යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

ලෝක කුසලානයේ නෑසූ කතා (12)

381
Getty Images

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ එංගලන්තයයි. ලෝක කුසලානයේ ආරම්භයට සති කිහිපයකට පෙර එක්තරා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්නේය.

පන්දුව හිසේ වද්දා ගත් හිතුවක්කාර නායකයා

1996 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය ක්‍රියාත්මක වූයේ රාවල්පිණ්ඩි නුවර දී ය. සුල්තාන් සරවානි නම්

ඇන්ටිගුවා හිදී ගැටුමකට මැදි වී යකඩ පොල්ලකින් ප්‍රහාරයකට ලක්වීමට මෙම තරුණ කොදෙව් ජාතිකයාට සිදු විය. ප්‍රහාරය කෙතරම් දරුණු වූයේ ද කියතහොත් ප්‍රහාරය නිසා ඔහුගේ ඇඟිලි කිහිපයක් සහ හක්ක බිඳී ගියේය. ආබාධිත තත්වය නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයෙකු වූ මෙම තරුණ ක්‍රීඩකයාගේ ලෝක කුසලාන සහභාගීත්වය තිබුණේ ඉතාම අවිනිශ්චිත තත්වයක ය. නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ වාසනාවට ලෝක කුසලානය ඇරඹීමට දින කිහිපයකට මත්තෙන් සුවය ලබන්නට මෙම ක්‍රීඩකයා සමත් වුනේය.

එලෙස සුවය ලැබූ කොදෙව් තරුණයා 1979 ලෝක කුසලානය කොදෙව්වන්ට දිනා දීමට දුන්නේ සුවිශේෂී දායකත්වයකි. විවියන් රිචර්ඩ්ස් නම් මෙම තරුණයා ලෝක එක්දින වංශ කතාවේ සුවිශේෂීම චරිතයකි. එවර ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී රිචර්ඩ්ස් නොදැවී ලබා ගත් ලකුණු 138 ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය ඉනිමක් ලෙස අදටත් සැලකේ.

අවසාන මහා තරගයේ එංගලන්ත නායකයාගේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වරෙක කියවුණේ ලකුණු 99කට කඩුලු හතරක් ලෙසිනි. කඩා වැටුණු කොදෙව් ඉනිම යළි ගොඩ නැංවූ රිචර්ඩ්ස් සහ කොලිස් කිං අතර පස්වැනි කඩුල්ලට ඇතිවූ සබඳතාවය ලකුණු 139කි. රිචර්ඩ්ස්ගේ ඉනිම හේතුවෙන් ලකුණු 286ක් දක්වා තම ලකුණු පුවරුව ඉහල දමා ගන්නට කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණි.

කොදෙව් ඉනිමේ අවසාන පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ හයේ පහර ලෝක කුසලාන ඉතිහාසයේ සදාතනික මතකයකි. මයික් හෙන්ඩ්‍රික්ස් යැවූ එම පන්දුව අතින් ගිලිහෙන්නට පෙර රිචර්ඩ්ස් පිට ඉන්න පැත්තට ගොස් පහරට සූදානම් විය. පිට ඉන්න කෙළින් වැටුණ එම පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ ෆ්ලික් පහර නැවතුණේ නරඹන්නන් අතරේය. අද ක්‍රිකට් ලෝකයේ පිටිය පුරා එල්ල කෙරෙන විවිධාකාරයේ පහරවල් ඉතාම සුලබ වුවද මීට අවුරුදු හතළිහකට කලින් රිචර්ඩ්ස් එල්ල කළ ඇතැම් පහරවල් දෙස ලෝකයා බලා සිටියේ විශ්මයට පත්වය. හෙන්ඩ්‍රිකස්ගේ අවසාන පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ පහර ද එවැන්නකි.

කොදෙව් කණ්ඩායම ලබා දුන් ඉලක්කය හඹා ගිය එංගලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194ක් පමණි. එංගලන්ත ඉනිමේ පන්දුවාර දහයක් ක්‍රියාත්මක කළ රිචර්ඩ්ස් එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 35ක් පමණි. එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ ඉයන් බොතම් දවා ගැනීමට තීරණාත්මක උඩපන්දුව රැකගත්තේ ද රිචර්ඩ්ස් විසින්ය.

මෙම විශිෂ්ට තුන් ඉරියව් දස්කම් නිසාම ලෝක කුසලාන අවසාන තරගයේ වීරයා සම්මානය ලැබුණේ ද රිචර්ඩ්ස්ටය.

යකඩ පොල්ලකින් පහර කා ආබාධයකට ලක්ව ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවතට විසිවීමට ගිය විවියන් රිචර්ඩ්ස් තරගාවලියේ තරග හතරක් තුළ රැස් කරගත් ලකුණු ගණන 217කි. පන්දුවෙන් ද සෑහෙන තරමක දස්කම් දැක්වූ රිචර්ඩ්ස් පාකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ සැලකිය යුතු මැදපෙළ කඩුලු තුනක් ද දවා ගත්තේය.

ඩෙනිස් ලිලී නැත්තටම නැති කළ ඇල්වින් කලිචරන්ගේ ප්‍රහාරය.

1975 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර මූලික වටයේ තරගයක් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනාවෙන් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන්ට එතරම් සාර්ථක වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. පන්දුවාර 53.4ක දී සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 192ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස ගෝර්ඩන් ග්‍රීන්ඡ් දැවී ගියේය. ග්‍රිනිඡ්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට එක්වූයේ ඇල්වින් කලිචරන්ය. 

කලිචරන් එතරම් උසක් තිබූ ක්‍රීඩකයෙකු නොවේ. නමුත් ඔහු තාක්ෂණයෙන් පිරිපුන්, පියකරු පිතිකරුවෙකු විය. නිවැරදි පාද චලනය ඔහුගේ පිතිහරඹයේ වැදගත්ම සාධකය විය. ලෝකයේ ඕනෑම පන්දු බලඇණියකට මුහුණ දෙන්නට සුදුසු මානසික ශක්තියක් ද කලිචරන් සතු විය. හැත්තෑව දශකයේ කොදෙව් කණ්ඩායමට මුල්පෙළ පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන වැඩ කොටසක් කලිචරන් ඉටු කළේය.

මෙම ඉනිමේ  එක්වරක ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ ප්‍රමුඛයා වන ඩෙනිස් ලිලීගේ පන්දු දහයක් ඇතුළත ලකුණු 35ක් සොරා ගැනීමට කලිචරන් සමත් විය. ලිලී වැන්නෙකුට එවන් ප්‍රහාරයක් එල්ල කිරීම කිසිලෙසකින්වත් ලෙහෙසි කටයුත්තක් නොවීය. එම පන්දු දහය තුළ 4, 4, 4, 4, 4, 1, 4, 6, 4 ලෙස තම ප්‍රහාරය දියත් කළ කලිචරන් අවසානයේ දැවී ගියේත් ලිලීගේ පන්දුවක් හමුවේය. නමුත් ඒ වන විටත් තරගය කොදෙව් පිළ වෙත නැඹුරු කරමින් කලිචරන් පන්දු 83ක් තුළ ලකුණු 78ක් ලබා සිටියේය. එදා තරගයේ වීරයා සම්මානය ලැබුණෙත් ඩෙනිස් ලිලීගේ පන්දු යැවීම හමුවේ වේගවත් ප්‍රහාරයක් දියත් කළ කලිචරන්ටයි.

වර්තමාන විස්සයි විස්ස යුගයේ පවා ඉතාම වේගවත් සහ අසාමාන්‍ය පිතිහරඹයක් ලෙස සැලකෙන කලිචරන්ගේ ප්‍රහාරය ලෝක කුසලාන ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි.

මහත්මාගුණයට තිළිණ ලෙස ලැබුණ බුමුතුරුණ.

නිමාවට පත්වූ 2019 ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ තරගයක දී රවිචන්ද්‍රන් අශ්වින් විසින් ජොස් බට්ලර් මන්කාඩ් ක්‍රමයට දවා ගැනීම විශාල ආන්දෝලනයක් ඇති කළේය.

1987 ලෝක කුසලානයේ තරගයක ඉතාම තීරණාත්මක අවස්ථාවක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන්නා කර්ට්නි වෝල්ෂ් ප්‍රතිවාදී කණ්ඩයමේ පිතිකරුවා මන්කාඩ් ලෙස දවා ගැනීමෙන් වැළකී සිටියෙය්ය.

මෙකී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 14ක් ලබා ගැනීමට පාකිස්තානුවන්ට සිදු වී තිබුණි. ඒ වෙනුවෙන් පාකිස්තානුවන් අතැතිව තිබුණේ එක් කඩුල්ලකි. කඩුල්ලේ රැඳී සිටියේ අබ්දුල් කදීර් සමඟින් අවසාන පිතිකරු සලීම් ජෆාර්ය. 

පන්දු යවන්නෙකු ලෙස නමක් දිනා සිටි කදීර් වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පන්දු පහක් තුළ ලකුණු 12ක් ලබා ගත්තේය. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවේ දී ලකුණු දෙකක් ලබා ගැනීමට කදීර්ට සිදු වී තිබුණි.

කර්ට්නි වෝල්ෂ් දිවවිත් පන්දුව යොමු කිරීමට සැරසෙද්දී පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරු සලීම් ජෆාර් අඩි කිහිපයක් ඉදිරියට දිව ගියේය. ජෆාර් දුවද්දී දවා ගැනීමට තිබුනත් වෝල්ෂ් එසේ කිරීමෙන් වැළකී නැවත වතාවක් පන්දු යැවීමට තම සීමාව වෙත පිය නැගුවේය.

අවසන් පන්දුවේ දී පහසුවෙන් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු දෙක ලබාගත් කදීර් පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙන ගියේය. පාකිස්තානු ජයග්‍රහණය නිසා බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවසාන පූර්ව තරගවලට යෑමේ ඉඩකඩ වැසී ගියේය. නමුත් වෝල්ෂ්ගේ මහත්මා ක්‍රියාව ලෝකය පුරාම ක්‍රීඩාලෝලීන් මහත් ඉහළින් අගය කරන්නට විය.

වෝල්ෂ්ගේ මෙම ක්‍රියාව පාකිස්තානු ජනාධිපති ජෙනරාල් සියා උල්හක් මහත් ඉහළින් අගය කළේය. අතින් නිමාව කළ ඉහල වටිනාකමක් ඇති බුමුතුරුණක් වෝල්ෂ්ට තෑගි කිරීමට පාකිස්තානුවන් තීරණය කර තිබුණි. ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් සහ සෙසු ක්‍රීඩකයින්ට ලබාදු න් ආදර්ශය නිසා කර්ට්නි වෝල්ෂ් වටිනා බුමුතුරුණකට වඩා දෙයක් උපයා ගත් බව ලොව පුරා බොහෝ දෙනාගේ මතය විය.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<