අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

ලෝක කුසලානයේ නෑසූ කතා (I)

284

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම් දෙකක් නියෝජනය කළ බව දන්නේ අතලොස්සක්.

1996 ලෝක කුසලානයේ ආරම්භක තරගය ලෙස ඕස්ට්‍රේලියානුවන්ට මුහුණ දෙන්නට තිබුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒ දිනවල මෙරට පැවති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙරටට ඒම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ප්‍රසාද ලකුණුත් සමඟ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රදානය වුනා.

මේ තරගාවලියේ ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන දෙවැනි තරගය පැවතියේ ඉන්දියාවේ විශාකපට්නම් හිදී. ඒ තරගාවලියට මුල්වරට එක්වූ කෙන්යානු කණ්ඩායමට එරෙහිව. මේ තරගය වෙනුවෙන් නම් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට එක්වන්නට ඩේමියන් ෆ්ලේමින්, ෂේන් ලී සහ මයිකල් ස්ලේටර්ට හැකියාවක් ලැබුණේ නැහැ.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් යමක් එක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක්…

මේ තරගය ආරම්භ වූ අවස්ථාවේ විල්ස් ලෝක කුසලානය ආවරණය කළ රූපවාහිනී කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී සිටියා. ඒ ඔවුන්ගේ විස්තර විචාරක කණ්ඩායමේ කිහිප දෙනෙකුට නියමිත වෙලාවට ක්‍රීඩාංගණයට පැමිණීමට හැකියාවක් නොලැබුණු නිසා.

රූපවාහිනී ආවරණ කණ්ඩායම කෙසේ හෝ විස්තර විචාරකයෙකුගේ අඩුව පුරවන්නට මාන බලද්දී ඔවුන්ට මීට පෙර වතාවක ස්ලේටර් රූපවාහිනීයක කළ සම්මුඛ සාකච්ඡාවක් මතකයට නැගුණා. ඒ අනුව රූපවාහිනී කණ්ඩායමෙන් ස්ලේටර්ට ඇරයුමක් ලැබුණා ඒ තරගයට පමණක් මයික්‍රෆෝනය අතට ගන්න.

ඒ අනුව අදාළ තරගයේ දී විවේක ගන්වා තිබූ මයිකල් ස්ලේටර් විස්තර විචාරකයෙකු ලෙස මේ තරගයට එක්වුනා. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ අනුමැතිය ඇතුව.

ටෝනි ග්‍රේග් වෙනුවට මේ තරගයේ තණතිලි වාර්තාව පවා ඉදිරිපත් කළේ ස්ලේටර්. එදා අහම්බයකින් මයික්‍රෆෝනය අතට ගත් ස්ලේටර් කිසිමදාක ලෝක කුසලාන තරගාවලියක එකඳු හෝ තරගයකට හෝ ක්‍රීඩා කර නෑ.

අත්සන ප්‍රතික්ෂේප කළ ලෝක පූජිත ක්‍රීඩකයාට ලැබුණු පාඩම

90 දශකයේ මැද භාගයේ දිනයකි. අප කතානායක කෙන්යානු තරුණයාගේ ජීවිතයේ විශාලම සිහිනය සැබෑ වී තිබුණි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වීරයා මුහුණට මුහුණ හමුවීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ. එදා ඔහු තමන්ගේ වීරයා හමුවීමට ගියේ නිකන්ම නොවේ සමරු පොතකුත් රැගෙනයි.

මහත් බලාපොරොත්තු තබාගෙන තමන්ගේ ක්‍රිකට් ලෝකයේ වීරයා හමුවීමට ගිය කෙන්යානු තරුණයාට හිස් අතින්ම ආපසු හැරී එන්නට සිදු වුනේ ඒ වන විට ලෝක පූජිත තරුවක්ව සිටි ඔහුගේ වීරයා සමරු අත්සනක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසාය.

මෙම සිදුවීමෙන් හරියටම වසර දෙකකට පසුව තමන්ගේ උද්දච්ච ක්‍රිකට් වීරයාට අමතක නොවන පාඩමක් උගන්නන්නට මේ තරුණයා සමත් විය. ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම පෙරළියක් කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් කෝඩුකාර කෙන්යානුවන් හමුවේ පරාජයකට ලක්වූයේ එදාය. කොදෙව්වන්ගේ පරාජයට මූලිකම වග උත්තරකරු වූ එම තරුණයා එදා නැවතත් තම වීරයා හමුවීමට ගියේය. කෙන්යානු කණ්ඩායමට නායකත්වය දෙමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ කඩුලු 03ක් දවාලන්නට ද මෙම තරුණයා එදා සමත් වුනා.

“අවුරුදු දෙකකට පෙර මම ඔබෙන් සමරු අත්සනක් ඉල්ලූ විට එය ඔබ ප්‍රතික්ෂේප කලා. මම අද පැමිණියේ මගේ සමරු අත්සන ඔබට ලබා දීමට.”තරුණයා නොබියව ප්‍රකාශ කලේය.

බ්‍රයන් ලාරා නම් ලෝක පූජිත සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා අන්ත අසරණ තත්වයට පත්කළ මොරිස් ඔඩුම්බේ නම් කෙන්යානු තරුණයා එදා පුනේ නගරයෙන් පිටත් වූයේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු ලෙසය.

තමාට පෙර රට

ඉන්දීය කණ්ඩායම 1999 තමන්ගේ ලෝක කුසලාන සටන ආරම්භ කළේ එතරම් යහපත් ආකාරයකින් නෙවෙයි. ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ලද පරාජයත් සමඟ. මීළඟ තරගය ඔවුන්ට ක්‍රීඩා කිරීමට තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය. හරියටම සිම්බාබ්වේ තරගයට පෙර දිනයේ සවස තමයි සචින් තෙන්ඩුල්කාර්ගේ පියා රමේෂ් තෙන්ඩුල්කාර්  මියගිය පුවත එංගලන්තයට සැළවෙන්නේ.

පසුදා උදෑසනම ඔහු නැවත මුම්බායි බලා පිටත් වෙනවා තම පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට. තමන් සතු විශිෂ්ටතම පිතිකරුවා නොමැතිව සිම්බාබ්වේ කණ්ඩායමට මුහුණ දෙන ඉන්දියානුවන් එම තරගයෙන් ලකුණු තුනක තියුණු පරාජයක් ලබනවා. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මීළඟට කෙන්යා තරගය මෙන්ම අනෙකුත් තරග ජයග්‍රහණය කිරීම ඔවුන්ට අත්‍යවශ්‍ය කාරණාවක් වුනා.

ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් මුල්ම තරග දෙකම පරාජයට පත්වීමෙන් මානසිකව වැටී සිටි සමස්ත ඉන්දියානුවන්ට විශාල අස්වැසිල්ලක් ලැබෙන්නේ මේ අතරේ. ඒ තම පියාගේ අවසාන කටයුතුවලින් දින තුනක් යන්නටත් පෙර සචින් තෙන්ඩුල්කාර් නැවතත් ඉන්දීය කණ්ඩායමට එක්වීමට එංගලන්තය බලා යෑමට තීරණය කරන නිසා.

ඉන්දියාව සහභාගි වූ ඊළඟ තරගය වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර්ගේ දායකත්වය පන්දු 101කින් නොදැවුණ ලකුණු 140ක්. ඔහු ලබා ගත් ශතකය තමන්ගේ පියා වෙනුවෙන් කැප කරන බවයි තෙන්ඩුල්කාර් එදා පැවසුවේ. සචින්ගේ වැඩිමහල් සොයුරු අජිත් තෙන්ඩුල්කාර් හැරුණු විට සචින්ගේ ක්‍රිකට් ජීවිතයේ පදනම වූයේ ඔහුගේ පියා බවයි පැවසෙන්නේ.

කෙන්යානු තරගය ඇතුළු ඉතිරි තරග කිහිපය පහසුවෙන් ජය ගත් ඉන්දියානුවන් 1999 ලෝක කුසලානයේ සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබනවා. කෙන්යානු තරගය වෙනුවෙන් තෙන්ඩුල්කාර්ගේ ආගමනය තමන්ගේ මානසික තත්ත්වය සෑහෙන ඉහළ දැමීමට සමත්වූ බව බොහෝ ඉන්දියානු ක්‍රීඩකයින් පසුව ප්‍රකාශ කර තිබුණා.

කඩුලු දවා නොගත් ඉන්දියානු නායකයා

ශ්‍රීනිවාසන් වෙන්කතරාඝවන් ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නෙක්. 1975 සහ 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලි දෙකේම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ වෙන්කතරාඝවන්. නමුත් අවාසනාවකට මෙන් වෙන්කතරාඝවන්ට මේ තරගාවලි දෙකේ දී ම කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නෑ.

ප්‍රධාන ක්‍රිකට් දේශයකට නායකත්වය දෙමින් එම කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙකුගේ භූමිකාවකටත් පණ පෙවූ වෙන්කතරාඝවන් ලෝක කුසලානයක පෙර කී අන්දමේ ඉරණමකට  මුහුණ දුන් ලොව මුල්ම ක්‍රීඩකයා ලෙසට හඳුන්වන්න පුළුවන්.

වෙන්කතරාඝවන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙහි විනිසුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවයේ යෙදුණා.

තවත් නෑසු කතා සමඟින් ඊළඟ ලිපියෙන් හමුවෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<