හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් වාර්තා අලුත් කරයි!

1631

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානයට තේරී පත්වන කණ්ඩායම කවුරුන් ද යන්න තීරණය කිරීමට පැවති තීරණාත්මක තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කළ ශ‍්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියේ 09 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වූහ.

[rev_slider LOLC]

මූලික වටය යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකිවීම නිසා ශ‍්‍රී ලංකාව මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු කණ්ඩායම් 8 අතර තරග වටයෙන් ඉවතට විසිවීම නිසා 09 වැනි ස්ථානයට තේරීම සඳහා වූ තරග වටයට තරග වැදීමට සිදු විය. මෙහි දී කෙන්යාවට සහ සිම්බාබ්වේට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම 09 වැනි ස්ථානය තේරීම සඳහා පැවති අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ඉකුත් 26 වැනිදා කැනඩාව සමඟ පැවති තරගයෙන් ජය ලැබූ කොදෙව් කණ්ඩායම 09 වැනි ස්ථානය තේරීම සඳහා වූ අවසන් තරගයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිවාදීන් බවට පත්විය. 

ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්…

නවසීලන්තයේ ලින්කොන්හිදී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 2 වූ බාස්කර් යාඩ‍්‍රම් සහ කිමානි මෙලියස් ක‍්‍රීඩාගාරය වෙත යැවීමට ප‍්‍රවීන් ජයවික‍්‍රම සමත් විය. අනතුරුව ක්‍රියාත්මක වූ නිපුන් මාලිංග කීගන් සිමන්ස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ කොදෙව් ඉනිම කඩුලු 3කට ලකුණු 63ක් ලෙස සටහන් විය.  

එහෙත් කර්ස්ටන් කලිචරන් සහ ඇලික් ඇතනාසි එක්ව කඩා වැටුණු කොදෙව් ඉනිම සෙමෙන් සෙමෙන් ගොඩ ගනිමින් සිටිය දී යළිත් ක්‍රියාත්මක වූ නිපුන් මාලිංග කලිචරන්ව දවා ගැනීමට සමත් වීමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 59ක දී බිඳ වැටුණි. මුළු ලකුණු සංඛ්‍යාව 152ක්ව තිබිය දී නායක එමානුවල් ස්ටුවර්ට්ව ලකුණු 11කට දවා ගැනීමට තිසරු රශ්මික සමත්වුවත් සිය අන්තය ආරක්ෂා කර ගත් ඇලික් ඇතනාසි ලකුණු 110ක් ලබා ගනිමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. හයේ පහර 2කින් සහ හතරේ පහර 5කින් අලංකාර වී තිබුණු ඇතනාසි සිය ඉනිම සඳහා පන්දු 110කට පමණක් මුහුණ දුන්නේය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 132ක සම්බන්ධතාවක් ඇතනාසිට ගොඩ නැගීම සඳහා බ‍්‍රෑඩ් බාන්ස්ගේ දායකත්වය ලකුණු 37ක් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබා දුන් ලකුණු 255ක ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 2ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිය දී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7ක් පමණක් කොදෙව් පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේ දී ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක වාර්තාගත සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා වූ සාර්ථක අඩිතාලම එක් කළහ. පන්දු 228කින් සමන්විත වූ මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලොව සිව්වැනි තැනට පත්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරු යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් මෙතෙක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙස සටහන් විය.

මීට පෙර පළමු කඩුල්ල වෙනුවෙන් මෙන්ම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවන් යුගල බවට පත්ව ඇත්තේ විශ්ව චතුරංග සහ අවිශ්ක ප්‍රනාන්දු යුගලය යි. ඔවුන් 2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පර්ල් හි පැවති තරගයේ දී ලකුණු 191ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීහ.

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු හසිත බෝයගොඩ ලකුණු 116ක් ලබා ගැනීමට සමත් විය. හයේ පහරක් සහ හතරේ පහර 17කින් සමන්විත වූ හසිතගේ ඉනිම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි ශතකය බවට පත්විය. මීට පෙර හෙතෙම කෙන්යාව සමඟ පැවති තරගයේ දී ලකුණු 191ක් වාර්තා කරමින් වයස අවුරුදු 19න් පහළ තරගයක වැඩිම ලකුණු ලද පිතිකරුවාගේ ලෝක වාර්තාවට ද හිමිකම් කීවේය.

ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත පතිත වී ඇති කළු වළාවන් පළවා හැරීමේ වසරක් ආරම්භ කරමින් බංග්ලාදේශයේ දී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්…

ඔහුට අනගි සහායක් ලබා දුන් ධනංජය ලක්ෂාන් ශතකයට ලකුණු 02කට මෙහයින් දැවී ගියේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකයට හිමිකම් කීමට තිබූ ආසන්නතම අවස්ථාව අහිමි කර ගනිමිනි. පන්දු 119කින් සමන්විත වූ ධනංජයගේ ලකුණු 98ක ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 12කින් වර්ණවත් වී තිබුණි.

මූලික වටය යටතේ අයර්ලන්ත සමඟ පැවති තරගයේ දී ධනංජය නොදැවී ලකුණු 101ක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකාව ජය කණුව කරා රැගෙන ගියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හසිත බෝයගොඩ දැවී යන විට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වූයේ පන්දු 72ක දී ලකුණු 37ක් පමණක් වුවත්, බෝයගොඩගේ දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 31ක් එක් වද්දී ඉදිරි පෙළ කඩුලු 7 ම දැවී යෑම ජයග්‍රහණය තරමක් පමා කරවන්නක් විය. විටෙක අවදානමක් ද එක් කරවන්නක් බවට ද එම තත්ත්වය සංසන්දනය කළ හැක්කේ තරගයේ ජයග්‍රහණය ශ‍්‍රී ලංකා ඉනිම අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී රැස් කර ගැනීම නිසාය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දැවී ගිය පිතිකරුවන් අතරින් නුවනිඳ ප්‍රනාන්දු පමණක් ලකුණු 10 සීමාව ඉක්මවාලමින් ලකුණු 13ක් රැස් කරගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 5ට ලකුණු 254 (50) ඇලික් ඇතන්සි 110*, කීගන් සිමන්ස් 24, බාස්කර් යාඩ‍්‍රම් 31, කර්ස්ටන් කලිචරන් 24, බ‍්‍රෑඩ් බාන්ස් 37*, නිපුන් මාලිංග 63/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/2

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7ට ලකුණු 255 (49.4) හසිත බෝයගොඩ 116, ධනංජය ලක්ෂාන් 98, නවනිඳු ප‍්‍රනාන්දු 14, ජේරියන් හොයිටි 44/2, බාස්කර් යාඩ‍්‍රම් 42/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<