කොදෙව් ක්‍රිකට් බැබළවූ ‘සුපිරි පූසා’ ක්ලයිව් ලොයිඩ්

196
World Cup Final 1975| Lords| Getty Images | Patrick Eagar

1966 වසරේ නොවැම්බර් 28 වෙනිදා අලුයම 2.30ට බොම්බායේ සැන්ටා කෲස් ගුවන්තොටුපොළෙන් ක්‍රිකට් ලොව නම රැන්දූ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට ගොඩ බසින ලද්දේ තරග තුනකින් සමන්විත පූර්ණ ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමටය.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට සෑම අවස්ථාවක දී ම ඉතා ආකර්ෂණීය ක්‍රීඩා රටාවක් උපතින්ම උරුම බැවින් ඉන්දියානු ක්‍රිකට්ලෝලීන් මෙම තරගාවලිය දෙස දෑස් දල්වාගෙන මහත් බලාපොරොත්තුවෙන් බලා සිටියහ. 

ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ “ග්‍රාන්ට් එලියට් අසුන”

‘ග්‍රාන්ට් එලියට්’ නම ඇසූ පමණින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකුට………

ඒ වන තෙක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ නැත. රොහාන් කන්හායි, ගාෆිල්ඩ් සෝබර්ස්, කොන්රාඩ් හන්ට්, සේමොර් නර්ස් වැනුන් පිත්තෙන් කිරීමට යන හානියත් වෙස්ලි හෝල් සහ චාලි ග්‍රිෆිත් පන්දුවෙන් කිරීමට යන හානියත් ඉන්දියානුවන් හොඳින්ම දැන සිටියහ.

එවර ඉන්දියාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් නඩයේ අනන්‍යතාව නොදන්නා නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද විය. කොදෙව් කණ්ඩායමේ මේ නවක ක්‍රීඩකයින් කිහිපදෙනා ගැන කිසිවෙකු යාන්තමින් හෝ අවධානයක් යොමු කළේ නැත.

මේ නවක ක්‍රීඩකයින් කිහිප දෙනා අතරින් උස් සිරුරක් තිබූ උපැස් යුවලක් පැළඳ සිටි, හිස සෑමවිටම තමාගේ සිරුරට ඉදිරියෙන් තබාගෙන ඇවිද ගිය කෙසඟ සිරුරක් තිබූ පැඩිංටන් වලසාගේ සිහි ගන්වමින් අව් තොප්පියක් පැළඳ සිටි, පිටියේ පන්දු රැකීමේ දී විදුලියක් බඳු ක්ලයිව් ලොයිඩ් නම් තරුණයා පසු කලෙක මුළු ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනීවි යැයි එදා කිසිවෙකු සිතුවේ නැත.

හයිද්‍රාබාද් නුවර සහ අහමදබාදයේ දී පැවති පෙරහුරු තරගවල දී කැපී පෙනෙන යමක් කිරීමට ලොයිඩ් අසමත් වූ නිසාම දෙසැම්බර් 13 වෙනිදා බොම්බායේ දී ආරම්භ වීමට නියමිත ප්‍රථම ටෙස්ට් තරගයට ලොයිඩ් තෝරා නොගන්නා බවට බොහෝ දෙනෙකු විශ්වාස කළහ.

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ ……….

පළමු ටෙස්ට් තරගයට පෙර සේමෝර් නර්ස් ආබාධයකට ලක්වූ නිසා කිසිදු ටෙස්ට් අත්දැකීමක් නොමැති ගයානාවේ සිට පැමිණි විසි දෙහැවිරිදි ලොයිඩ්ට ටෙස්ට් තරග වරම් පිරිනැමීමට කොදෙව් බලධාරීන්ට සිදු විය.

ගාෆිල්ඩ් සෝබර්ස්, රොහාන් කන්හායි, කොන්රඩ් හන්ට්, වෙස්ලි හෝල්, චාලි ග්‍රිෆිත් සහ ලාන්ස් ගිබ්ස් යන පරිණත ක්‍රීඩකයින් මාධ්‍යයේ ටෙස්ට් වරම් දිනූ ලොයිඩ්ගෙන් කිසිවෙකු එතරම් විශාල දායකත්වයක් බලාපොරොත්තු වූයේ නැත.

ලාන්ස් ගිබ්ස් නම් පරිණත කොදෙව් ක්‍රීඩකයාගේ නෑදෑ හිතවත්කමක් තරුණ ලොයිඩ්ට තිබූ බැවින් කිසිදු ආගන්තුක බවකින් තොරව තරගයට එක්වන්නට ආධුනිකයාට හැකියාවක් ලැබුණි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නවකයෙකුගේ තිගැස්මක් හෝ නොඉවසිලිමත් බවක් තරුණ ලොයිඩ්ගෙන් කිසිම අවස්ථාවක පෙන්නුම් නොකෙරුණි. ඉන්දියානු දඟපන්දු යවන්නන්ට පාදයක් පෙරට තබා වැරෙන් පහර දුන් ලොයිඩ් සමහර අවස්ථාවක පසු පාදයට ගොස් එල්ල කළ පහරවල් අතිශය රමණීය මෙන්ම දැඩි බවකින් යුක්ත විය. පන්දු 115කට මුහුණ දෙමින් අගනා ලකුණු 82ක් රැස් කළ ලොයිඩ් එල්ල කළ සමහර පහරවල් දැඩි ශබ්දයක් නගමින් හතරේ සීමාවෙන් එපිට පුවරු සිප ගත්තේය.

බාපු නද්කර්ණි නම් නිලකුණු පන්දුවාර යවමින් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දියානු දඟපන්දු යවන්නාට නැවත ප්‍රකෘති තත්වයට එන්නට අපහසු වන තෙක් ලොයිඩ් ඔහුගේ ප්‍රහාරය දැඩි කළේය. කිසිදු ඉන්දීය පන්දු කරුවෙකුට ඔහුගෙන් සමාවක් නොවීය. යාන්තමින් හෝ ලොයිඩ් චණ්ඩමාරුතයෙන් ගැලවී ගත්තා නම් ඒ භගවත් චන්ද්‍රසේකර් පමණි.

පන්දු රකිමින් සිටිය දී කිහිප වතාවක් පන්දුව අතට ගෙන නිරායාසයෙන්ම කඩුල්ලට එල්ල කළ ලොයිඩ් නිවැරදි එල්ලයෙන්ම කඩුල්ල බිඳ දැමීමට සමත් විය.

අතුරු සිදුරු නොමැතිව පිරී ගිය බොම්බායේ බ්‍රැබෝන් ක්‍රීඩාංගණය පමණක් නොව සමස්ත ක්‍රිකට් ලෝකයම මේ අසමසම හැකියාවක් තිබූ කොදෙව් තරුණායාට පෙම් කරන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. සෝබර්ස්, හෝල්, හන්ට් හෝ කන්හායිගේ තිබූ ශ්‍රී විභූතියෙන් කොටසක් සොරා ගන්නට ලොයිඩ් නම් අංකුර ක්‍රීඩකයාට හැකියාව ලැබී තිබුණි.

කොදෙව් දෙවන ඉනිමේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ ලොයිඩ් නොදැවී ලකුණු 78ක් රැස් කළේ පන්දු 111කිනි. එයට දැවැන්ත හයේ පහර දෙකක් ද ඇතුළත් විය.

දෙවන සහ තෙවැනි තරග දෙකටත් ක්‍රීඩා කළ ලොයිඩ් කල්කටා නුවර පැවති දෙවන ටෙස්ට් තරගයේ දී සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගත්තේය. බොම්බායේ පැවති පළමු ටෙස්ට් තරගයේදී  ශතකයක් ලබා ගත් ඉන්දීය පිතිකරු චන්ද්‍ර බෝඩේ පා දඟපන්දුවක් යමින් දවා ගත් ලොයිඩ් ඉන්දීය නායක මන්සුර් අලී ඛාන් පතාවුදිගේ කඩුල්ලට ද වග කිව්වේය. ඇතැම් විටෙක ඔහු නිත්‍ය දඟ පන්දු යවන්නා වූ ලාන්ස් ගිබ්ස්ටත් වඩා පන්දුව දඟ කැව්වේය.

ක්ලයිව් ලොයිඩ් පන්දුව අතට ගෙන ©Getty Images

සිය මංගල ටෙස්ට් සංචාරයේ දී උසස් දස්කම් දැක්වීමට සමත්වුවද කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගන්නට ලොයිඩ්ට තරමක කාලයක් ගතවිය.  

ලොයිඩ්ට වැඩි කලක් යන්නට මත්තෙන් එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයෙන් ක්‍රිකට් ගසන්නට ඇරයුමක් ලැබෙන්නේ අනාගතයේ බිහි විය හැකි සුපිරි ක්‍රීඩකයෙකුගේ පෙර නිමිති පෙන්නුම් කළ නිසාවෙනි. එසේ එංගලන්තයට ගිය ලොයිඩ් වසර විස්සකට ආසන්න කාලයක් ලැන්කෂයර් ප්‍රාන්තයට තම සේවය නොමසුරුව ලබා දෙන්නට සමත්වුණේය.

1944 වසරේ අගෝස්තු මස 31 වෙනිදා බ්‍රිතාන්‍ය ගයානාවේ ජෝර්ජ්ටවුන්’හීදී උපත ලද ක්ලයිව් හර්බට් ලොයිඩ් සෙසු කොදෙව් දූපත් දරුවන් මෙන්ම ක්‍රීඩාව හා බැඳුණේ ඉතාම කුඩා අවධියේ දී ය.

වයස අවුරුදු දොළහේ දී සම වයස්වල දරුවන් කිහිප දෙනකුගේ ගැටුමක් නිරාකරණය කරන්නට ඉදිරිපත් වූ ලොයිඩ්ගේ ඇසකට දරුණු ලෙස හානි වූ අතර උපැස් යුවළක් පැලඳීම හැර වෙනත් විකල්පයක් ඔහුට තිබුණේ නැත.

චැතම් උසස් පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ අඩි හයයි අඟල් හතරක් උසැති ලොයිඩ් තරුණයා 1963 වසරේ ගයානාව වෙනුවෙන් පළමුපෙළ තරග වරම් දිනා ගත්තේය.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට ……….

1965 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ගයානාවේ පැවති තරගයක දී අතිරේක පන්දු රකින්නෙකු ලෙස කටයුතු කළ ලොයිඩ් එක්තරා අවස්ථාවක ෆ්‍රෑන්ක් වොරල්ගේ පණිවිඩයක් රැගෙන එවකට කොදෙව් කණ්ඩායමේ නායක ගාෆිල්ඩ් සෝබර්ස් හමුවට දිව ගිය බවක් කියවේ.

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් තමන් සතු තාක්ෂණික දුර්වලතා මැනවින් වටහා ගත් හැකි සෑමවිටම පුහුණුවේ යෙදෙමින් දුර්වලතා මග හැර ගන්නට කටයුතු කළේය. 

කොදෙව් කණ්ඩායමට ක්‍රිකට් ගසන්නට ක්‍රීඩකයින් පැමිණෙන්නේ විවිධ දූපත් රාශියකින් බැවින් ඒ ක්‍රීඩකයින් සියල්ල පොදු අරමුණක් වෙනුවෙන් ගොනු කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

එලෙස ක්‍රීඩකයින් එක් අරමුණකට යොමු කිරීමට 1974 වසරේ බැංගලෝරයේ දී පැවති ටෙස්ට් තරගයේ සිට නායකත්වයේ කටු ඔටුන්න ලොයිඩ්ගේ හිස මත තැබීමට කොදෙව් බලධාරීන් තීරණය කළහ.

එදා බැංගලෝරයේ සතර කොනට පහර පිට පහර එල්ල කළ ලොයිඩ් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය. චින්නසාමි ක්‍රීඩාංගණයේ ලොයිඩ්ගේ ප්‍රහාරය කෙතරම් දරුණු වී ද යත් ඔහුගේ ශතකය වාර්තා වූයේ පන්දු 85කිනි.

එසේ කොදෙව් දේශයේ ක්‍රිකට් නායකත්වයට අත්පොත් තැබූ ලොයිඩ් 1975, 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන දෙකෙහිම පහස කොදෙව් දේශයට ලබා දෙන්නට පෙරමුණ ගත්තේය.

1975 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ලකුණු 50කට කඩුලු තුනක් දැවී අසීරු තලයක සිටි කොදෙව් ඉනිම ජයග්‍රාහී තැනකට උසවා තැබුවේ නායක ලොයිඩ්ය. පන්දු 85කින් ලකුණු 102ක් රැස් කර ගත් ලොයිඩ්ගේ ඉනිම ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ අගනාම ඉනිම්වලින් එකක් බව කියවේ.

1974 වසරේ සිට 1985 වසර දක්වා ටෙස්ට් තරග 74කට කොදෙව් කණ්ඩායමට නායකත්වය දුන් ලොයිඩ් ඉන් තරග 36ක ජය තම රටට ලබා දෙන්නට මග පෙන්නුවේය.

තමා නායකත්වය දුන් එක්දින ජාත්‍යන්තර තරග 84කින් 64ක ජය තම කණ්ඩායමට ලබා දෙන්නට ද ක්ලයිව් ලොයිඩ් නම් නායකයා සමත් විය.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් …….

1985 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් ලොයිඩ් ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ නිලතල දරමින් ක්‍රීඩාව සමගම රැඳී සිටියේය. 1992 වසරේ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ ලොයිඩ් 2007 වසර දක්වා ඒ ධුරයේ රැඳී සිටියේය.

කොදෙව්වන්ටම ආවේණික ලාලිත්‍යවත් ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩාවේ යෙදුණ ක්ලයිව් හර්බට් ලොයිඩ් අද්විතීය නායකයෙකු ලෙස මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට එතෙක් මෙතෙක් පහළ වූ අගනා උපක්‍රමශීලීම චරිතවලින් එකකි.

ක්‍රිකට් ක්‍රීඩාවට කළ අනුපමය මෙහෙය වෙනුවෙන් 2009 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තම අද්විතීය ක්‍රීඩක ලැයිස්තුවට ක්ලයිව් ලොයිඩ් ඇතුළත් කළ අතර 2019 වසර අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ලොයිඩ් නම් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික පුරාවෘත්තය නයිට් පදවියෙන් පිදුම් ලැබීමට නියමිත බවය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<