ඩොනල්ඩ් ඩක්ට උපත දුන් බ්‍රැඩ්මන්

1345

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ හොඳම පිතිකරුවා බවට සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ වාර්තා ඒ බවට සාක්ෂි සපයනවා. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ උපන්දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු විසිහත්වැනිදාටයි. එම නිසාම බ්‍රැඩ්මන් නම් පුරාවෘත්තයේ ඔබ නෑසූ කතා කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

අපේ ඉලක්කය ඔබේ කණ්ඩායම නොවේ – දෙවැනි කොටස

1992 නොවැම්බර් මාසයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිට නාවික…

තැපැල් පෙට්ටියටත් බ්‍රැඩ්මන්

සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු විකාශන ආයතනයේ (Australian Broadcasting Corporation) තැපැල් පෙට්ටියේ අංකය ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ පිතිකරණ සාමාන්‍යය සිහි කිරීම වස් 9994 ලෙස යොදා ගත් බව ප්‍රසිද්ධ කාරණාවකි. 

ඕස්ට්‍රේලියානු විකාශන ආයතනයේ ප්‍රධානියා වූ ශ්‍රීමත් චාර්ල්ස් මෝසස් ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ ඉතා කිට්ටු මිතුරෙකි. ඔහු තමන්ගේ ආයතනයේ ලිපිනයට බ්‍රැඩ්මන්ගේ අසාමාන්‍ය පිතිකරණ සාමාන්‍යය එක් කරන ලෙස ඉල්ලීමක් කළ බව කියවේ.

මෙම කාරණාවේ සත්‍යතාවය පිළිබඳව යම් මතබේද ඇති වූයේ වරක් දෙවරක් නොවේ. නමුත් ඕස්ට්‍රේලියානු විකාශන ආයතනයේ වගකිවයුතු නිලධාරියෙකු පසු කලෙක ප්‍රකාශ කළේ 9994 යන්න යොදා ගත්තේ සැබැවින්ම බ්‍රැඩ්මන්ට ගෞරවයක් ලෙසින් බවයි. ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම අගනුවර ඕස්ට්‍රේලියානු විකාශන ආයතයේ තැපැල් පෙට්ටියේ අංකය ලෙස භාවිත කෙරෙන්නේ 9994 යන්නයි. 

බ්‍රැඩ්මන් ශ්‍රී නාමයෙන් යුද සටන්

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පිතිකරුවා ලෙස අවිවාදයෙන්ම සැලකේ. දෙවැනි ලෝක යුද්ධය අතරතුර මිත්‍ර හමුදා විසින් ඉතාලියේ දී තමන් එල්ල කළ ප්‍රහාරයකට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නම ඈඳා ගත් බව අප්‍රකට කරුණකි. 1944 වසරේ මිත්‍ර හමුදා ඉතාලියේ මොන්ට් කැසීනෝ හීදී එල්ල කල ප්‍රධාන පෙළේ ප්‍රහාරයකට රහස් සංකේතයක් ලෙස යොදා ගනු ලැබුවේ “Bradman will be batting tomorrow” යන්නයි.

මින් පැහැදිලි වන්නේ බ්‍රැඩ්මන් නාමය ක්‍රිකට් ලෝක තුළ පමණක් නොව ලොව පුරාම ප්‍රචලිතව තිබූ බව නොවේ ද?

ඩොනල්ඩ් ඩක්ට උපත දුන් බ්‍රැඩ්මන්

1932 වසරේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම උතුරු ඇමෙරිකානු මහද්වීපයේ සංචාරයක නිරත වෙමින් සිටියේය. සුප්‍රකට බොඩි ලයින් තරග මාලාවෙන් පසුව දියත් කෙරෙනු නිසාම මෙම සංචාරයේ දී ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණේ සෑහෙන අවධානයකි. ඔවුන්ට කැනඩාවේ දී, ඔන්ටාරියෝහීදී, බ්‍රිතාන්‍යය කොලොම්බියාවේ දී තරග පැවැත්වුණ අතර නිව්යොක් නගරය, චිකාගෝ නුවර දී මෙන්ම කැලිෆෝර්නියාවේදීත් විවිධ සංචාරවලට එක්වූහ.

සංචාරක ඕස්ට්‍රේලියානුවන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත් ක්‍රීඩකයා වූයේ තරුණ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔවුගේ අසාමාන්‍ය පිතිහරඹ වාර්තා මහද්වීප ගණනක් එහා ගොස් ඇමෙරිකානුවන්ටත් ආරංචි වී තිබුණි.

මෙම සංචාරයේ එක් තරගයක දී නිව්යොර්ක් බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව බ්‍රැඩ්මන් ලකුණු නොලබා දැවී ගියේය. බ්‍රැඩ්මන් වාර්තා කළ මෙම බින්දුව ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ඔහු වාර්තා කළ සුවිශේෂිතම බින්දු දෙකෙන් එකකි. බ්‍රැඩ්මන්ගේ මෙම දැවී යෑම පසුදා පුවත්පත්වල ලොකු අකුරෙන් වාර්තා කර තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන අය මෙන්ම තවත් එක්තරා සුවිශේෂි පුද්ගලයෙකු බ්‍රැඩ්මන්ගේ බින්දුවට දැවී යෑම ගැන මහත් අවධානයකින් සිටියේය. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ බින්දුවට දැවී යෑම ගැන සඳහන් කෙරෙනුයේ ඩක් ලෙසිනි.

එසමය ලෝ ප්‍රකට ඩිස්නි නිර්මාතෘ වොල්ට් ඩිස්නි තම කාටුන් සුරතලා වූ මිකී මවුස්ගේ සගයාට නමක් සොයමින් සිටි කාලයයි. බ්‍රැඩ්මන්ගේ බින්දුවට දැවී යෑම පුවත්පත් වාර්තා කළ ආකාරය දුටු වොල්ට් ඩිස්නි සිය නවතම කාටුන් චරිතය ‘ඩොන්ලඩ් ඩක්’ යනුවෙන් නම් කිරීමට තීරණය කළ්ය.

එසේ අහඹුවක් ලෙස නම් කෙරුණු ඩොනල්ඩ් ඩක් නම් චරිතය ලොව පුරාම මහත් ප්‍රසිද්ධියකට පත්විය. ඩොනඩ්ල්ඩ් බ්‍රැඩ්මන්ගේ බින්දුව නොවන්නට ඩොනල්ඩ් ඩක් වැනි නමක් අපට කෙදිනකවත් අසන්නට නොලැබෙන්න්ට තිබුණි.

බ්‍රැඩ්මන්ට රෝස මල්

කලකට ඉහත ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට උපහාර පිණිස දෙමුහුන් රෝස මලක් ඕස්ටේලියානුවන් හඳුන්වා දුන්හ. එහි නාමය වූයේත් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යන්නයි. තද රතු පැහැයකින් යුත් තරමක විශාලත්වයකින් යුතු මනා සුවඳක් ඇති මෙම රෝස මල් විශේෂය තරමක් ඝනව වැඩෙන එකක් බව කියවේ.

හිරු රශ්මිය හොඳින් පතිතවන ශුෂ්ක ප්‍රදේශවලට මනාව ගැළපෙන මීටර් එකහමාරක් පමණ උසට වැඩෙන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් රෝස මල් ශාකයට පැලකිරීමෙන් අනතුරුව එතරම් ජලය අවශ්‍ය නොකෙරෙන බව කියවේ.

2002 වසරේ ජුනි මාසයේ දී මෙම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ශාකය ලෝකයට හඳුන්වා දෙනු ලැබීය.

රිදී තිරයේ බ්‍රැඩ්මන්

සුප්‍රකට බොඩිලයින් තරගමාලාව ඇසුරෙන් 1984 වසරේ දී රූපවාහිනි කතාංග මාලාවක් නිර්මාණය කෙරුණා. කෙසේ නමුත් බ්‍රැඩ්මන්ට රිදී තිරය නුහුරු නුපුරුදු තැනක් නොවේ. 1936 වසරේ ඔහු  The Flying Doctor නම් චිත්‍රපටියක රඟපා තිබුණි.

1994 වසරේ චැනල් නයින් රූපවාහිනි සේවය වෙනුවෙන් රේ මාටින් නම් ජනමාධ්‍යවේදියා 86 Not Out නමින් රූපවාහිනි වාර්තා වැඩසටහනක් නිර්මාණය කළා. එය  86 Not Out නමින් නම් වුනේ එවකට ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ වයස අවුරුදු 86ක් වූ නිසායි. මේ වැඩසටහනට ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ භාර්‍යාව වන ජෙසී බ්‍රැඩ්මන් මෙන්ම සචින් තෙන්ඩුල්කාර්ද එක්ව සිටියා

බ්‍රැඩ්මන් රැව සහිත මුද්දර

1997 වසරේ ඕස්ට්‍රේලියානු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ රුව සහිත මුද්දර දෙකක් නිකුත් කරන ලදි. මෙම මුද්දර කිහිපය නිකුත් කරන ලද්දේ ඕස්ට්‍රේලියානු පුරාවෘත්ත නමිනි. 

ජීවතුන් අතර සිටින ඕස්ට්‍රේලියානුවෙකු වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළ මුල්ම අවස්ථාව එය විය. ශ්‍රීමත් බ්‍රැඩ්මන් මිය යන්නේ 2001 වසරේ පෙබරවාරි මාසයේ දී ය. එම වසරේම මාර්තු මාසය වන විට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට උපහාර ලෙස නැවත වතාවක් ඔහුගේ රුව සහිත මුද්දරයක් නිකුත් කරන්නට ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර තිබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<