පන්දුව හිසේ වද්දා ගත් හිතුවක්කාර නායකයා

ලෝක කුසලානයේ නෑසූ කතා (11)

383
ESPNcricinfo

1996 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය ක්‍රියාත්මක වූයේ රාවල්පිණ්ඩි නුවර දී ය.

සුල්තාන් සරවානි නම් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා තරමක හිතුවක්කාර චරිතයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ කඩුලු කිහිපයක් දැවී යද්දී ඔහු පිතිහරඹයට පිටියට පිවිසියේය. ලෝකයේ වේගවත්ම පන්දු යවන්නෙකු වූ දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ්ට මුහුණ දුන්නට ඔහු පැමිණියේ හෙල්මටයක් හෝ නොමැතිවය.

බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක්….

ඩොනල්ඩ් තරගය අතරතුර බවුන්සර් පන්දුවක් ප්‍රතිවාදී නායක සරවානි වෙත එව්වේය. එම පන්දුව එක්සත් අරාබි එමීර් නායකයා සිතා ගන්නටත් පෙර ඔහුගේ හිසේ වැදුණේය. තමාගේ හිසේ වැදුණ පන්දුව නිසා ඔහු මදක් වික්ෂිප්ත බවට පත්විය. නමුත් එම අනතුරෙන් පසුව ද ඔහු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳීම තදින්ම ප්‍රතික්ෂේප කළේය. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔහු බ්‍රයන් මැක්මිලන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය විට ඔහුව කෙලින්ම රැගෙන ගියේ පාකිස්තානයේ රෝහලක් වෙතය.

ඇලන් ඩොනල්ඩ්ගේ චරිතාපදානයට අනුව ඩොනල්ඩ් සිතා ඇත්තේ පන්දුව හිසේ වැදීම නිසා සරවානි මිය යාවි කියාය.

“පන්දුව ඔහුගේ හිසේ වැදුණ මොහොතේ මම හිතුවේ ඔහු මැරුණ කියල. පන්දුව හිසේ වැදීමෙන් නැගුණේ ඉතා බියකරු ශබ්දයක්. නමුත් ඔහුගේ ප්‍රතිචාරය අප සැමදෙනාම පුදුමයට පත් කළා. බිමට වැටුණු ඔහුගේ තොප්පිය නැවත දමාගෙන කිසිම දෙයක් නොවුණ ආකාරයකින් නැවත පන්දුවට පහර දීමට පටන් ගත්තා.“

1996 ලෝක කුසලානයෙන් පසු කිසිම දිනක හිතුවක්කාර සරවානි නැවත ජාතික කණ්ඩායමට නායකත්වය දුන්නේ හෝ නියෝජනය කලේ නැත. ඔහු ලෝක කුසලානය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් බලධාරීන් කුමක් හෝ හේතුවක් නිසා විවේචනය කළේය. එම නිසා සරවානිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට ඔහුගේ රටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණි. ඒ අනුව සරවානිට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ලබා දීමට බලධාරීන් තීරණය ‍කළේය.

90 දශකයේ මුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් නගා සිටුවීමට පාකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් එක්කර ගැනීමට එරට බලධාරීන් ක්‍රියා කළේය. මෙම කණ්ඩායමේ නායකත්වය නිතැතින්ම හිමි වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපන් සරවානිටය.

1994 වසරේ දී ICC කුසලානය දිනා ගැනීම නිසා 1996 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් විය. ඒ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට නායකත්වය දුන්නේ සරවානිය.

සරවානිගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණයෙන්ම ආන්දෝලනාත්මක එකකි. වරෙක ඉන්දියානු A කණ්ඩායම සමඟ තරගයක දී කණ්ඩායමෙන් ඉවත් කෙරුණි. නමුත් ඔහු ප්‍රතිවාදී නායකයා සමග කාසියේ වාසිය උරගා බලන්නට පිටියට පිවිසුණේය.

“මට කවුරුත් නියමාකාරයෙන් දැනුම් දීලා නෑ මා කණ්ඩායමෙන් ඉවත් කළ බව. අඩුම ගාණේ කණ්ඩායම් කළමනාකරු හෝ මට එවන් දෙයක් දැනුම් දීලා නැහැ” සර්වානි කීවේය.

සරවානි ජාත්‍යන්තර තරගයක දවා ගත් පළමු කඩුල්ලත් එසේ මෙසේ කඩුල්ලක් නොවේ. ඔහු මුලින්ම දවා ගත්තේ සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ලය. සරවානි යොමු කළ පන්දුව තෙන්ඩුල්කාර්ට සිතාගත නොහැකි අයුරෙන් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නාගේ අත් ආවරණ තුල රැඳුණේය.

ලෝක කුසලානයෙන් පසු තමා කණ්ඩායමෙන් ඉවතට දැමීම ගැන ද සරවානි ප්‍රසිද්ධියේම තම අප්‍රසාදය පළ කළේය.

“ඔවුන්ට මට එය කෙළින්ම දැනුම් දෙන්නට තිබුණා. මා එය දැක්කේ පුවත්පතකින්. මට මා ඉවත් කිරීමේ තීරණය දැනුම් දෙන්නට කොන්ද පණ ඇති කිසිවෙකු සිටියේ නැහැ. 1994 වසරේ ICC කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව බොහෝමයක් තරග පැරදුණා. ක්‍රීඩකයින්ට යම් අනාරක්ෂිත බවක් දැනෙනවා කණ්ඩායමේ ස්ථානය ගැන. එය දස්කම්වලට ඍජුවම බලපානවා. දස්කම් අතර සිටි ක්‍රීඩකයින් තරගයක් දෙකක් අසාර්ථක වුනාම කණ්ඩායමෙන් එළියට දාන්න බැහැ.

තමන්ගේ රටේ ක්‍රිකට් නායකයාට ඒ ආකාරයෙන් සැලකීම වැරදියි. ලිඛිතව හෝ වාචිකව එය දැනුම් දෙන්නට තිබුණා.

ලෝක කුසලානයේ පාකිස්තානු තරගයට පෙරත් අපිට නිසි ආකාරයෙන් පහසුකම් ලැබුණේ නැහැ.”

සරවානි පසුව කලීජා ටයිම්ස් පුවත්පතට කීවේය.

සරවානි පන්දුව හිසේ වද්දවා ගත් තරගය වඩාත් ප්‍රසිද්ධ වූයේ තවත් කාරණාවක් නිසාවෙනි. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් ලබා ගත් ලකුණු 188 නිසාය. විනය විරෝධී කටයුතු නිසා ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමට ලක්වූ සරවනි සතුව මිල අධික මෝටර් කාර් එකතුවක් තිබෙන බව ද කියවේ.

ලෝක කුසලානයෙන් රිදී තිරයට

ඉන්දියානු උපමහද්වීපයට ක්‍රිකට් කියන්නේ තවත් එක්තරා ආගමක්. අපේ රටත් එක්ක සංසන්දනය කරල බලද්දී ඉන්දියාවේ නම් ක්‍රිකට් උන්මාදය සෑහෙන උග්‍රයි. මේ උන්මාදය නිසාම ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් හා සම්බන්ධ අපූරු දේවල් කරනවා.

1983 වසරේ තුන්වැනි වතාවට එංගලන්තයේ දී පැවැත්වුණ පෘඩෙන්ෂල් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නට කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් වෙනවා. ඒ අවසාන මහා තරගයේ දී ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින්. මේ ජයග්‍රහණය කිසිවෙක් අපේක්ෂා කළ එකක් නෙවෙයි. මෙම ජයග්‍රහණය ජාතියක් වශයෙන් ඉන්දියානුවන්ට ලැබුණු ඉහළම ජයග්‍රහණයක්. ඒ නිසාම ඉන්දියානු ජාතිකයින් මේ විජයග්‍රහණය සමරමින් අමුතු තාලයේ දේවල් කරන්න පෙළඹුණා. විජේ සිං කියන ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද එවැන්නෙක්.

Getty Images

විජේ සිං ලෝක කුසලානය ජයග්‍රහණය කරපු ඉන්දියානු කණ්ඩායමේ සන්දීප් පටෙල් සහ සයිඩ් කිර්මානි කියන සාමාජිකයින් දෙදෙනා ප්‍රධාන චරිත දෙක ලෙස තෝරාගෙන Kabhi Ajnabi The නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කලා. මේ චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය දැරුවේත් විජේ සිං විසින්මයි.

Getty Images

1985 වසරේ මාර්තු මාසයේ තිරගතවීම ආරම්භ කරපු Kabhi Ajnabi The චිත්‍රපටය සන්දීප් පටෙල්ගේ සහ සයිඩ් කිර්මානිගේ ලෝක කුසලාන වික්‍රමය තරම් සාර්ථක වුනේ නෑ. සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව පවසන විදියට Kabhi Ajnabi The චිත්‍රපටය ඒ වසරේ ඉන්දියාවේ තිරගත වූ අසාර්ථකම නිර්මාණවලින් එකක්. විජේ සිංගේ චිත්‍රපටය නොහිතපු විදියට අසාර්ථක වුනාට ඉන්දියානු සිනමාව සමග ක්‍රිකට් ක්‍රීඩාව අතර අදටත් තියෙන්නේ ගොඩාක් කිට්ටු සම්බන්ධතාවයක්.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<