නිමේෂ හා බිනුර වැඩි දස්කම් අතරට

325

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) ආරම්භ විය. බස්නාහිර පළාත් උතුර හා මධ්‍යම පළාත් කණ්ඩායම් අවසන් මහා තරගයට පිවිසි අතර කොළඹ සී. සී. සී පිටියේ දී  තරගය පැවැත්වේ.

පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක් සමඟ මූලික වටය අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම් නායක බිනුර ප්‍රනාන්දු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි මධ්‍යම පළාත් කණ්ඩායමේ ආරම්භක කඩුලු දෙකම ලකුණු 3ක් ඇතුළත දවා ගැනීමට වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර සමත් විය. එහි දී තානුක දාබරේ හා රොන් චන්ද්‍රගුප්ත ලකුණු නොලබාම නැවත ක්‍රීඩාගාරයට හැරී ගියේය.

අනතුරුව තෙවන කඩුල්ල සඳහා පිටියට පැමිණි නිමේෂ ගුණසිංහ හා වනිඳු හසරංග ලකුණු 27ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී, වනිඳු ලකුණු 14කට දවා ගැනීමට නුවන් තුශාර සමත් විය.

නිමේෂ හා එක් වූ නුවනිදු ප්‍රනාන්දු මධ්‍යම පළාත් පළමු ඉනිමේ සිව්වන කඩුල්ල සඳහා ලකුණු 103ක දැවැන්ත සබඳතාවයක් ගොඩනඟන ලදි. ඔවුන් දෙදෙනාම අද අර්ධ ශතක වාර්තා කරන්නට සමත් විය.

එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 76ක් ලබාගෙන සිටි නුවනිදු, බිනුරගේ පන්දුවකට දැවී ගියේය. එම දැවී යාමට පසුව තවත් ලකුණු 64ක් ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් වූ පසු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිමේෂ ලකුණු 80කට දවා ගැනීමට දුවිඳු සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 9කින් හා එක් 6 පහරකින් අන්තර්ගත විය.

ලකුණු 215කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී තම කණ්ඩායමේ ලකුණු පුවරුව තවතවත් සවිමත් කිරීමේ වගකීම බාරගත් රවීන් සේයර් හා ලහිරු සමරකෝන් පිළිවෙළින් ලකුණු 32ක් හා ලකුණු 38ක් ලබා ගන්නා ලදි.

එහි දී ලහිරු 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගෙන සිටිය දී චරණ නානායක්කාර එවූ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. එම සබඳතාවය මධ්‍යම පළාත් කණ්ඩායමට ලකුණු 293ක් දක්වා යාමට සවියක් විය.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා දුවිඳු තිලකරත්න කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී අයහපත් ආලෝක තත්ත්වය නිසාවෙන් තරගය නවතා දැමීමට පිටියේ විනිසුරුවරුන් දෙපළ තීරණය කළේය. ඒ වන විට බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලෙස දැක්විය.

පැතුම් නිස්සංක හා සාලින්ද උශාන් පිළිවෙළින් ලකුණු 6*ක් හා ලකුණු 5* සමඟින් කඩුල්ලේ රැඳී සිටින අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 9ක් තුල එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කරන බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිමට වඩා මධ්‍යම පළාත් කණ්ඩායම තවත් ලකුණු 277ක් ඉදිරියෙන් පසුවෙයි.

මධ්‍යම පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 293 (76): නිමේෂ ගුණසිංහ 80, නුවනිදු ප්‍රනාන්දු 76, ලහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, බිනුර ප්‍රනාන්දු 4/39, දුවිඳු තිලකරත්න 4/98.

බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 16/1 (5): පැතුම් නිස්සංක 6*, කවීන් බණ්ඩාර 6, සාලින්ද උශාන් 5*, මොහොමඩ් ශිරාස් 1/09.

අවසන් මහා තරගයේ අවසන් දිනය හෙට (1) එම පිටියේ දී ම පැවැත්වෙන අතර හෙට දිනයෙත් උදෑසන 9.30 සිට තරගය සජීවීව MyTV සහ ThePapare.com හරහා ඔබට නැරඹිය හැකිය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට