බාලිකා බලාපොරොත්තු බිඳී යද්දී බාලක කණ්ඩායම බලාපොරොත්තු අතරට

160

ෆින්ලන්තයේ Tampere හිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පස්වැනි දිනය වූ අද (14) දිනයේ දී ශ්‍රී ලංකා බාලක හා බාලිකා 4X400 සහාය දිවීමේ කණ්ඩායම් ධාවන පිටියට අවතීර්ණ වූ නමුත් ඒ අතරින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකි වූයේ බාලක කණ්ඩායමට පමණි.

ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව පදක්කමකින්ම කෙළවර වෙයිද?

ෆින්ලන්තයේ Tampere හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව…

කාන්තා 4X400 සහාය දිවීමේ තරග ඉසව්වේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී 3:51.02ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් දිනා ගත්තේ එහි අවසන්  (6 වන) ස්ථානයයි. තරගයේ ආරම්භක මොහොතේ පටන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා කැනඩා කණ්ඩායම ඉදිරියෙන් පසු විය. ඔවුන් ලබාගත් ආරම්භය තරග ඉසව්ව අවසානය දක්වාම පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් පහසුවෙන්ම තරග වටයේ පළමු හා දෙවන ස්ථාන ලබා ගත්තේය.

එම තරග ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත්තේ  3:35.48ක දක්ෂතාවයක් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වන අතර කැනඩා කණ්ඩායම 3:36.14ක දක්ෂතාවයක් දක්වමින් එහි දෙවැනි තැන දිනා ගත්තේ නිතරගයෙන්ම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමිනි.

සුදුසුකම් ලබා ගැනීමේ සමස්ත තරග වට තුනම අවසානයේ දී ඇමරිකා එක්සත් ජනපදය, ජැමෙයිකාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව, ඩොමිනිකන් රාජ්‍ය යන රටවල් පළමු හා දෙවන ස්ථාන ලබා ගැනීම නිසා නිතරගයෙන්ම සුදුසුකම් ලබා ගන්නා විට බ්‍රසීලය හා ජර්මනිය කාලය පදනම් කර ගනිමින් දැක්වූ දස්කම් මත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.  

අරුණ හා අමාෂා ජාත්‍යන්තරයට අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය, අරුණ දර්ශන හා නැගී එන කනිෂ්ඨ ධාවන රැජින අමාෂා ද සිල්වා අද (11) ෆින්ලන්තයේ Tampere හිදී IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශූරතාවලියේ තරග බිමට පිවිසුණි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සඳහා තරග වැදුණේ අමාෂා ද සිල්වා, දිලිෂි කුමාරසිංහ, සචිනි දිව්‍යාංජලී හා සඳුමිනි බණ්ඩාර යන ක්‍රීඩිකාවන්ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ බාලක සහාය දිවීමේ කණ්ඩායම 4X400 ඉසව්ව සඳහා අවතීර්ණ වූයේ  ආසියානු ශූරයන් ලෙසයි. එහි තෙවන සුදුසුකම් ලබා ගැනීමේ වටයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් 3:8.88ක දක්ෂතාවයක් දක්වමින් තරග ඉසව්වට තිත තැබුවේ එහි තෙවන ස්ථානය දිනා ගනිමිනි. ඇමරිකානු එක්සත් ජනපදය 3:5.57ක දක්ෂතාවයක් දක්වමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට, ශ්‍රී ලංකාවට කරට කර සටනක් දුන් ප්‍රංශය (3:08.78) එහි දෙවැනි තැන දිනා ගත්තේය.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වට තුනේ දී පළමු ස්ථාන දෙක ලබාගෙන තරග ඉසව්ව අවසන් කළ සෑම කණ්ඩායමක්ම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර සමස්ත තරග වට 3ම අවසානයේ අනෙකුත් රටවල් ලබාගත් කාල ගණනයට අනුව අරුණ දර්ශන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකාවට අමතරව 4X400 බාලක තරග ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය හා බෙල්ජියම යන රටවල් සුදුසුකම් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා බාලක 4X400 කණ්ඩායම ජපානයේ පැවැත්වූ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 3:08.70ක් කාලයකින් ඉතා පහසුවෙන් එම ඉසව්ව නිමා කිරීමට ඔවුන් සමත් විය. සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත්, නාලන්ද විද්‍යාලයේ පබසර නිකූ, මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර හා අරුණ දර්ශන කලාපීය ජයෙන් පසු සිය දක්ෂතාවයන් ලෝක මට්ටමට ගෙන යාමට මාන බලනු ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තු වී ඇත්තේ පිරිමි මීටර 400 සහාය (4X400m) දිවීමේ තරග ඉසව්වයි. එම තරග ඉසව්වේ දී යම් හෙයකින් ශ්‍රී ලංකාව පදක්කමක් වෙත ගියහොත් මෙම තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගන්නා පළමු පදක්කම ලෙස ඉතිහාසයට එක්වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ද නව යුගයක ආරම්භයක් සනිටුහන් කරමිනි.

එම තරග ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට සවස 5.58ට පැවැත්වේ. එහි තරග වාර්තා ද එසැණින් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<