සාන්ත තෝමස්, අන්තෝනි, ජෝසප් වාස් සහ මාරිස් ස්ටෙල්ලා වැඩි වාසි

333

පාසල් ක්‍රිකට් සංගමයේ අනුදැනුම යටතේ පවත්වනු ලබන 2017 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (23) අවසන් විය. එම තරගවලින් මාරිස් ස්ටෙල්ලා, ජෝසප් වාස්, සාන්ත තෝමස් හා සාන්ත අන්තෝනි යන විදුහල් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මැසිනොද් විද්‍යාලයට නොසිතූ ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරගයක දී කඩුලු..

ජෝසප් වාස් විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ඉනිමකින් හා ලකුණු 96කින් ජයග්‍රහණය කිරීමට ජෝසප් වාස් ක්‍රීඩකයින්ට හැකි විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක ධර්මරාජ පිල, පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. එහි දී තිලාන් ප්‍රදිප්ත දක්ෂ පිතිකරණයක නිරත වූයේ ලකුණු 122ක් ලබා ගනිමිනි. ලකුණු 300ක් ලබාගෙන සිටිය දී ඉනිම අත්හිටවූ ජෝසප් වාස් ක්‍රීඩකයින්, ධර්මරාජ ක්‍රීඩකයින්ව පළමු ඉනිම තුළ ලකුණු 80කටත්, දෙවන ඉනිම තුළ ලකුණු 124කටත් සීමා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ධනංජය පෙරේරා කඩුලු 6ක් හා කවිශ්ක ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගනිමින් ඉනිම් ද්විත්වය තුළ දස්කම් දැක්විය.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 300/9 dec (88): තිලාන් ප්‍රදීප්ත 122, යොහාන් පීරිස් 37, යසින්ත සමරරත්න 3/54.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – 80/10 (45.4): ධනංජය පෙරේරා 6/28.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 124/10 (60): ඉසුරු දයානන්ද 44, කවිශ්ක ප්‍රනාන්දු 4/16.


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 60ක ජයක් වාර්තා කර ගත් මෙම තරගය කදිරාන පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය ද සමඟින් පිටියට අවතීර්ණ වූ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට ලකුණු 191ක් රැස්කර ගත්තේය. එහි දී ලසිත් කෘෘස්පුල්ලේ අර්ධ ශතකයක් වාර්තා කරමින්, සිය කණ්ඩායමට අවශ්‍ය මූලික පසුබිම සකස් කළේය. එයට පිළිතුරු දුන් සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට නොහැකි විය.

එහි දී නවීන් නිර්මාල් කඩුලු 4ක් දවා ගන්නා ලදි. මාරිස් ස්ටෙල්ලා දෙවන ඉනිමට චතුර අනුරුද්ධ ලකුණු 48ක් එක් කරමින් සාන්ත පීතරයන් හට තවදුරටත් අභියෝගයක් වන්නට  වගබලා ගත්තේය. අවසානයේ ඔවුන් එම ඉනිමට ලකුණු 146ක් රැස්කර ගන්නා ලදි. අවසානයේ දී රවිඳු ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගනිමින් සාන්ත පීතර විද්‍යාලයට හිමිව තිබූ ලකුණු 246ක ඉලක්කය වෙත යාම අසීරු කරවිය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 191/10 (42.3): ලසිත් කෘෘස්පුල්ලේ 57, නවීන් නිර්මාල් 36, මොහොමඩ් අමීන් 6/56.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 111/10 (40.1): ශවිත් ප්‍රනාන්දු 23, නවීන් නිර්මාල් 4/30.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 146/5 dec (34): චතුර අනුරුද්ධ 48, රොශේන් ප්‍රනාන්දු 36, මොහොමඩ් අමීන් 4/47.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 185/10 (57.2): ශිවාන් පෙරේරා 44, රවිඳු ප්‍රනාන්දු 5/65.


සාන්ත තෝමස් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

ඩිලෝන් පීරිස්ගේ සුපිරි පන්දුකරණය හා කලණ පෙරේරාගේ තුන් ඉරියව් නැවතත් විදහාලූ තරගයක් වූ මෙහි දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉනිමක හා ලකුණු 56ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ගන්නා ලදි.

සාන්ත තෝමස් පිටියේ දී කාසියේ වාසිය දිනූ ධර්මපාල ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදී විද්‍යාලයට පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේය. එහි දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 261ක් ලබාගෙන ඉනිම අත්හිටුවන ලදි. කලණ ලකුණු 73යි.

පිළිතුරු ඉනිම් දෙකම ක්‍රීඩා කළ ධර්මපාල ක්‍රීඩකයින් හට සාන්ත තෝමස් ඉනිම අභිබවා යාමට අපහසු විය. තරගය පුරාවට ඩිලෝන් කඩුලු 10ක් දවාලන විට, ඔහුට සහය වූ කලණ  සිය තුන් ඉරියව් දස්කම් විදහාලමින් පළමු ඉනිමේ කඩුලු 5ක් දවාලන ලදි. ධර්මපාල ක්‍රීඩකයින් පිළිවෙළින් ලකුණු 115ක් හා ලකුණු 90ක් ඔවුන්ගේ ඉනිම දෙක තුළම ලබා ගත්තේ, සාන්ත තෝමස් විද්‍යාලයට ජයග්‍රහණය විවර කරමිනි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 261/8 dec (63.4): කලණ පෙරේරා 73, මනීශ රූපසිංහ 52, ලක්ෂිත සඳරුවන් 2/22.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 115/10 (40.2): අවිශ්ක හසරිඳු 24, කලණ පෙරේරා 5/39, ඩිලෝන් පීරිස් 4/25.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 90/10 (45): ඩිලෝන් පීරිස් 6/40.


වෙස්ලි විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය

පෙරේදා (22) ආරම්භ වූ මෙම දෙදින තරගය ද, ඉනිමක ජයග්‍රහණයකින් අවසන් කිරීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් හට හැකි විය.

වෙස්ලි විදුහල් පිටියේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 140ක් පමණි. පන්දු යැවීමේ දී නවෝද්‍ය විජේකුමාර කඩුලු 3ක් දවාලන ලදි.

නවෝද්‍ය පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් හට සහයක් වෙමින් ලකුණු 53ක් රැස්කර ගන්නා විට, ඔහුට පසුපෙළින් සහය වූ කල්හාර සේනාරත්න ලකුණු 52ක් ලබා ගන්නා ලදි. සකුන්ත ලියනගේ කඩුලු 4යි.

දෙවනි ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 126ක් ලබා ගැනීමට නියමිතව තිබුණ ද, එය සාර්ථක කර ගැනීමට නිමංක ජයතිලක අවස්ථාවක් ලබා නොදුන්නේ ලකුණු 48ක් තුළ කඩුලු 9ක් දවාලමිනි.

අවසානයේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ඉනිමක හා ලකුණු 13ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන මෙම තරගයේ නිමාව සනිටුහන් කරන ලදි.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 140/10 (43.1): ශෙනාල් දංගල්ල 39*, සිදත් ධර්මසිරිවර්ධන 32, නවෝද්‍ය විජේකුමාර 3/24.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 265/10 (64.4): නවෝද්‍ය විජේකුමාර 53, කලහාර සේනාරත්න 52, ජනිඳු හිම්සර 26, සකුන්ත ලියනගේ 4/30.

වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම – 112/10 (37): කාවින්දන පෙරේරා 40, නිමංක ජයතිලක 9/48.


සහිරා විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමක ජයග්‍රහණයක් හිමි වූ, මෙම තරගය කොළඹ සහිරා පිටියේ දී අවසන් විය.  කාසියේ වාසිය ජයග්‍රහණය කළ සහිරා පිලට මොහොමඩ් ශමාස් අර්ධ ශතකයක් එක කළ ද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ඵලක් නොවීය.

ලකුණු 474 ලබාගත් සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් රිසිර ලක්වින ලකුණු 106ක් රැස්කර ගන්නා විට, පුශ්පිත ඩිල්ශාන් හා කේසර නුවන්තන අර්ධ ශතක ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මොහොමඩ් රිශාත් කඩුලු 2යි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 293/10 (76.3): මොහොමඩ් ශමාස් 61, යසිත් නිර්මාල් 46, සුපුන් කාවින්ද 5/46.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – 474/10 (113.4): රිසිර ලක්වින 106, පුශ්පිත ඩිල්ශාන් 79, කේසර නුවන්ත 75, සඳරු නෙත්මින 71, මොහොමඩ් රිශාත් 2/50.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට