බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට නාවලපිටියේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රහාරයක්

413

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය හා ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයක් අවසානයේ ප්‍රේක්ෂකයින්ගෙන් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තරගයක් වූ මේ තරගය ගෝල 1-0ක් ලෙස ජය ගත්තේ සංචාරක බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයයි.

ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

මෙම ගැටුම ඇතිවී ඇත්තේ බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් ජය සමරා නැවත ක්‍රීඩාගාරය වෙත යන අවස්ථාවේදීයි. වාර්තා වී ඇති අන්දමට ඒ අවස්ථාවේ පිටියේ රැඳී සිටි ප්‍රතිවාදී ප්‍රේක්ෂකයින් 12කට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ට පොලු මුගුරු හා වෙනත් ද්‍රව්‍ය වලින් පහර දීම ආරම්භ කර තිබේ.

“අපි ජය සමරා නැවත ක්‍රීඩාගාරයට යද්දී මිනිසුන් දහ දොළොස් දෙනෙක් අපිට පොලු මුගුරු ගල්, බකට් වලින් පහර දුන්නා, අපි ඔවුන් මගහැර යන්නට උත්සහ කරත් ඔවුන් අපිට දිගටම පහර දුන්නා, අපේ ගෝල රකින්නන් දෙදෙනාටම දරුණු ලෙස තුවාලයි” බ්ලූ ස්ටාර් ක්‍රීඩක ලහිරු තාරක ThePapare.com වෙත ප්‍රකාශ කළා.

තාරකට අනුව ඔවුන්ගේ ගෝල රකින්නන් වන මොහොමඩ් රිස්වි හා මංජුල ප්‍රනාන්දු දෙදෙනාටම හිසේ හා අත්වල දරුණු තුවාල ඇති වී තිබේ.

“ක්‍රීඩාංගණයට කිසිදු පොලිස් ආරක්ෂාවක් තිබුණේ නැහැ, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් හෝ බලධාරීන් අපිව බේරා ගන්නට ආවේ නැහැ, ඔවුන් අපිට පහර දෙනවා ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ සිට චිත්‍රපටියක් දිහා බලනවා වගේ බලා සිටියා” ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාවේ සුනිල් චෙට්‍රි ලයනල් මෙසීට අභියෝගයක් වෙයි?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි නීති රීති මාලාවට අනුව යම් තරගයක ක්‍රීඩකයින්ට, විනිසුරුවරුන්ට හා නිලධාරීන්ට ආරක්ෂාව සැපයීම එම තරගයේ සත්කාරක කණ්ඩායමේ වගකීමයි.

මෙවැනිම සිදුවීමක් මීට මසකට පෙර බ්ලූ ස්ටාර් හා කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගයක දී ඇතිවූණු අතර ප්‍රේක්ෂකයින් විනිසුරුට හා කොළඹ ක්‍රීඩකයින්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ කොළඹ ක්‍රීඩකයින් මැදිහත්වී ප්‍රතිවාදී බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ව ආරක්ෂිතව පිටියෙන් ඉවතට රැගෙන යන ලදි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<