නිසා.

සෙසු කණ්ඩායම් සිතුවේ කරුණු කාරණා සිදු වන ආකාරය අනුව පහසුවෙන්ම ඕස්ට්‍රේලියානුවන් පරාජය කළ හැකියි කියා. ඇත්ත අපි යම් අසීරුතාවට මුහුණ දීල හිටියේ. නමුත් අප සතුව ඉතාම ධෛර්යවත් නායකයෙකු සිටියා. රිකී පොන්ටින් සෑම විටම විශ්වාස කළේ ඕනෑම තත්වයක් යටතේ අපට ජයග්‍රහණය කරන්නට පුළුවන් කියා.

කාසියේ වාසිය දිනා පාකිස්තානුවන් අපට පිතිකරණයට ආරාධනා කළා. ලකුණු පුවරුවේ ලකුණු 86 සටහන් විට අප කණ්ඩායමේ මුල්පෙළ කඩුලු හතරක් දවා ගැනීමට පාකිස්තානුවන් සමත් වුනා. ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩන්, ඩේමියන් මාටින් සහ ජිමී මහාර් ඒ වන විට සිටියේ විවේකාගාරයේ. පළපුරුදු පාකිස්තානු වේගපන්දු කරුවන් දෙදෙනා වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් හොඳම රිද්මයක සිටියේ.

හතරවැනි කඩුල්ල දැවී ගිය පසු මා පිටියට යෑමට නියමිතව සිටියා. නමුත් මම අවංකවම ඔබට කියන්නම් මට පිතිහරඹයට පිටිය මැදට යන්නට කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ. “

එදා ඇන්ඩෲ සයිමන්ඩ්ස් පිටියට පිවිසෙන කඩුල්ලේ රැඳී සිටියේ නායක රිකී පොන්ටින්ය.

“අද ඔබේ දවස. අවසානය දක්වා ඔබ කඩුල්ලේ රැඳී සිටිය යුතුයි” පොන්ටින් තමන් විශ්වාසයෙන් රැගෙන ආ ක්‍රීඩකයාට පැවසුවේය.

“ඇත්තටම මං එදා මගේ ක්‍රිකට් දිවිය වෙනස් කරන දවස කියා විශ්වාස කළේ නෑ. මම මගේ ඉනිම ආරම්භයේ දී උත්සාහ කළේ කෙසේ හෝ නොදැවී සිටීමට. වසීම් සහ වකාර් හොඳින් පන්දු යවමින් සිටියේ. විශේෂයෙන්ම වසීම්ට මුහුණ දීම කිසිලෙසකින්වත් ලෙහෙසි වුණේ නැහැ. වසීම් ඊට පෙර කිහිපවතාවක් පහසුවෙන්ම මා දවාගෙන තිබුණා.

ටික වේලාවක් පන්දුවට පහර දෙන විට මට යම් සැහැල්ලු ගතියක් දැණුනා. මම එයින් විනෝදයක් ලබන්නට වුනා.

මගේ ඉනිමේ අවසාන කොටසේ දී මම වසීම් අක්‍රම්ගේ පන්දුවකට මිඩ්-ඕන් කලාපය හරහා හයේ පහරක් එල්ල කළා. මගේ ක්‍රිකට් ජීවිතයේ මා එල්ල කළ විශිෂ්ටතම පහරක් ලෙස එය සලකන්න පුළුවන්.

මගේ ඉනිම අතර මැද වකාර් යුනිස් එවූ බීමර් පන්දු දෙක ගැනත් මා මෙහි දී මතක් කළ යුතුයි. ඔව් මම විශ්වාස කරනවා මගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඉනිම එය බවට. “

එදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණය දෙවනත් කරමින් සයිමන්ඩ්ස් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 143ක්. ඔහු ඒ වෙනුවෙන් මුහුණ දී තිබුණේ පන්දු 125කට පමණයි. එමෙන්ම පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් යූසෆ් දවා ගැනීමට හතරේ සීමාව ආසන්නයේ සිට විශිෂ්ට උඩපන්දුවක් සයිමන්ඩ්ස් විසින් රැක ගනු ලැබුවා. අසීරු අඩියක තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම යළි ගොඩ නගා ලකුණු 82ක ජයග්‍රහණයක් කරාගෙන යෑමට සයිමන්ඩ්ස් සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් පූර්ව තරගය ජය ගැනීමට ද සයිමන්ඩ්ස්ගේ පිත්තෙන් අගනා ලකුණු 91ක් වාර්තා වුනා.

“සිමෝ (ඇන්ඩෲ සයිමන්ඩ්ස්) කණ්ඩායම සමඟ බොහෝ කාලයක් හිටපු කෙනෙක්. නමුත් ඔහුට කවදාවත් ඔහුට කරන්න හැකි දේ ලෝකයාට පෙන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මා සිමෝ සමඟ ක්‍රීඩා කර තිබෙනවා. මා දැන සිටියා සිමෝ කුමන ආකාරයේ ක්‍රීඩකයෙක් ද කියා. සංචිතයේ අවසන් ක්‍රීඩකයින් කිහිප දෙනා තෝරාගන්නා විට මම තේරීම් කමිටුවට කිව්වා මට සයිමන්ඩ්ස් අවශ්‍ය බව. ඔහු මේ කණ්ඩායමට අමතර වටිනාකමක් ගෙනෙන ක්‍රීඩකයෙක් බව. තරග දෙකක් ඔහුගේ පිතිහරඹ දායකත්වයෙන් පමණක් අපට ජයග්‍රහණය කරන්න ලැබුණා. මට සිමෝගේ දස්කම් ගැන විශාල සතුටක් තියෙන්නේ” රිකී පොන්ටින් ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.

රිකී පොන්ටින් ඕස්ට්‍රේලියානු නම් නායකයා තම විශ්වාස කළ මතය වෙනුවෙන් පෙනී සිටීම සහ ඇන්ඩෲ සයිමන්ඩ්ස් එම විශ්වාසයට උපරිම සහයෝගයක් දීම සැබැවින්ම ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය මතක සටහනක්.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<