ශතකයක් හා අර්ධ ශතක හතක්

711

අනාගතයේ ලොව දිනන්නට වෙර දරන ක්‍රිකට් ක්‍රීඩකයින් උදෙසා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවැත්වූ තරග වලින් බස්නාහිර උතුර, බස්නාහිර දකුණ, දකුණු පළාත හා වයඹ පළාත යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

අර්ධ ශතක වැස්සකින් පිටිය වර්ණවත් වේ

සුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් උණුසුම් තරඟ කිහිපයක්ම අද (28) සාර්ථක ලෙස නිමාව දුටු අතර, එම තරඟ වලින් බස්නාහිර මධ්‍යම, බස්නාහිර උතුර, වයඹ හා මධ්‍යම යන කණ්ඩායම්…

බස්නාහිර උතුර හා බස්නාහිර මධ්‍යම

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී කාසියේ වාසිය දිනූ බස්නාහිර උතුර ක්‍රීඩකයින් පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබාගෙන කඩුලු 9ක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් විය.

එහි දී දක්ෂ පිතිකරණයක නිරත වුන මහේෂ් තීක්ෂණ ලකුණු 74ක් සමඟින් අර්ධ ශතකයක් වාර්තා කළේය. එම ලකුණු අතරට තවත් ලකුණු 34ක් එක් කිරීමට ලහිරු අත්තනායක සමත් වූයේ, තරගකාරී ලකුණක් වෙත තම කණ්ඩායම ඔසවා තබමිනි.

පන්දු යැවීමේ දී විමුක්ති කුලතුංග කඩුලු 3යි.

බස්නාහිර මධ්‍යම වෙනුවෙන් සාර්ථක ලකුණක් ලබා ගැනීමට සන්තුෂ් ගුණතිලක සමත් විය. ඔහු ලකුණු 55ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. පසිඳු සූරියබණ්ඩාර හා සංජුල අබේවික්‍රම කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායම වෙත ජය ගෙන ඒමට වෑයම් කළ ද, එම වෑයම අසාර්ථක විය.

තම කණ්ඩායම වෙත ජය මාවත විවර කර දුන් අසේල සිගේරා කඩුලු 3ක් දවා ගන්නා විට, ඔහුට සහය වෙමින් මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

අවසානයේ බස්නාහිර උතුරට ලකුණු 13ක තියුණු ජයග්‍රහණයක් හිමි විය.

බස්නාහිර උතුර – 221/09 (පන්දු වාර 50): මහේෂ් තීක්ෂණ 74, ලහිරු අත්තනායක 34, සජිත් සමීර 31, විමුක්ති කුලතුංග 3/21, ලක්ෂිත මුණසිංහ 2/39

බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 208 (පන්දු වාර 46.2): සන්තුෂ් ගුණතිලක 55, පසිඳු සූරියබණ්ඩාර 39, සංජුල අබේවික්‍රම 35, ලක්ෂිත මුණසිංහ 20, අසේල සිගේරා 3/28, මහේෂ් තීක්ෂණ 2/34


බස්නාහිර දකුණ හා ඌව පළාත් තරගය

බස්නාහිර දකුණ කණ්ඩායමට ලකුණු 43 සාර්ථක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පිතිකරණයට පිටියට පිවිසි බස්නාහිර දකුණ කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරුවන් තුන් දෙනෙකුගේ විචිත්‍ර වූ ක්‍රීඩා විලාසයක් දැක ගන්නට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබුණි.

බස්නාහිර දකුණ කණ්ඩායම ලකුණු 268ක් වැනි හොඳ ලකුණක් වෙත ගෙන ගිය කමිල් මිශාර ලකුණු 105ක් වාර්තා කිරීමට සමත් විය. කවිඳු උමයංග හා නිශාන් මදුශ්ක පිළිවෙළින් ලකුණු 65ක් හා 54ක් ලබා ගනිමින් අර්ධ ශතක රැස් කළේ, ඌව කණ්ඩායමට තම පන්දු යවන්නන්ගේ අංශය සවිමත් කර ගන්නා ලෙස ඉඟි කරමිනි.

පන්දු යැවීමේ දී ඌව පළාත වෙනුවෙන් ප්‍රමුදිත මදුභාශ් ලකුණු 28කට කඩුලු 2යි.

පිළිතුරු ඉනිම දියත් කළ ඌව කණ්ඩායමට ලකුණු 269ක අභියෝගය සාර්ථක කර ගැනීමට නොහැකි වුවත්, යම්තාක් දුරකට තම ඉනිම ගොඩනැංවූ ශසික දුල්ෂාන් ලකුණු 75ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ටශික පෙරේරා ලකුණු 42කට කඩුලු 3යි.

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 268 (පන්දු වාර 49.5): කමිල් මිශාර 105, කවිඳු උමයංග 65, නිශාන් මදුශ්ක 54, ප්‍රමුදිත මදුභාශ් 2/28, චතුර මහේල 2/34, ශසික දුල්ෂාන් 2/42

ඌව – 225/09 (පන්දු වාර 50): ශසික දුල්ෂාන් 75, නවීන් හසරංග 33, ආධිත්‍යය සඳරුවන් 22, ටශික පෙරේරා 3/42, රොහාන් සංජය 2/42, අශාන් දිල්හාර 2/48


දකුණු පළාත හා නැගෙනහිර පළාත

දකුණු පළාතට කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැගෙනහිර කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

පනාගොඩ යුධ හමුදා පිටියේ දී පළමුව පිටියට පැමිණි නැගෙනහිර කණ්ඩායමට රිසි ලෙස පිත්ත හැසිරවීමට දකුණු පළාත් පන්දු යවන්නන් වන අවිඳු තීක්ෂණ හා සසිත් මනුරංග අවස්ථාව ලබා දුන්නේ නැත. දිනුක ඩිල්ශාන් හා ජේ. නිතිශාන් හුදෙකලා සටනක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 54ක් හා 27ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ අවිඳු හා සසිත් දෙදෙනා එක්ව කඩුලු 7ක් දවා ගන්නා ලදි.

ලකුණු 147ක් වැනි අඩු ලකුණක් හඹා යාමට පිටියට පැමිණි දකුණු පළාත් කණ්ඩායම, පන්දු වාර 16ක් තුල දී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන්ම සපුරා ගන්නා ලදි. එහි දී හංසක වැලිහිඳ නොදැවී ලකුණු 53*ක් වාර්තා කළේය. ඔහුට මනා සහයක් ලබා දුන් දනංජය ලක්ෂාන් ලකුණු 50ක් ලබා ගෙන තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

නැගෙනහිර – සියල්ලන්ම දැවී 146 (පන්දු වාර 48.3): දිනුක ඩිල්ශාන් 54, ජේ. නිතේශ් 27, අවිඳු තීක්ෂණ 4/27, සසිත් මනුරංග 3/24

දකුණු පළාත – 147/02 (පන්දු වාර 16): හංසක වැලිහිඳ 53*, දනංජය ලක්ෂාන් 50, අවිඳු තීක්ෂණ 29*


වයඹ පළාත හා උතුරු පළාත

කෝල්ට්ස් පිටියේ දී මෙම තරගය නිමාව දුටුවේ වයඹ පළාතට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ වයඹ කණ්ඩායම පළමුව පන්දු රැකීමට අවස්ථාව ලබා ගත්තේය.

ඒ අවසරයෙන් පිටියට පැමිණි උතුරු පළාත් පිතිකරුවන් හට පිත්තෙන් සාර්ථක වීමට රන්දීර් රණසිංහ ඇතුළු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන් අතර, ඒ අනුව උතුරු පළාත් ඉනිම ලකුණු 75කට සීමා විය.

එහි දී රන්දීර විසින් ලකුණු 28ක් තුල කඩුලු 4ක් දවා ගන්නා විට, අනෙක් අන්ත වලින් ක්‍රියාත්මක වූ වනිත වන්නිනායක හා නිපුන දනංජය පිළිවෙළින් කඩුලු 3ක් හා 2ක් ඩැහැ ගන්නා ලදි.

ලකුණු 76ක පහසු ඉලක්කයක් හඹා යාමට දෙවනුව පිටියට පැමිණි වයඹ කණ්ඩායමේ කවිඳු ඉශාර හා දුලාජ් රණතුංග නොදැවුනු සබඳතාවයක් ගොඩනංවමින් පිළිවෙළින් ලකුණු 25*ක් හා 24*ක් වාර්තා කළේ, තම කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

පන්දු යැවීමේ දී කේ. කපිල්රාජ් ලකුණු 30ක් පමණක් ලබා දෙමින් වයඹ කණ්ඩායමේ කඩුලු 2ක් දවා ගත්තේය.

උතුරු පළාත – සියල්ලන්ම දැවී 75 (පන්දු වාර 24): රන්දීර රණසිංහ 4/28, වනිත වන්නිනායක 3/13, නිපුන් දනංජය 2/12

වයඹ පළාත – 76/04 (පන්දු වාර 16.2): කවිඳු ඉශාර 25*, දුලාජ් රණතුංග 24*, කේ. කපිල්රාජ් 2/30

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට