“සිම්බාබ්වේට පරාජය වුණු එක අවාසනාවක්” – කුමාර් සංගක්කාර

662
Unfortunate that we've lost to Zimbabwe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව මුහුණුවර ගැන අදහස් පළකිරීම සඳහා කුමාර් සංගක්කාර ඊයේ (13) ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් හමුවූයේ එංගලන්තයේ සිට Skype තාක්ෂණය ඔස්සේයි. පැයක පමණ කාලයක් සංගක්කාර මාධ්‍ය හමුවේ පිළිතුරු දුන්නේය.

ක්‍රීඩක කළමනාකරුවන් ගැන සංගාගෙන් විශේෂ හෙළිදරව්වක්!

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවන් ගැන Skype තාක්ෂණය ඔස්සේ ThePapare.com සමඟ කළ සාකච්ඡාව.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවූයේද ඊයේ දිනයේදීයි. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර උපුල් තරංග එක්දින කණ්ඩායමේ නායකත්වයටත්, දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය පසුගිය සතියේදී පරාජය වූ අතර එළඹෙන ඉන්දියානු ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් සමඟින් නව මුහුණුවරක් ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ දෙපයින්  සිටගනු ඇත්දැයි කතාබහක් ඇතිවිය.

“අපි සිම්බාබ්වේ හමුවේ පරාජය වීම අවාසනාවක්. ඒත් මීළඟ ලෝක කුසලානයට තව අවුරුදු දෙකක් තියෙනවා. අපි ඔවුන්ට කරන නරකම දේ තමයි කලබල වීම. ඔවුන් ගැන විශ්වාසයෙන් සිටිය යුතුයි. මං හිතන්නෙ නෑ ඔවුන් දක්ෂතාවයෙන් අඩු තත්වයක ඉන්නවා කියලා.” සංගක්කාර කීවේය.

කණ්ඩායමේ ස්ථානයන් විටින් විට වෙනස්වීම නිසා ක්‍රීඩකයන්ට හරිහැටි දස්කම් දක්වන්නට නොහැකි වන බව පසුගියදා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පවසා තිබිණි. එක් ස්ථානයක ක්‍රීඩා කිරීමේ වරම සෑමවිටම අහිමිවූවෙකු ලෙස සැලකිය හැකි උපුල් තරංග ගැන සංගක්කාර ධනාත්මකව කතාකළේය.

“තරංග කණ්ඩායමට එක්වෙන එක වාසනාවක්. මමත් නොම්මර 09 වෙනකම් ස්ථානවල බැට් කරලා තියෙනවා. මුලින් කණ්ඩායමට එද්දී ඔබට ඔබේ තැනම ලැබෙයිද කියන්න බැහැ. ඔබට ලැබෙන තැන සෙල්ලම් කරන්න වෙනවා. දක්ෂතා දැක්වුවාට පසු ඔබට සුදුසු තැන මුලින්ම බලන්න ඕන. මම බලෙන් අංක 03 ගැහුවේ නෑ.” සංගක්කාර ඒ පිළිබඳව දැක්වූයේ එවන් අදහසකි.

එළඹෙන ඉන්දියානු තරගාවලිය නව මුහුණුවරකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු එකක් නොවනු ඇති බැව් බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ පිළිබඳවද සංගක්කාරගෙන් විමසීමට මාධ්‍යවේදීන් කාලය වෙන්කරගත්තේය.

“ඉන්දියානු තරගාවලිය අපහසු එකක් වේවි. අපි 2019 ලෝක කුසලානය ගැන හිතනවා නම් අප එය දැන්ම සැලසුම් කළ යුතුයි. ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කරන්නේ කෙසේ දැයි උපක්‍රමශීලීව බැලිය යුතුයි. ඊට කෙටි මාර්ග නැහැ. කැපවීම, හොඳ සැලසුම් සහ පරාජයේදී කලබල නොවීම කියන දේවල් එක්ක දිගුකාලීන සාර්ථකත්වයක් කරා වැඩකළ යුතුයි.” අත්දැකීම්වලින් සපිරි සංගක්කාර එළඹෙන තරගාවලිය ගැන එසේ තම අදහස් පළකළේය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට