බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි

ලෝක කුසලානයේ නෑසූ කතා (10)

719
Getty Images

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක් උසුලයි. 1987 ලෝක කුසලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වූ තරගය ද එවැන්නක්. මෙම තරගය අතරතුර සිදු වූ එක්තරා සුවිශේෂී සිදුවීමක් නොවන්නට ඉන්දියානු කණ්ඩායමට පහසුවෙන් ජයග්‍රහණය අත්කර ගන්නට තිබුණා.

>>​කට වරද්දා ගත් එංගලන්ත නායකයාට නඩු

1987 වසරේ ඔක්තෝබර් නව වැනිදා රිලයන්ස් ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් ගැටුණේ චෙන්නායි’හි එම්. ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී. ඉන්දියාව එවකට ලෝක ශූරයින් වූ අතර ඉන්දියානුවන් සත්කාරකත්වය දැරූ නිසාම බොහෝ දෙනෙක් ඉන්දියානු ජයග්‍රහණයක් වෙනුවෙන් දෑස් දල්වා බලා සිටියා.

එදා ඉන්දියානු නායක කපිල් දේව්ගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වන ඩේවිඩ් බූන් සහ ජෙෆ් මාෂ් මුල්ම කඩුල්ලට ලකුණු 110ක සබඳතාවයක්  ගොඩ නැගුවා.

අර්ධ ශතකය පෙනෙන නොපෙනෙන මානයේ දී බූන් ලකුණු 49කට දැවී ගියත් මාෂ් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා ක රගත්තා. සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ද සහිතව නියමිත පන්දුවාර 50 අවසානයේ තම ලකුණු පුවරුව ලකුණු 268ක් දක්වා ඔසවා ගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉනිමේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව හයක්. ජෙෆ් මාෂ් ලකුණු 110ක්, ඩේවිඩ් බූන් ලකුණු 49ක් සහ ඩීන් ජෝන්ස් ලකුණු 39ක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක් කර තිබුණා. ඉන්දීය පන්දු යවන්නන් අතරින් සාර්ථකත්වයක් පෙන්වූයේ කඩුලු දෙකක් දවා ගත් මනෝජ් ප්‍රභාකර්.

ඉන්දියානු ඉනිම ඇරඹීමට මත්තෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පිරිසක් විනිසුරුවන් හමුවීමට පැමිණි අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ වේගවත් ප්‍රහාරයක් දියත් කළ ඩීන් ජෝන්ස් ද ඒ අතර වුනා. ඔවුන් බලාපොරොත්තු වූයේ ඕස්ට්‍රේලියානු ඉනිම අතරතුර පිටියේ විනිසුරුවරයෙකු දුන් තීරණයක් වෙනස් කරගැනීමට.

ඕස්ට්‍රේලියානු ඉනිම අතරතුර ඩීන් ජෝන්ස් විසින් මනින්දර් සිංගේ පන්දුවට එල්ල කළ පහරක් පිටියේ විනිසුරු ඩිකී බර්ඩ් විසින් හතරේ පහරක් ලෙස සලකුණු කළා. ඕස්ට්‍රේලියානුවන් එය හතරේ පහරක් නොවන බවත් එය හතරේ සීමාවට උඩින් ගිය බවත් ප්‍රකාශ කළා. එය හයේ පහරක් ලෙසට වෙනස් කර අමතර ලකුණු දෙකක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක් කරන ලෙසත් ඔවුන් විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියා.

විනිසුරුවන් ප්‍රතිවාදී නායක කපිල් දේව්ගෙන් මේ ගැන විමසීමේ දී හතරේ පහර හයේ පහරක් ලෙසට වෙනස් කර අමතර ලකුණු දෙකක් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට ඔහු කැමැත්ත පළ කළා.

ඉන්දියානුවන්ට මෙම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට හැකි යැයි විශ්වාසයක් බොහෝ දෙනා තුල තිබුණා. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු හිටපු නායක මන්සූර් අලී ඛාන් පතාවුදි ප්‍රකාශ කළේ මෙය තරමක අපහසු ඉලක්කයක් ලෙස පෙනුනත් ඉන්දියානුවන් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතිබවයි.

ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සුනිල් ගවස්කාර්, ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත් මෙන්ම තම මංගල තරගයට ක්‍රීඩා කළ නව්ජෝට් සිං සිධුගේ පිතිහරඹයට පිං සිදුවන්නට ඉන්දීය ලකුණු පුවරුව වරෙක කියවුණේ කඩුලු දෙකකට ලකුණු 207ක් වශයෙන්. නමුත් ඕස්ට්‍රේලියානුවන් නිරන්තරයෙන් එල්ල කළ පීඩනය නිසා ඉන්දියානු ඉනිම කඩා වැටෙන්නට වුනා.

ස්ටීව් වෝ යැවූ අවසාන පන්දුවාරයේ පස්වැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී මනින්දර් සිං දැවී යද්දී ඉන්දියානු ලකුණු පුවරුව කියවුණේ ලකුණු 269ක් ලෙසින්. ඉන්දියාව වෙනුවෙන් නව්ජෝට් සිං සිධු ලකුණු 73ක්ද ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත් ලකුණු 70ක්ද එක් කර තිබුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ක්‍රේග් මැක්ඩමර්ට් ලකුණු 56කට කඩුලු හතරක් දවා ගත්තා. ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් අත්වුණේ ඕස්ට්‍රේලියානුවන්ට.

මූලික වටයේ දී නැවත වතාවක් කණ්ඩායම් දෙක දිල්ලියේ දී මුණගැසුණු අතර ඉන් ලකුණු 56ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

නමුත් ප්‍රථම වරට කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාවේ බලහත්කාරයෙන් ඉල්ලා ගත් ලකුණු දෙකට පිං සිදු වන්නට තම ජයග්‍රාහී ගමන ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන් අවසානයේ දී නැවතුණේ ලෝක ශූරයින් බවට පත්වෙමින්.

පසු කලෙක ඩීන් ජෝන්ස් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමාගේ දැඩි ඉල්ලීම මත විනිසුරුවන්ට මෙම තීරණය වෙනස් කිරීමට සිදු වූ බවය. ඒ නිසාම කපිල් දේව්ට එයට එකඟ වෙනවා මිස කිරීමට දෙයක් නැති වූ බව ද ජෝන්ස් ව්‍යාංගාර්ථයෙන් පවසා තිබුණා.

අහම්බයකින් පෑදුණු වාසනාවට පයින් නොගැසූ අය.

1983 ලෝක කුසලානයේ තමන් ක්‍රීඩා කළ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ඉන්දියානුවන් අතින් නොසිතූ පරාජයක් ලැබූහ. මැන්චෙස්ටර්’හි ඕස්ට්‍රේලියාව සමඟ තමන් ඊළඟට මුහුණ දුන් තරගය ලෝක ශූරයින්ට ඉතාම වැදගත් තරගයක් විය. නමුත් තරගය ආරම්භයේ දී ම කොදෙව්වන් අසීරු අඩියකට පත්ව සිටියහ. බටහිර ඉන්දීය කොදෙව් පන්දු බලඇණියේ ප්‍රබලතම තුරුම්පු දෙකක් වූ මැල්කම් මාෂල් සහ ජොයෙල් ගානර් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික තත්වයක පසුවූයේ නැත.

කොදෙව්වන්ට තිබුණේ එකම විකල්පයකි. ඒ තම සංචිතයේ සිටි වින්ස්ටන් ඩේවිස් කණ්ඩායමට කැඳවීමය. ඩේවිස් මින් පෙර කිසිදු ලෝක කුසලාන තරගයකට ක්‍රීඩා කර තිබුණේ නැත.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක කිම් හියුස් මුලින්ම පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ඇරයුම් කළේය. කොදෙව්වන් සිය පන්දුවාර හැට තුල දී කඩුලු නමයකට ලකුණු 252ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට ලෝක කුසලානයට කෝඩුකාර ඩේවිස්ගෙන් ගැලවීමක් නොවීය. ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර තිහක දී ලකුණු 151 කට සීමා වෙද්දී වින්ස්ටන් ඩේවිස් ලකුණු පනස් එකකට කඩුලු හතක් දවාගෙන තිබුණි.

බොහෝ කාලයක් යනතුරු ලෝක කුසලාන තරගයක ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සනිටුහන්ව තිබුණේ ඩේවිස්ගේ මෙම පන්දු යැවීමය.

ඩේවිස්ගේ මෙම දස්කමට සමාන දස්කමක් දැක්වීමට ඕස්ට්‍රේලියානු පන්දුකරුවෙකු ඊට අවුරුදු 13කට පසුව සමත් විය. 1996 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියානුවන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියට නායකත්වය දෙමින් සිටි ක්‍රේග් මැක්ඩමර්ට් ආබාධයකට ලක්විය. ඉන්දියාවට එරෙහිව මුම්බායි නගරයේ පැවති මීළඟ තරගයට ඩේමියන් ෆ්ලෙමිං එක් කරගන්නට ඕස්ට්‍රේලියානුවන් කටයුතු කළේය. ඉන්දියානු ඉනිම සුනුවිසුනු කරමින් ලකුණු 36කට කඩුලු පහක් දවා ගැනීමට එදා ෆ්ලෙමිං සමත් විය.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<