ලක්ශාන් සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවෙන් ඔසවයි.

264

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල්  ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ කිහිපයක් අද දිනයේ (9) පැවැත්විණි. එහිදී සාන්ත ජෝශප් විද්‍යාලයේ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් ගමගේ  දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

පළමු දිනය සඳහා තරඟය නතර කරන අවස්ථාවේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 130ක් ලබාගෙන සිටින ලදි. කදිරාන පිටියේදි ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝශප් විද්‍යාලය පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කරන ලදි.

සාන්ත ජෝශප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 172ක් ලබාගත් අතර, එහිදී සචින්ත මහින්දසිංහ ලකුණු 46ක් සිය කණ්ඩායමට එකතු කළේය. ජෙහාන් ඩැනියල් ලකුණු 27යි. පන්දු යැවීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 58ක් තුළ කඩුලු 5ක් දවාලමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් සිය වගකීම ඉටු කළේය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට සිය පිතිහරඹය පහසුවෙන්ම ක්‍රියාත්මක කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් ගමගේ ඉඩ ලබාදුන්නේ නැත. මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ කඩුලු 5ක් දවාගැනීමට ලක්ෂාන් සමත් විය.  නමුත් සෑහීමකට පත්විය හැකි පිතිකරණයක නිරත වූ කෙවින් පෙරේරා ලකුණු 41ක් ලබාගත් අතර අවසානයේ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ  පිළිතුරු පළමු ඉනිම ලකුණු 130කට සීමා විය. තරඟයේ පළමු දිනය අවසන් වන විට, සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝශප් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 2ක් ලබාගෙන සිටියි.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉනිම – 172/10 (66.2): සචින්ත මහින්දසිංහ 46, ජෙහාන් ඩැනියල් 27, කැමරන් දුරැගේ 25, දිනෙත් ජයකොඩි 22 රෙවාන් කෙලී 21, රවිඳු  ප්‍රනාන්දු 5/58, පසිදු උශෙට්ටි  4/58.

මාරිස් ස්ටෙල්ලා ව්ද්‍යාලය පළමු ඉනිම – 130/10 (25): කෙවින් පෙරේරා 41, ලක්ෂාන් ගමගේ 5/41, සාලින්ද සෙනවිරත්න 3/20.

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 2/1 (1) .


සාන්ත පීතර විද්‍යාලය හා ජෝශප් වාස් විද්‍යාලය

C කාණ්ඩය යටතේ ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සාන්ත පීතර විද්‍යාලය කටුනේරිය පිටියේ දී පළමුව පිතිකරණයේ නිරත විය.

සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම, තරඟයේ ආරම්භක දිනය වූ අද දිනය පූරාවටම දියත් කළේය. එහිදී සාන්ත පීතර විද්‍යාලයේ නායක සන්තුෂ් ගුණතිලක විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 50ක් ලබාගන්නා ලදි. නිපුන්ක ෆොන්සේකා ලකුණු 46ක් එක්රැස්කරගත්තේය. පන්දු යැවීමේ දී දිනෙත් ප්‍රනාන්දු කඩුලු 4ක් ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් දවාලන ලදි. දිනය අවසන් වන විට සාන්ත පීතර පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 283ක් ලෙස සනිටුහන් විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 283/9 (97): සන්තුෂ් ගුණතිලක 50, නිපුන්ක ෆොන්සේකා 46,  ශාලිත් ප්‍රනාන්දු 38, රන්මිත් ජයසේන 37, සචින් සිල්වා 37, දිනෙත් ප්‍රනාන්දු 4/53, දනංජය පෙරේරා 3/79.


සහිරා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

 සත්කාරක ධර්මරාජ විද්‍යාලය මෙම තරඟයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ අතර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. තරඟයේ පළමු දිනය අවසානයේ ධර්මරාජ විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 7ක් ලබාගෙන සිටින ලදි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් යසිත් නිර්මාල් ලකුණු 33ක් ලබාගෙන පිතිකරණ ලැයිස්තුවේ පෙරමුණ ගන්නා විට, රිද්මික නිමේශ් ලකුණු 28ක් ලබාගත්තේය. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 147කට සීමා විය. උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු  4ක් දවාලමින් සහිරා ඉනිම පාලනය කළේය. චේතිය ඒකනායක කඩුලු 2යි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 147 (53.5): යසිත් නිර්මාල් 33, රිද්මික නිමේශ්  28, උපේන්ද්‍ර වර්නකුලසූරිය 4/61, චේතිය ඒකනායක 2/18.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 7/1 (5.3).


කිංස්වුඩ් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

දෙවන පෙළ තරඟයක් වූ මෙම තරඟයේදී කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් විද්‍යාලය පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම සඳහා රාජකීය විද්‍යාලයට ඇරයුම් කළේය.

පැහැබර කාළගුණික තත්වයක් යටතේ  ආරම්භ වූ මෙම තරඟයේදී රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 213ක් ලබාගත් අතර, කමිල් මිශාරගේ පිතිකරණය  ඒ වෙනුවෙන් නොමද සහයෝගයක් දැක්වීය. තෙවිඳු සේනාරත්න ලකුණු 46යි. පන්දු යැවීමේ දී සෞම්‍ය ප්‍රියසේන හා දේවින්ද දිසානායක පිළිවෙළින් කඩුලු 5ක් හා 2ක් දවාලමින් කිංග්ස්වුඩ් විද්‍යාලයට සිය දායකත්වය ලබාදුනි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ කිංග්ස්වුඩ් විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 105ක් ලබාගෙන තිබිණි.  එවන් මට්ටමකට හෝ ඉනිම ගොඩනැංවීමට දුමිඳු දනිශ්ක ලබාගත් ලකුණු 38 මනා පිටුවහලක් විය. හසිත ගමගේ ලකුණු 28යි. පන්දු යැවීමේදී වෙනුජ මෙන්ඩිස් හා මංජුල පෙරේරා පිළිවෙළින් කඩුලු 3ක් හා ලකුණු 2ක් දවාගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 213/10 (64.1): කමිල් මිශාර 59, තෙවිඳු සේනාරත්න 46, ගයාන් දිසානායක 38, යුවින් හේරත් 21, සවුම්ය ප්‍රියසේන 5/63, දේවින්ද දිසානායක 2/21.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 105/6 (32.2): දුමිදු දනිශ්ක 38, හසිත ගමගේ 28, වෙනුජ මෙන්ඩිස් 3/30, මංජුල පෙරේරා 2/25.

මෙම තරඟය හෙට (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනු ඇත.