ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

218
Getty Images

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ඕල්බ්ලැක්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායම නවසීලන්තයේ ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ දී එකිනෙකා ගැටෙමින් සිටියහ. 

තරගයේ අවසාන සංඥාව නිකුත් කෙරෙන විට ජෝන් තොර්නෙට්ගේ නායකත්වයෙන් යුතු වොලබීස් කණ්ඩායම පරදවා 16-08ක දිනුමක් වාර්තා කිරීමට ඕල් බ්ලැක්ස් කණ්ඩායම සමත්වී තිබුණි. මේ ඓතිහාසික දිනය නවසීලන්ත ජාතිකයින්ට කෙදිනකවත් අමතක නොවන්නට තවත් හේතුවක් බලපෑවේය.

ෂේන් වෝන්ට හිසරදයක් වූ ශ්‍රී ලාංකිකයා

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පුරාවෘත්තයක්. ශ්‍රී ලංකාවේ අපිට නම් වෝන් කියන්නේ ඒ තරම් සිත් ගත් චරිතයක් නෙවෙයි. 1999 වසරේ ජනවාරි විසිතුන්…

මුළු නවසීලන්තයම රග්බි ජයග්‍රහණය හේතුවෙන් උත්සවශ්‍රීයෙන් ඇලලී ගිය ඒ මොහොතේ ඊඩන් පාක් ක්‍රීඩාංගණයට ඉතා නුදුරින් පිහිටි රෝහලක කුඩා දරුවෙකු උප්පත්තිය ලද්දේය. මාර්ටින් ඩේවිඩ් ක්‍රෝ නම් ලද මේ කුඩා දරුවා පසු කලෙක නවසීලන්තය ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි කළ හොඳම පිතිකරුවා විරුදාවලිය අවිවාදයෙන්ම ලබා ගත්තේය. 

1962 වසරේ සැප්තැම්බර් මස 22දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී උපත ලද මාර්ටින් ක්‍රෝ ක්‍රිකට් ක්‍රීඩාව හා පෙමින් බැඳෙන්නේ ඉතාම කුඩා වයසේ දී ය. මාර්ටින් ක්‍රෝ ක්‍රිකට් හා බැඳෙන්නට ඔහුගේ පියාගෙන් ලැබුණේ විශාල බලපෑමකි. මාර්ටින්ගේ පියා ඩේව් පළමුපෙළ තරගවලදී කැන්ටබරි සහ වෙලිංටන් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

“මට මතකයි 1968 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය නරඹන්නට මගේ පියා මා කැටුව ගිය අවස්ථාව. ඒ වන විටත් ගාෆිල්ඩ් සෝබර්ස් වැන්නෙකු ගැන මා දැන සිටියා. නිවසේ තිබූ විස්ඩන් පොත්වලින් ඔහුගේ ඡායාරූප මා දැක තිබුණා. මා කොදෙව්වන්ගේ ක්‍රීඩා විලාශයට අතිශයින්ම ප්‍රිය කළා. මම හැමදාම හිතුවේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවටම උපන් අය කියල. ඒ වගේම ක්‍රිකට් කියන්නේ ඔවුන් වෙනුවෙන් නිර්මාණය වූවක් කියා. සෝබර්ස්ට වැඩි ලකුණු ප්‍රමාණයක් එදා තරගයේ දී ලබාගන්න බැරි වුනා. නමුත් ඔවුන් ක්‍රීඩා පිටියේ හැසිරෙන ආකාරයේ පවා ඉතාම සිත් ඇදගන්නා සුළු ස්වභාවයක් තිබුණේ.

ඊට පසුව මගේ පියා, මාත් මගේ සොයුරා ජෙෆ් දෙදෙනා කැටුව හැම සෙනසුරාදා දිනයකම කොන්වෝල් ක්‍රිකට් සමාජය වෙත රැගෙන ගියා. එය තමයි මගේ ක්‍රිකට් ආරම්භය.” මාර්ටින් ක්‍රෝ තම ක්‍රිකට් අතීතය පසු කලෙක මෙනෙහි කළේ එසේය.

තම වැඩිමහල් සොහොයුරා ජෙෆ්ගේ සහජ හැකියාවට සමාන වන්නට තවත් මහන්සිවී පුහුණුවීම්වල යෙදීම මාර්ටින්ගේ ක්‍රිකට් දක්ෂතා තව දුරටත් මුවහත් වීමට උපකාරී විය.

“මට කුඩා කාලයේ හමු වූ නරකම මිතුරා ඔහුයි. සැබැවින්ම මම ඔහුට වෛරය කළා. නමුත් ඔහු හා කරට කර සිටීමට ලැබීම මගේ භාග්‍යයක්. මම හැමදාම ජෙෆ්ගේ ළාබාල සොහොයුරා ලෙස හඳුන්වනවාට කැමති.” මාර්ටින් සිය සොයුරා පිළිබඳව මතකය අවධි කළේය.

ක්‍රෝ සොහොයුරන් දෙදෙනා තම දස්කම් ලෝකය හමුවේ තැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොවේ. ගෝල්ෆ්, ටෙනිස් සහ රග්බි ක්‍රීඩාවන්ට ද ඔවුන් එක ලෙස දක්ෂතා පෑවෝය.

1980 වසරේ ඕක්ලන්ඩ් කණ්ඩායම වෙනුවෙන් පළමුපෙළ වරම් දිනාගන්නා ක්‍රෝ සිය මුල්ම පළමුපෙළ තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කරගන්නේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

1982 වසරේ පෙබරවාරි මාසයේ ටෙස්ට් වරම් මෙන්ම එක්දින වරම් ද දිනා ගන්නා ක්‍රෝ නවසීලන්තය බිහි කළ හොඳම පිතිකරුවා ලෙස අදටත් අවිවාදයෙන් සැලකේ.

ටෙස්ට් තරග 77ක් තුළ ශතක 17ක් සමගින් ලකුණු 5,444ක් රැස්කළ ක්‍රෝගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස 1991 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 299 හැඳින්විය හැකිය. දිනයේ අවසාන පන්දුවාරයේ අර්ජුන රණතුංගගේ මද වේගපන්දුවකට කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දී දැවී ගිය අවස්ථාව ගැන ක්‍රෝ 2015 වසරේ මියයන තුරුම කනගාටුවෙන් පසුවිය.

වලියට බරැති, නැටුමට හිතැති එංගලන්ත තරුව.

1999 වසරේ ජනවාරි විසිතුන් වැනිදා එංගලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇඩිලේඩ් නුවර දී ගැටුණේ කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් තරගාවලියේ තරගයක් වෙනුවෙනි. මෙම…

එක්දින ජාත්‍යන්තර තරග 143කට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රෝ එහි දී ලකුණු 4,704 ක් රැස්කළේ ඉනිමක ලකුණු සාමාන්‍ය 38.55 ලෙස පවත්වා ගනිමිනි.

80 දශකයේ ශ්‍රී ලංකාවේ පැවති අනාරක්ෂිත තත්වය නිසා බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළේය.

ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් කණ්ඩායම් කිහිපයක් 90 දශකයේ මුල මෙහි පැමිණි අතර මාර්ටින් ක්‍රෝගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමක් ද 1992 වසරේ තරග සංචාරයක් සඳහා මෙහි පැමිණියේය.

නමුත් සියල්ල වෙනස් කරමින් නවසීලන්ත  කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට ත්‍රස්තවාදී බෝම්බයක් පුපුරා ගිය අතර බහුතරයක් නවසීලන්ත ක්‍රීඩකයින්ට උවමනා වූයේ සංචාරය අතරමැද නතරකොට ආපසු මව්බිම බලා යන්නටය. එසේ වූවා නම් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරයේ හුදෙකලා වන ස්වරූපයක් තිබුණි. 

නමුත් නවසීලන්ත නායක මාර්ටින් ක්‍රෝගේ මතය වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය යහපත් බවත් සංචාරය දිගම පැවැත්විය යුතු බවත්ය. ඒ අනුව කිසිම බාධා කිරීමකින් තොරව සංචාරය ඉදිරියට ඇදුණේ ක්‍රෝගේ සහ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා වූ ඇන්ඩෲ ජෝන්ස්ගේ රෙකමදාරුව නිසාය.

Image Credit – ‘Out on a Limb’

එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගත් මාර්ටින් ක්‍රෝ සහ ඇන්ඩෲ ජෝන්ස් යුගල 1991 වසරේ වෙලිංටන් නුවර දී තුන්වැනි කඩුල්ලට ලකුණු 467ක් රැස් කරමින් ලෝක වාර්තාවක් පිහිට වූහ. පසුකලෙක සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම අතින් ද, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අතින් ද බිඳ වැටෙන තෙක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ ඉහළම සම්බන්ධතාවය වූයේ ක්‍රෝ සහ ජෝන්ස්ගේ සබඳතාවයයි.

මාර්ටින් ක්‍රෝ යනු සෑමවිටම අවුරුදු ගණනකට එහා ඉතිහාසය මනසින් දුටුවෙකි. සෘජුව තමන්ගේ මතය ප්‍රකාශ කරන්නෙකු නිසාම නවසීලන්තයේ බොහෝ දෙනෙකු පවා ඔහුට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය එසේ මාටින් ක්‍රෝ ප්‍රාඥයා කවරෙක් ද කියා ලෝකය දැක ගත් අවස්ථාවක් විය. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කෙරෙන්නා වූ ඇතැම් උපක්‍රම පිළිබඳව ක්‍රෝ ඒ අවධියේ සිටම දැන හුන්නේය.

නවසීලන්තය දිපක් පටෙල් නම් දඟපන්දු කරුවාගෙන් පන්දු යැවීම ආරම්භ කරන්නේත් මාක් ග්‍රේට්බැච් නම් පිතිකරුවාගෙන් වේගවත් ආරම්භයක් ලබා ගන්නේත් ක්‍රෝගේ සිතේ කොනක පැළපදියම් වූ සැලසුම් නිසාය. මෙවන් උපක්‍රම ගැන ඒ අවධියේ කිසිවෙකු දැන අසා තිබුණේවත් නැත.

නිරන්තරයෙන්ම වද දුන් ආබාධ තත්වයන් නිසා 1995 වසර අග ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නට ක්‍රෝට සිදුවිය. 1996 විල්ස් ලෝක කුසලානයට සහභාගි වීමට ක්‍රෝගේ කැමැත්තක් තිබුණ ද එය කෙදිනකවත් යථාර්ථයක් වූයේ නැත. 

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ වයස දහඅට හැවිරිදිය. කෙළිදෙළෙන් ජීවත් වීමට ප්‍රිය කරන්නෙකි. නමුත් මෙවර ඔහු අතට ලැබී තිබුණේ ඔහුගේ…

2011 වසරේ නැවත වතාවක් පළමුපෙළ තරග සඳහා සම්බන්ධ වන්නට ක්‍රෝ උත්සාහ කළේ තවත් පළමුපෙළ තරග තුනක් ක්‍රීඩා කළහොත් තරග 250ක කඩඉම පසු කිරීමට ලැබෙන නිසාත් තවත් ලකුණු 392ක් රැසකලේ නම් පළමුපෙළ ලකුණු 20,000ක් රැස් කිරීමට ලැබෙන නිසාත්ය.

2012 වසරේ ඔක්තෝබර් මාසයේ ක්‍රෝ ලෝකයට අනාවරණය කළේ තමාට පිළිකාවක් වැළඳී ඇති බවය. කෙසේ වෙතත් 2013 වසර වන විට තමා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව ක්‍රෝ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේය. නමුත් සියල්ල වෙනස් කරමින් 2014 වසරේ පිළිකා මාරයා නැවත වතාවක් ක්‍රෝ සොයා පැමිණියේ එවර නම් ලෙහෙසියෙන් හැරයන්නට නොවේ.

ක්‍රෝට ඉදිරි වසර ඉක්මවා ජීවත් වීමේ සම්භාවිතාව සියයට පහක් දක්වා අඩු කරන්නට පිළිකා තත්වය දරුණු වී තිබුණි. එතැන් පටන් ඔහුගේ සිහිනය වූයේ 2015 ලෝක කුසලානය නරඹා මියයෑම පමණි.

2015 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය මැද මාර්ටින් ක්‍රෝ නම් අද්විතීය ක්‍රිකට් තරුව ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ලැයිස්තුවට ( ICC Cricket Hall of Fame) එක් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබුණි. ක්‍රෝට මෙම ගෞරව සම්මානය ලැබෙද්දී ඔහුගේ පියා ඇතුළු පවුලේ සියලුම දෙනා ඊඩන් පිටියේ ක්‍රීඩාගාරයේ සිටිමින් ඒ අති උත්කර්ෂවත් මොහොත සජීවීව නැරඹූහ.

නිරන්තර සටන්කාමියෙකු වුවද, අනාගතය විනිවිද දුටු ප්‍රාඥයෙකු වූ ද මාර්ටින් ක්‍රෝ නම් පුරාවෘත්තය 2016 මාර්තු මාසයේ දිනක සදහටම දෙනෙත් පියා ගනු ලැබුවේ ඔහුට නිරන්තරයෙන්ම වද දෙමින් තිබූ පිළිකා මාරයාට පරාජය වෙමිනි. 

මාර්ටින් ක්‍රෝ නම් නාමය නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ද අමරණීය චරිතයක් බව නොකියාම බැරිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<