රිච්මන්ඩ් විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නා විට තරගාවලිය කල්යයි

483

වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ එක් කණ්ඩායමකට පහළොස් දෙනා බැගින් වූ පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග, දින නියමයක් නොමැතිව කල්දැමීමට පාසල් රග්බි පාපන්දු සංගමය විසින් අද (23) තීරණය කර ඇත.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අගෝස්තු මස 24, 25 හා 26 යන තෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නමුත් පාසල් කිහිපයක්ම විසින් පාසල් රග්බි පාපන්දු සංගමය වෙත මෙම තරගාවලිය දින කිහිපයකට කල්තැබීමට හැකියාව ඇත්දැයි විමසා ඇති අතර, එයට පිළිතුරු ලෙස සියලු කරුණු කාරනා සලකා බලා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.

“ඒ ඒ පාසල්වල ක්‍රීඩකයින් පසුගිය දා (අගෝස්තු 19 හා 20) නිමා වූ සාමාජිකයන් දසදෙනාගේ රග්බි තරගාවලිය සඳහා සහභාගි වූ අතර, එම තරගාවලිය අතරතුර හුඟක් පාසල් කණ්ඩායම්වල ක්‍රීඩකයින් ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඒක නිසා අපි මෙම තරගාවලිය දින කිහිපයකට කල්තැබීමට තීරණය කළා. ” යැයි පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් වන ඩෙන්සිල් ඩාර්ලින්ග් මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

එසේම මෙම තරගාවලිය සඳහා සහභාගි වන දකුණු පළාත් කණ්ඩායම තෝරා ගැනීමට පැවැත්වූ තරගාවලිය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණය කර ඇත. ඔවුන් දකුණු පළාත නියෝජනය කරමින් මෙම තරගාවලියට  සහභාගි වන බව දැන්වූ පසුව පාසල් රග්බි පාපන්දු සංගමය මෙම තීරණය ගෙන ඇත.

තවද එම පාසල්වලින් සිය ඉල්ලීම සිදු කරන විට තෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම මෙම තරගාවලිය පවත්වා අවසන් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කර ඇත. එසේම තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 4 වැනිදා ආරම්භ වේ. කෙසේ නමුත් පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තරගාවලිය පවත්වන දින වකවානු තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට