පළමු ඉනිමේ ජයක් සමඟින් ශූරතාවය මධ්‍යම පළාතට

760

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම පරාජයට පත්කළ මධ්‍යම පළාත් කණ්ඩායම 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. කොළඹ සී. සී. සී. පිටියේ දී ඊයේ (31) ආරම්භ වූ මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

නිමේෂ හා බිනුර වැඩි දස්කම් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් …

එහි දී නිමේෂ හා නුවනිදු ප්‍රනාන්දු මධ්‍යම පළාත් පළමු ඉනිමේ සිව්වන කඩුල්ල සඳහා ලකුණු 103ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැඟීමට සමත් විය. එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 76ක් ලබාගෙන සිටි නුවනිදු, බිනුරගේ පන්දුවකට දැවී ගියේය. එම දැවී යාමට පසුව තවත් ලකුණු 64ක් ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් වූ පසු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිමේෂ ලකුණු 80කට දවා ගැනීමට දුවිඳු සමත් විය.

එහි දී ලහිරු සමරකෝන් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගෙන සිටිය දී චරණ නානායක්කාර එවූ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. එම සබඳතාවය මධ්‍යම පළාත් කණ්ඩායමට ලකුණු 293ක් දක්වා යාමට සවියක් විය.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා දුවිඳු තිලකරත්න කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම තරගයේ දෙවන දිනය වන අද දිනය (1) සඳහා තරගයට අවතීර්ණ වූයේ, මධ්‍යම පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 277ක් පිටුපසින් සිටිමිනි. සාලින්ද උශාන් හා පැතුම් නිස්සංකගේ කඩුලු දෙක උදෑසනම දවා ගැනීමට මධ්‍යම පළාත් පන්දු යවන්නන් සමත් විය.

මැදපෙළ සවිමත් කළ සම්මු අශාන් ලකුණු 33ක් ලබාගෙන බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම යම් මට්ටමකට ගොඩනැංවූ අතර, සහන් ආරච්චිගේ සම්මු හට අගනා සහයක් ලබා දෙමින් ලකුණු 32ක් ලබා ගන්නා ලදි. චරණ නානායක්කාර ලකුණු 32යි. නායකත්වයේ පිතිකරණයක නිරත වූ බිනුර ප්‍රනාන්දු පසුපෙළ සවිමත් කරමින් ලකුණු 24ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 176කට සීමා වූ අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් කඩුලු 4ක් දවා ගන්නා ලදි. චරිත් සුදාරක කඩුලු 2යි.

ලකුණු 117ක වාසියක් අතැතිව සිටි මධ්‍යම පළාත් කණ්ඩායම නැවත වරක් පිතිකරණයේ යෙදීමට බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට ආරාධනා කරන ලදි. පළමු ඉනිම තුල වූ අඩුපාඩු මඟ හරවා ගෙන බස්නාහිර පළාත් උතුරු ක්‍රීඩකයින් පිතිකරණයේ නිරත වූ අතර, එහි දී සාලින්ද උශාන් ලකුණු 87ක් ලබා ගත්තේය. උශාන් හට අනගි සහයක් ලබා දුන් සම්මු අශාන් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය. තරගයේ නිමාව සනිටුහන් වන විට බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 208ක් ලබාගෙන තිබුණි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2යි.

අවසානයේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ මධ්‍යම පළාත් කණ්ඩායම පළමු වරට පැවැත්වූ මෙම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

මධ්‍යම පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 293 (76): නිමේෂ ගුණසිංහ 80, නුවනිදු ප්‍රනාන්දු 76, ලහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, බිනුර ප්‍රනාන්දු 4/39, දුවිඳු තිලකරත්න 4/98.

බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම – 176/10 (45.2): සම්මු අශාන් 33, සහන් ආරච්චිගේ 32, චරණ නානායක්කාර 32, බිනුර ප්‍රනාන්දු 24, මොහොමඩ් ශිරාස් 4/45, චරිත් සුදාරක 2/18.

බස්නාහිර පළාත් උතුරු දෙවන ඉනිම F/O – 208/4 (51.2): සාලින්ද උශාන් 87, සම්මු අශාන් 60, පැතුම් නිස්සංක 25, වනිඳු හසරංග 2/42.

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දිනෙත් තිමෝද්‍ය (උතුරු මැද පළාත)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – තරිඳු රත්නායක (වයඹ පළාත)
  • තරගාවලියේ වීරයා – සඳකැන් පතිරණ (බස්නාහිර පළාත් දකුණ)
  • අවසන් මහා තරගයේ වීරයා – නිමේශ ගුණසිංහ (මධ්‍යම පළාත)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට