රවිඳුගේ ශතකය නිසා ධර්මාශෝකය පෙරමුණ ගනියි

445
u19 cricket

පාසල් වයසේදීම ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දක්වන ක්‍රීඩා තරු හඳුනා ගැනීමේ හොඳම අවස්ථාවක් වන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් අද (09) ආරම්භ විය. එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ශතකයක් වාර්තා කරමින් තම පාසලේ නාමය දිදුලවන්නට රවිඳු රෂාන්ත සමත් විය.

පසුගිය ලිපි: යොහාන් පීරිස්ගෙන් නොදැවී ශතකයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට ධර්මාශෝක විද්‍යාලීය නායකයා සමත් විය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 310ක් රැස් කළහ. ඒ වෙනුවෙන් රවිඳු රෂාන්ත ලකුණු 116ක් රැස් කරමින් මූලිකත්වය ගත්තේය. උශාන් ඉමන්ත නොදැවී ලකුණු 65යි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් සිතුම් නිලුමින්ද කඩුලු 5ක් බිඳ හෙලීය. ප්‍රථම දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන අනුරාධපුර පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 184ක් පමණක් රැස් කරගෙන අසීරු තත්වයක පසුවෙයි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එකම බලාපොරොත්තුව බවට පත්ව සිටින ධනංජය තම්මිට නොදැවී ලකුණු 70ක් ලබා සිටියි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 310 (පන්දුවාර 56.5): රවිඳු රෂාන්ත 116, උශාන් ඉමන්ත 65*, සිතුම් නිලුමින්ද 5/95, මධුරංග චන්ද්‍රරත්න 2/75.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 184 (පන්දුවාර 35): ධනංජය තම්මිට 70*, නිමේෂ් මෙන්ඩිස් 2/44, හර්ෂජිත් රොෂාන් 2/22.


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

අද කොළඹ BRC පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ ලුම්බිණි විද්‍යාලයට හිමිවිය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර අවස්ථාව සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ ඉසිපතන විද්‍යාලයට ලබාදුන්නේය. එම ආරාධනය භාරගත් ඉසිපතන පිතිකරුවෝ ප්‍රථම දිනය නිමාවට පත්වන විට සියල්ලන්ම දැවී ලකුණු 281ක් රැස් කළහ. ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සංජුල අබේවික්‍රම අද ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය. අයන සිරිවර්ධන ලකුණු 56යි. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් තානුක දාබරේ ලකුණු 56ට කඩුලු 5ක් බිඳ දැමීය.

කොළඹ ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී 281 (පන්දුවාර 91.3): සංජුල අබේවික්‍රම 88, අයන සිරිවර්ධන 56, හර්ෂ රත්නායක 39, කළණ පෙරේරා 35, මනීෂ රූපසිංහ 20, තානුක දාබරේ 5/56, විමුක්ති කුලතුංග 3/88.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට කාසියේ වාසිය හිමිවුණු මෙම තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේදී අද ආරම්භ විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වගකීම තමන් වෙතම පවරාගත් ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන්ට සාර්ථක වීමට මලියදේව පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 155 රැස් කරද්දී ඔවුන්ව අසරණ කිරීමට මූලිකත්වය ගත් සංජීවන් ප්‍රියදර්ශන ලකුණු 21කට කඩුලු 6ක් දවාලීය. තම පිලිතුරු වෙනුවෙන් පන්දුවට පහර දෙන මලියදේව පිතිකරුවන් මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 197ක් ලබමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය මේ වනවිටත් සපුරාගෙන සිටියි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 50): ශලක බණ්ඩාර 37, රිෆාස් මහරූෆ් 33, සචිත ලියනගේ 27, සංජීවන් ප්‍රියදර්ශන 6/21

කුරුණෑගල මලියදේව විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 197 (පන්දුවාර 43): දුලාජ් රණතුංග 84*, දමිත සිල්වා 56*, තනුල චමෝද් 2/28.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

කදිරාන ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු මෙම තරගයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්ව සිටියි. අද උදෑසන කාසියේ වාසිය දිනාගත් ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ වගකීම බණ්ඩාරනායක පිතිකරුවන් වෙත ලබා දෙමින් ඔවුන්ව ලකුණු 134ක් තුලදී දවා ගැනීමට සමත් විය. එය ඉක්මවා යමින් අද ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට මාරිස්ටෙලා පිතිකරුවන් කඩුලු 4කට රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 165කි. ඒ වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 98ක් රැස් කරගෙන ශතකය පෙනෙන මානයේ පසුවෙයි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 50.3): හශින්ත තිමල් 30, සසිරි අධිකාරි 24, පසිඳු බණ්ඩාර 26, සචිඳු කොළඹගේ 4/13, රවිඳු ප්‍රනාන්දු 3/26.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය – කඩුලු 4ක් දැවී 165 (පන්දුවාර 42): ලසිත් කෲස්පුල්ලේ 98*, චතුර අනුරාධ 25, අශාන් ප්‍රනාන්දු 22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට