අවසානයේ ශ්‍රී ලංකාව එක වටයක් ජය ගනී; තරගය පරාදයි

276
U23 Women's Volleyball

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම වට 3-1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ද අද (15) පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස අවාසනාවන්ත ලෙස පරාජයට පත්වූයේ මේ දින වල තායිලන්තයේ නැකහොන් රැචසිමා හිදී පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතා තරගාවලියේ තෙවන දිනයේදීය.

ශ්‍රී ලංකා ලලනාවන් කසකස්තානය හමුවේ පරාජයට

වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ දෙවන දිනයේ තරග අද (14) තායිලන්තයේ..

මීට අමතරව අද දිනයේ පැවති අනෙක් තරග වලින් චීන තායිපේ, ජපානය, හොංකොං හා ඉරාන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මෙම තරගය ජයග්‍රහණය කරමින් එක් තරගයක් හෝ ජයග්‍රහණය කර මූලික වටය යම් මට්ටමකට අවසන් කිරීමේ අභිලාෂයෙන් කණ්ඩායම් දෙකම පිටියට අවතීර්ණ විය.

එහි පළමු වටය තුල දී ලකුණු 25-23ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තියුණු තරගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර, එම ජවය දෙවන වටය තුළට ද රැගෙන යමින් ලකුණු 21-25ක් ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තමා සතු කර ගන්නා ලදි.

තෙවන වටය ආරම්භ වන විට වට 1-1ක් ලෙස දෙපිලම සම මට්ටමක පසු විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරග කිහිපය තුළ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නැවත වරක් ඉස්මතු වූ අතර එම නිසා අවසන් වට දෙක නිමාවූයේ ලකුණු 25-16ක් හා 25-14ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වට 3-1 (25-23, 21-25, 25-16, 25-14) පහසු ජයග්‍රහණයක් හිමි විය.

අද අවසන් වූ අනෙක් තරග වල ප්‍රතිඵල,

  • චීන තායිපේ 3-0 කසකස්තානය (25-19, 25-17, 25-19)
  • ජපානය 3-0 උස්බෙකිස්තානය (25-6, 25-11, 25-12)
  • හොංකොං 3-2 මැකාව් (20-25, 25-3, 25-16, 16-25, 15-9)
  • ඉරානය 3-0 නවසීලන්තය (28-26, 25-22, 25-20)

අද දිනයේ දී මෙම තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වූ අතර, හෙට (16) සිට නව කාණ්ඩ කිහිපයක් යටතේ තරග පැවැත්වීමට නියමිතව ඇත. E හා F කාණ්ඩ වලින් අවසන් පූර්ව තරග සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා අතර, 9 සිට 13 දක්වා වූ ස්ථාන තෝරා ගැනීමට G හා H කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

E කාණ්ඩය

  • තායිලන්තය
  • චීන තායිපේ
  • කසකස්තානය
  • හොංකොං

F කාණ්ඩය

  • ජපානය
  • ඉරානය
  • මැලේසියාව
  • වියට්නාමය

G කාණ්ඩය

  • මැකාව්
  • ශ්‍රී ලංකාව
  • ඕස්ට්‍රේලියාව

H කාණ්ඩය

  • නවසීලන්තය
  • උස්බෙකිස්තානය

හෙට (16) පැවැත්වෙන දෙවන වටයේ තරග,

  • චීන තායිපේ හා හොංකොං
  • තායිලන්තය හා කසකස්තානය
  • ජපානය හා මැලේසියාව
  • ඉරානය හා වියට්නාමය
  • මැකාව් හා ශ්‍රී ලංකාව

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට