ආසියානු කාන්තා වොලිබෝල් පුහුණු සංචිතයට ක්‍රීඩිකාවන් 30ක්

513
U23 Womens volleyball

වයස 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය ලබන මැයි මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා තායිලන්තයේ නකෝන් රට්ඩසීමා හි පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත පූර්ව පුහුණු සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තෝරා පත්කර‍ ගෙන තිබේ.

පසුගිය ලිපි: ජාතික වොලිබෝල් සංචිත ස්ථාපිත කිරීම ආරම්භ වේ

ක්‍රීඩිකාවන් 85 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මේ මස 15 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් පරීක්ෂනයෙන් අනතුරුව එයින් ක්‍රීඩිකාවන් 30 දෙ‍නෙකු තෝරා ගත් බවත්, ලබන මාර්තු මාසයේ ආසියානු තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් නිර්දේශය සිදු කිරීමට ද නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස් නාලක මහතා පවසා සිටියේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං ඉන්දියාව, ඉරානය, කසකස්තානය, මැලේසියාව, නවසීලන්තය, චීන තායිපේ, උස්බෙකිස්ථානය, තායිලන්තය යන රටවල් සහභාගී වේ.

තවදුරටත් ආසියානු රටවලට දඩයක‍ට යටත්ව මෙම තරගාවලිය සඳහා ඇතුළත්වීමට අවස්ථාව තිබෙන අතර ගියවර ශූරතාවය දිනා ගත් චීනය ඇතුළු රටවල් කිහිපයක් මේ වන තුරුත් තරගාවලියට ඇතුළත්ව නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගියවර ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී හිමි වූයේ 11 වැනි ස්ථානයයි. නමුත් ‍මෙවර තරගාවලියේදී සුපිරි අට වටය‍ට සුදුසුකම් ලැබීම ප්‍රධාන අරමුණ බව නාලක මහතා සදහන් කළා.

“ගියවර අපිට හිමිවුණේ 11 වැනි තැන. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මූලිකම අරමුණ තමයි සුපිරි අට වටයට සුදුසුකම් ලැබීම. ඒ වගේම මේ තෝරා ගන්නා සියලුම ක්‍රීඩිකාවන් මාස 4ක් 5ක් පුහුණු කඳවුරකට යොමු කරලා පුහුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා” යැයි නාලක මහතා ThePapare.com වෙත වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම සංචිතයට ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයකින් ඇතුළත්වී සිටින අතර පුහුණු සංචිතයට ළාබාල ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ. මීට පෙර ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන තිලිණි වාසනාද සංචිතයට ඇතුළත්ව සිටියි.

තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ තිලිණි වාසනා ඇතුළු ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර එහිදී  යුධ හමුදා කාන්තා කණ්ඩායම පෙරමුණේ තැබීමෙහිලා ප්‍රමුඛව කටයුතු ‍කළේ තිලිණි වාසනා ක්‍රීඩිකාවයි.

මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ ජය හිමි කරගත් බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද සංචිතයට ඇතුළත් කර තිබෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ නිමේෂිකා සෙව්වන්දි ද එම සිව්දෙනා අතර වේ.  

ඊට අමතරව මෙම සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතරින් මාවතගම මාස් කැෂුවර් ලයින් ක්‍රීඩා සමාජයට හිමි වන්නේද සුවිශේෂී ස්ථානයකි. ඔවුන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනාගත් අතර මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ තුන්වන තැන හිමි කරගැනීමට ද සමත්විය. එම ක්‍රීඩා සමාජයෙන්ද ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබේ.

  • ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය: කේ. තිලිණි වාසනා, අප්සරා සෙව්මාලි, හර්ෂණී නිමේෂිකා, ආර්. පී.ආර්. එන් සෙව්වන්දි
  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය: කවිශා ලක්ෂානි පෙරේරා, තාරකී නෙළුම් ප්‍රියදර්ශනී, එන්. එස්. ජයවර්ධන, ඒ. කසුනි තාරුකා ලක්ෂානි, ඊ. ඩබ්ලිව්. එස්. ඩී. රණතුංග
  • සිරිපැරකුම් ක්‍රීඩා සමාජය, බෝයගම: එච්. පී. නිමේෂිකා සෙව්වන්දි, එස්. ජී. ඩී. එච්. සේනාරත්න, එම්. පී. එස්. පී. විජේසිංහ, එච්. බී. සී.එම්. කාරියවසම්
  • මාස් කැෂුවලයින් මාවතගම ක්‍රීඩා සමාජය: ආර්. ඒ. චායා සංජීවනී ජයරත්න, ආර්. ඒ. ඒ. චතුනි, ඩී. එච්. විනෝදි කෞෂල්‍යා, ඊ. එම්. හංසි පියුමිකා
  • ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය: ටී. එම්. සිතුමිණි තෙන්නකෝන්, ටී. ඩී. චතුරික‍ා හංසනී
  • බ්‍රැන්ඩික්ස් සීදූව ක්‍රීඩා සමාජය: ජේ. පී. හිතාංජි මධුහංසනී, එම්. ජී. දීපිකා බණ්ඩාර
  • ජාතික තරුණ සේවා ක්‍රීඩා සමාජය: බී. ඒ. සංසලා නෙත්මිණි. ඩබ්ලිව්. සචිනි සිල්වා
  • ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය: සංජුලා කරුණාරත්න
  • ධම්මිස්සර ක්‍රීඩා සමාජය: එච්. රිද්මි සකුන්තලා ප්‍රනාන්දු
  • ආනමඩුව මහ විද්‍යාලීය ක්‍රීඩා සමාජය: ජී. ඩබ්ලිව්. ඒ. අමානි කෞශල්‍යා
  • සාන්ත මැතිවු ක්‍රීඩා සමාජය, දෙනියාය: ඒ. එල්. ඒ. අනුත්තරා සඳමාලි
  • නිව්ස්ටඩ් ක්‍රීඩා සමාජය, මීගමුව: එච්. ඩී. ජේ. සෞම්‍යා කුරුකුලසූරිය
  • හුංගම විජයබා ක්‍රීඩා සමාජය: එච්. පී. නිරංජලා සරෝජනී
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: කේ. කේ. ඩී. සචිනි චාරුකා

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට