ශ්‍රී ලංකා කාන්තා යොවුන් වොලිබෝල් කණ්ඩායමට 12 වැනි තැන

250
U23 womens volleyball

දෙවන වරටත් පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්වූ තරගයෙන් වට 3-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ නිසා  ශ්‍රී ලංකා කණ්ඩායමට 12 වැනි ස්ථානය හිමි විය. මෙම තරගාවලිය ලබන 21 වැනිදා දක්වා තායිලන්තයේ නැකහොන් රැචසිමා හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මැකාව් හමුවේ පළමු ජය වාර්තා කරයි

වට 3-1ක් ලෙසින් මැකාව් කාන්තා වොලිබෝල් කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකාවන් සමත් විය…

11 වැනි ස්ථානය ජයග්‍රහණය කිරීමට නම් මෙම තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ තිබූ අභියෝගය විය. ඒ අභියෝගය ද සමඟින් අද උදෑසන පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 25-16ක් ලෙස පහසුවෙන්ම තරගයේ පළමු වටය ජයග්‍රහණය කරන ලදි.

දෙවන වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායම මුල සිටම පෙරමුණේ පසුවුව ද, අවසන් ලකුණු කිහිපය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතූ හා තියුණු තරගයක් ලබා දෙමින්, ලකුණු 23-25ක් ලෙස තරග වටය ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.

අනතුරුව ක්‍රියාත්මක වූ තෙවන හා සිව්වන තරග වට දෙක තුල නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ උපක්‍රමශීලීත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැරෙන්නට හෝ නොහැකි වූ අතර, එම තරග වට දෙක පිළිවෙළින් ලකුණු 20-25ක් හා 16-25ක් ලෙසින් ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම තරගය වට 3-1ක් ලෙස ජයග්‍රහණය කළේ, ඔවුන් මෙම තරගාවලියේ 11 වන ස්ථානය හිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙරේරා වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් ලබාගෙන වන අතර, එයට වැළැක්වීම් 3ක් ද අන්තර්ගතයි. නවසීලන්තය වෙනුවෙන් ඇලීසා සෙයිමන් තරගයේ වැඩිම ලකුණු වූ ලකුණු 17ක් ලබාගෙන තම කණ්ඩායමට විශාල සවියක් වෙද්දී, ඇයට සවියක් වූ පෙට්‍රා මැන්ඩර්සන් ලකුණු 12ක් කණ්ඩායමට එක් කරවන ලදි.

තරගයට පසුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇලිස්ටර් මැකෙන්සි මෙසේ අදහස් දැක්විය.

“අප මෙම තරගයට අවතීර්ණ වුනේ ටිකක් ප්‍රමාද වෙලා, පසුව අප අපගේ පිරිනැමීම් මගින් සාර්ථකව හා බුද්ධිමත්ව තරගයට අවතීර්ණ වුනා. අපගේ සැලසුම් ටිකක් වෙනස් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම එම සැලසුම් හමුවේ හොඳින් ක්‍රීඩා කළ නිසයි. මම මේ ජයග්‍රහණය පිළිබඳ හුඟක් සතුටට පත් වෙනවා. අප මෙම තරගාවලිය සඳහා  පුහුණුවීම් කළේ දින කිහිපයක් විතරයි. මම හිතනවා අපේ කණ්ඩායම අන්තර්ජාතික මට්ටමේ හොඳ අත්දැකීම් ලබාගත්තා කියලා.”

ඒ අනුව දැනට මෙම තරගාවලියේ 11,12 හා 13 වැනි ස්ථානයන් පිළිවෙළින් නවසීලන්තය, ශ්‍රී ලංකාව හා මැකාව් යන රටවල් වලට හිමිව ඇත.

17 වැනිදා පැවැත්වූ තරග වල ප්‍රතිඵල

  • හොංකොං 0-3 කසකස්තානය (17-25, 10-25, 15-25)
  • තායිලන්තය 3-1 චීන තායිපේ (27-25, 23-25, 28-26, 25-21)
  • වියට්නාමය 3-0 මැලේසියාව (25-15, 25- 27-25, 25-15)
  • ජපානය 3-0 ඉරානය (25-13, 25-14, 25-12)
  • උස්බෙකිස්තානය 3-1  නවසීලන්තය (25-18, 25-27, 25-15, 25-17)

18 වැනිදා පැවැත්වූ තරගයේ ප්‍රතිඵල,

  • මැකාව් 0-3 ඕස්ට්‍රේලියාව (17-25, 14-25, 19-25)

අද (19) පැවැත්වූ තරග වල ප්‍රතිඵල,

  • 11 වැනි ස්ථානය සඳහා වන තරගය: ශ්‍රී ලංකා 1-3 නවසීලන්තය (25-16, 23-25, 20-25, 16-25)
  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය: ජපානය 3-0 හොංකොං (25-14, 25-14,25-11)
  • දෙවන අර්ධ අවසන් පූර්ව තරගය: තායිලන්තය 3-0 මැලේසියාව (25-16, 25-14,25-16)
  • තෙවන අර්ධ අවසන් පූර්ව තරගය: චීන තායිපේ 3-0 ඉරානය (25-14, 25-14, 25-18)
  • සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය: වියට්නාමය 3-0 කසකස්තානය (25-19, 25-20, 25-14)

හෙට (20) පැවැත්වෙන තරග,
9 හා 10 ස්ථාන සඳහා වන තරගය: උස්බෙකිස්තානය හා ඕස්ට්‍රේලියාව

5 ස්ථානයේ සිට 8 ස්ථාන අතර සඳහා වන තරග:

  • පළමු තරගය: හොංකොං හා ඉරානය
  • දෙවන තරගය: මැලේසියාව හා කසකස්තානය

අවසන් පූර්ව වටයේ තරග,

  • පළමු තරගය: තායිලන්තය හා වියට්නාමය
  • දෙවන තරගය: ජපානය හා චීන තායිපේ

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට