දික්වැල්ලගේ අතපසුවීමෙන් කපුගෙදරට අද තරගය අහිමි වන ලකුණු!

2305
‘Under-observation’ Kapugedera unlikely to feature in fourth ODI News

ශ්‍රී ලංකා දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර පසුගිය බදාදා (ඔක්තෝබර් 18) පැවති තෙවැනි එක්දින තරගය අතරතුරේ දී සිදු වූ අනපේක්ෂිත සිදුවීමක් නිසා ආබාධයකට ලක්වී මේ වන විට සිටින්නේ ප්‍රතිකාර ලබා ගනිමිනි. ඒ අනුව ඔහුට අද (20) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතියි.

පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!

තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් තෙවැනි එක්දින …

පාකිස්තානු ඉනිමේ 10 වැනි පන්දුවාරය අතරතුරේ දී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පන්දුව චාමර කපුගෙදර වෙතට විසි කළ ද ඔහු තමා වෙතට පන්දුව ඇදී එන බවට කිසිදු අවබෝධයකින් සිටියේ නැත. එබැවින් ලෙදර් පන්දුව කිසිදු අවහිරයකින් තොරව ගුවනේ පියඹා පැමිණ කපුගෙදරගේ දකුණු ඇසට පහළින් ගැටුණි. මේ නිසා ඔහුව එවෙලේම රෝහල්ගත කිරීමට ද සිදු විය. ඒ හේතුවෙන් ඉනිමේ ඉතිරි කොටසේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පන්දු රැකීමට ද කපුගෙදර සහභාගි නොවීය.

“චාමර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් වාසනාවකට අස්ථි බිඳීමක් නම් සිදු වී නැහැ. නමුත් විශාල ඉදිමුමක් ඔහුගේ මුහුණේ දකින්නට තිබෙනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කළමනාකරු අසංක ගුරුසිංහ ඊයේ (ඔක්තෝබර් 19) Cricbuzz වෙබ් අඩවියට පවසා තිබුණි.

කපුගෙදර බොහෝ දුරට අද සාජා හිදී පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයට සහභාගි නොවනු ඇති අතර සඳුදා දිනයේ පැවැත්වෙන අවසන් එක්දින තරගය වන විට ඔහු සුවය ලබා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව දකුණත් ඉදිරි පෙළ පිතිකරු සදීර සමරවික්‍රම අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින වරම් දිනා ගැනීමට වැඩි ඉඩකඩක් පවතී. ඔහු පසුගිය බදාදා දිනයේ අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායමට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගුවන්ගත විය. ඒ ශ්‍රී ලංකා පිළ මුහුණ දී ඇති පිතිකරණ ගැටලුවලට සහනයක් සැලසීම සඳහායි.

ගුණතිලකට තරග තුනක තහනමක් සමඟ දඩයක්

තරග ගිවිසුමේ කොන්දේසි කඩකිරීම සම්බන්ධව වරද පිළිගත් ක්‍රිකට් ‍ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙත පසුගිය දා …

තවමත් 22 වැනි වියේ පසුවන සදීර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ හොඳින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පිතිකරුවෙකු වන අතර, 2014 දී ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙසින් ද සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ හැරුණු කොට ඔහු 2016/17 තරග වාරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරගත් පිතිකරුවා ලෙස ද ක්‍රීඩාලෝලීන්ගේ නොමද අවධානයට පාත්‍ර විය. ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ ද මීට සතියකට පමණ පෙර ඓතිහාසික ජයග්‍රහණයකින් කෙළවර වුන ශ්‍රී ලංකා පිළේ මංගල දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ තමන් සහභාගි වූ තරග තුනෙන්ම පරාජය වී සිටින අතර එම  පරාජිත ගමනට තිත තැබීමට සදීරගේ පිතිකරණ හැකියාව දායක වනු ඇතැයි ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න