ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක සේනාධීරගෙන් සුපිරි පන්දු යැවීමක්!

252

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් උරෙනුර ගැටෙන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග 3ක් අද (21) දිනයේ ක්‍රියාත්මක විය. ඉන් තරග දෙකක් අද නියමිත පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ අතර අනෙක් තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල විය.

අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක යෙදුණු දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක කවිශ්ක සේනාධීරයි.

සචිත්‍ර, මාලිංග හා වැන්ඩර්සේ සුපිරි පන්දු යැවීමක

සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිමෝ හා ටීජේ ලංකා අතර තරගය අද (21) උදෑසන කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට්…

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

දර්ශනීය අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවන විට කැපී පෙනෙන වාසියක් හිමි කරගෙන සිටින්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. ඔවුන් මීට දින දෙකකට ඉහත දී මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව පැවති තරගය ද ඉනිමකින් සහ ලකුණු 49කින් ජය ගනිමින් පසුවන්නේ ජයග්‍රාහී රිද්මයකයි.

කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණයේ තිබූ දෝෂ සහගත බව වැඩි කල්වේලා නොයවාම ඔවුන්ට පැහැදිලි විය. ඒ ඩී. එස්. පිළේ කඩුලු එකින් එක බිඳ වැටෙන්නට පටන් ගැනීමත් සමඟයි.

එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ඉන්ද්‍රජාල පන්දු යැවීමක නිරත වූ කවිශ්ක සේනාධීර ලකුණු 32ක් පමණක් ලබා දෙමින් ඩී. එස්. පිතිකරුවන් සය දෙනෙකුම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සමත් විය. මෙම සුපිරි ක්‍රීඩාශීලිත්වය ඉදිරියේ දණ නැමූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 120කට සීමා විය. එහි දී කවිශ්කගේ පන්දුවලට යම් තරමක හෝ ප්‍රතිරෝධයක් දැක්වූ අයන්ත ද සිල්වා ලකුණු 43ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔහුගේ පිතිකරණය නොවන්නට ඩී. එස්. සේනානායක විද්‍යාලයට ලකුණු සියයේ සීමාවට ද ළඟා වන්නට නොහැකි වීමට ඉඩ තිබුණි.

ඒ අනුව අද දිවා කාලයේ දී ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කරගෙන මේ වන විටත් ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගෙන සිටියි. එහි දී හසින්ත ජයසූරිය ලකුණු 63ක් රැස් කර ගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ට්‍රෙවෝන් පර්සිවිල් මේ වන විට නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 26කි. බිඳ වැටුණු කඩුලු 5න් 2ක් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සඳුන් වික්‍රමරත්නට හිමි විය. මේ වන විටත් කඩුලු 5ක් අතැතිව ලකුණු 10ක් ඉදිරියෙන් සිටින ත්‍රිත්ව විද්‍යාලය හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයකට උත්සාහ දරනු ඇති නිසා තරගය ආරක්ෂා කර ගැනීමට නම් ඩී. එස්. ක්‍රීඩකයින්ට ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇත.

ඩී.එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 34.4): අයන්ත ද සිල්වා 43, කවිශ්ක සේනාධීර 6/32.

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 130 (පන්දුවාර 34):හසින්ත ජයසූරිය 63, ට්‍රෙවෝන් පර්සිවිල් 26*, සඳුන් වික්‍රමරත්න 2/24.


මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරගය

මේ දක්වා තරගයේ දිශානතිය පිළිබඳ නිශ්චිත අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකි අන්දමින් ගලාගෙන යන මෙම තරගයේ පළමු දිනය අද නිමාවට පත්වූයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 72ක් ලබා සිටිය දීයි. එහි දී මන්ජිත් රාජපක්ෂ ලකුණු 39කට දැවී ගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන අවිඳු හේරත් ලකුණු 27ක් ලබාගෙන සිටියි. සාන්ත ජෝසප් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර දීමට ප්‍රබල උත්සාහයක් දරන ලක්ෂාන් ගමගේ ලකුණු 8කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා ප්‍රකට කරමින් සිටියි.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් අතර ඔවුන් සියල්ලන්ම දැවී අද රැස්කර ගත්තේ ලකුණු 186ක් පමණි. එහි දී සචින්ත මහින්දසිංහ නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් පිත්තෙන් ඉහළ දක්ෂතා දැක්වූ අතර ශ්‍රී ලංකා ජාතික යොවුන් පිළේ වර්ණ දරන ජෙහාන් ඩැනියෙල් ද අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. මේ වන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 5ක් අතැතිව සාන්ත ජෝසප් විද්‍යාලයට වඩා ලකුණු 114ක් පිටුපසින් පසුවේ. තරගයට සත්කාරකත්වය දරන්නේ ද කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයයි.

සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 65.2): සචින්ත මහින්දසිංහ 58*, ජෙහාන් ඩැනියෙල් 54, එරාන් ගුණරත්න 29, නදීර බාලසූරිය 2/26, හුශිඳු නිස්සංක 2/42.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 72 (පන්දුවාර 28): මන්ජිත් රාජපක්ෂ 39, අවිඳු හේරත් 27*, ලක්ෂාන් ගමගේ 4/08.

මීට අමතරව අද පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය අද එකදු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකිව අත්හැර දැමීමට තරග තීරකවරුන්ට සිදු විය. අද දිනය පුරා පැවති අයහපත් කාලගුණ තත්වය නිසා කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි වීම ඊට හේතුවයි. තරගයේ පැවැත්වීමට සූදානම් කොට තිබුණේ වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දීයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට