ක්‍රිකට් ක්‍රීඩාවේ ලාලිත්‍යවත්, වංශවත් කුමාර චරිතය බ්‍රයන් ලාරා

464
@Getty Images

ඔහු සතුව තිබූ ලාලිත්‍යවත්, වංශවත් අලංකාර පිතිකරණ රටාව පිහිටියේ ඔහුගේ පරම්පරාවේ පිතිකරුවන් කිහිප දෙනෙකුට පමණි. පිටිය සිසාරා පහරවල් එල්ල කිරීමටත්, පිටියේ ඉතා සියුම් හැඩැස් අතරින් පන්දුව තල්ලු කර යවන්නට ද ඔහුට තිබුණේ නිසඟ හැකියාවකි.

බ්‍රයන් චාර්ල්ස් ලාරා, ක්‍රිකට් ක්‍රීඩාවට උපන් කුමාර චරිතය ඔහුය. කොදෙව්වන්ටම ආවේණික මනරම් ලීලාවකින් ක්‍රිකට් ලෝකය දිග්විජය කළ ලාරා සතුව ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂීම වාර්තා කිහිපයක් තිබේ. 

පහුගිය දිනක ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්, ලාරා සතුව තිබූ ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු වාර්තාවට යම් අභියෝගයක් කළේය. නමුත් වාර්තාවට බොහෝ දුරක් තිබිය දී ඕස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවීමට නායක ටිම් පේන් තීරණය කර තිබූ බැවින් ලාරාගේ වාර්තාව නැවත වතාවක් සුරැකුණි. 

වාර්තා බිහිවී ඇත්තේ බිඳ දැමීමට නිසා කෙදිනක හෝ ලාරාගේ වාර්තාව යමෙකු විසින් බිඳ දමනු නියතය. නමුත් බ්‍රයන් ලාරා නම් අග්‍රගණ්‍ය ක්‍රීඩකයාගේ මතකය කිසිදු ක්‍රීඩාලෝලීයෙකුගේ මනසින් ඉවත් කිරීමට හැකි වන්නේ නැත.

බ්‍රයන් ලාරා නම් සුවිශේෂී ක්‍රිකට් තරුව ගැන එක් එක් අවධි වලදී ඔහුගේ ක්‍රිකට් ජීවිතය හා සම්බන්ධ චරිත සිය අදහස් පළ කර තිබේ. අද අප ඔබ වෙත ගෙන එන්නේ ඉන් කිහිපයකි.

ඉයන් චැපල් – ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක

“බ්‍රයන් ලාරා මා මුලින්ම දැක ගත්තේ 1991/92 ඕස්ට්‍රේලියානු සංචාරයකට පැමිණි අවස්ථාවේ දී. මේ තරගාවලිය පැවැත්වුණේ 1992 ලෝක කුසලානයට පෙර. ඔහුගෙන් විශේෂ යමක් මා දුටුවේ නැහැ.

තරග කිහිපයකට බ්‍රයන් මුහුණ දුන්නාට පසුව එවකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩෙරික් මරේ මා වෙත පැමිණ පැමිණියා.

‘ඉයන්, ඔබට පුළුවන් ද බ්‍රයන්ට උපදෙස් කිහිපයක් ලබා දෙන්න’

 ඔහු මගෙන් විමසුවා.

‘මට පෙනෙන අන්දමට ඔහුට දෙන්නට විශේෂ උපදෙසක් මා සතුව නැහැ’ මම ඩෙරික්ට පැවසුවා.

ඩෙරික් දිගු කාලයක් මා සමඟ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති නිසාත් ඔහු මගේ මිත්‍රයෙකුත් වන නිසා මම තීරණය කළා බ්‍රයන්ට අවවාදයක් දෙකක් ලබා දෙන්න.

මම බ්‍රයන්ට කිව්වා ඔබේ බොහෝමයක් පහරවල් කෙළින්ම ඇදී යන්නේ පන්දු රකින්නන් අතට බව. පිටියේ හිඩැස් සොයාගත යුතු බව මම ඔහුට අවධාරණය කළා. ඔබ එල්ල කරන හොඳ පහරවල් ඒ ආකාරයෙන් කෙළින්ම පන්දු රකින්නන් අතට ඇදී ගිය විය විශාල ශක්තියක් අපතේ යන බව මම ඔහුට තේරුම් කළා. ඊටත් වඩා ලෙහෙසියෙන් ලබා ගත හැකි විශාල ලකුණු සංඛ්‍යාවක් නිකරුණේ අපතේ යන බව මම ඔහුට පෙන්නුම් කළා.

මාසෙකට කාලෙකට පසුව ලෝක කුසලානය ඇරඹුමත් එක්ක ඔහු පාකිස්තානු කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ලකුණු අසූ ගණනක් ලබා ගත්තා. ඒ හැම පහරක්ම හිඩැස් අතරින් එල්ල කළ පහරවල්.

මම මටම කියා ගත්තා මේ කොල්ලා නම් ඉක්මනට ඉගෙන ගන්නා එකෙක් හැඩැයි කියා.

වැඩි කාලයක් යෑමට මත්තෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් සංචාරයකට ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියා. බ්‍රිස්බේන් නුවර පැවති පළමු තරගය ඔවුන් යාන්තම් ජය පරාජයෙන් තොරව නිමා කරගත්තා. නමුත් මෙල්බර්න් නුවර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඔවුන්ට අත්වුණේ ලකුණු 139ක පරාජයක්.

සිඩ්නි නුවර පැවති තුන්වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා. ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව කඩුලු නමයකට ලකුණු 503ක්. එය තරගයක් ජය ගන්න හොඳටම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක්. කොදෙව් කණ්ඩායමට එය විශාල අභියෝගයක්.

බ්‍රයන්ගේ පිත්ත ක්‍රියාත්මක වුනේ ඒ අවස්ථාවේ දී. එදා බ්‍රයන් පන්දුවට පහර දුන් ආකාරයට කිසිම පන්දු යවන්නෙකුට ඔහුව දවා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අවසානයේ ඔහු දැවී ගියේ දුවන්නට ගොසින්. එයත් කාල් හූපර්ගේ වැරැද්දකින්.

මට තාම මතකයි එදා සිඩ්නි නුවරට යම් වර්ෂාවක් තිබුණා. බ්‍රයන් තමන්ගේ ඉනිම පුරාවටම හතරේ පහර 38ක් එල්ල කළා. කිසිම හයේ පහරක් ඔහුගේ ඉනිමට අන්තර්ගත වුනේ නැහැ. ඔහුගේ හතරේ පහරවල් බොහෝමයක් හිඩැස් අතරින් එල්ල කළ පහරවල්. තෙතබරිත පිටියක ඔහු ක්‍රීඩා කළ ඉනිම අති විශිෂ්ටතම එකක්.

ඔහුගේ ලකුණු 277ක දැවැන්ත ඉනිම දුටු වහාම මම තේරුම් ගත්තා බ්‍රයන් ලාරා යනු සුවිශේෂී ක්‍රීඩකයෙක් බව.

ලාරාගේ පරම්පරාවේ අනෙක් විශිෂ්ටතම පිතිකරුවා වන සචින් තෙන්දුල්කාර්ට වඩා සෑමවිටම මම ලාරා ඉදිරියෙන් තබනවා. ඊට හේතුව දඟපන්දු යවන්නන්ට පහර දීමට ලාරා සතු හැකියාව.

බ්‍රයන්ට හැකියාවක් තිබුණා පාද චලනය මගින් සහ සීමා ඉරෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට. 

මාත් දඟපන්දු යවන්නන්ට මුහුණ දීමට ඉතා කැමති කෙනෙක්. බ්‍රයන්ගෙනුත් මම එය දුටුවා.”

කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක

“බ්‍රයන් චාර්ල්ස් ලාරා කියන්නේ මම කැමතිම ක්‍රීඩකයෙක්. වරක් සුනාමියෙන් විපතට පත්වූවන්ට ආධාර පිණිස ක්‍රිකට් තරගයක් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මෙම තරගයට බ්‍රයන් ලාරා මෙන්ම සචින් තෙන්දුල්කාර් ද සහභාගි වුනා. 

සචින්ට මෙම තරගයේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න නොහැකි වුනා. නමුත් බ්‍රයන් ලාරා පිතිකරණයට පැමිණි වහාම ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි ඉන්දියානු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් මා දෙස බලා රහසින් මෙන් මෙසේ කිව්වා.

“ඔහු තමයි මිනිහා. මේ තමයි මගේ කැමතිම පිතිකරුවා”

මම තරමක විමතියට පත්වෙලා වහාම ඔහුගෙන් විමසුවා.

“සචින් නොවෙයි ද ඔබේ කැමතිම පිතිකරුවා “

“නැහැ. ලාරා තමා මගේ කැමතිම පිතිකරුවා” රාහුල් ඩ්‍රාවිඩ් නම් ඉන්දියානු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පිතිකරුවා මා නැවතත් පුදුමයට පත් කරමින් පැවසුවා.

ඔහුගේ පිතිකරණ රටාවේ තිබෙන්නේ හරිම ලාලිත්‍යවත් බවක්. මට බ්‍රයන් චාර්ල්ස් ලාරා මෙන් පිතිහරඹයේ යෙදෙන්න හැකි නම් මා රැස් කළ ටෙස්ට් ලකුණු සියල්ල ඒ වෙනුවෙන් කැප කරන්න සූදානම්”

ක්‍රිස් ස්කොට් – ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ හිටපු කඩුළු රකින්නා

“බ්‍රයන් ලාරා පළමුපෙළ තරගයක ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු වාර්තාවට යන විට ඩර්හැම් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේ මම.

මේ තරගයට යන විට බ්‍රයන් ශතක කිහිපයකින් සන්නද්ධ වෙලා හිටියේ. වොර්වික්ෂයර් කණ්ඩායමට ඔහු නැතිවම බැරි ක්‍රීඩකයෙක්.

ලකුණු 18 දී සයිමන් බ්‍රවුන්ගේ පන්දුවකට බ්‍රයන් මා වෙත උඩ පන්දුවක් ලබා දුන්නා. ඒක ඉතාම ලෙහෙසි උඩපන්දුවක්. නමුත් එය මා අතින් ගිලිහුණා.

දෙවියනේ ඔහු තවත් ලකුණු සියයක් ලබා ගනීවී ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි වේන් ලාකින්ස් දෙස බලා මට කියවුණා.

අවසානයේ ඔහු නැවතුණේ නොදැවී ලකුණු 501ක් ලබාගෙන. ලාරාගේ මේ දැවැන්ත ඉනිම නිසා මට මුහුණ දීමට සිදුවූ කරදරත් බොහෝමයි. තවමත් මිනිස්සු කතා කළාම අහන්නේ ලාරාගේ මා අත්හල උඩපන්දුව ගැනයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<