මාරිස්ටෙලා, ධර්මාශෝක සහ මලියදේව විද්‍යාල ජය කෙහෙළි නංවයි.

331
U19 Schools cricket

අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අඹර සරසන පාසල් ක්‍රිකට් තරු සොයා යන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක් අද (10) නිමාවට පත්විය. එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ජයග්‍රහණ හිමි කරගත් අතර කොළඹ ඉසිපතන විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් හිමිවිය.

පසුගිය ලිපි: රවිඳුගේ ශතකය නිසා ධර්මාශෝකය පෙරමුණ ගනියි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුනු මෙම තරගය අද ධර්මාශෝක විද්‍යාලයට පූර්ණ තරග ජයග්‍රහණයක් හිමිකර දෙමින් නිමාවට පත්විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ධර්මාශෝක පිතිකරුවන් සියලු දෙනාම දැවී ලකුණු 310ක් රැස් කල අතර ඊට ප්‍රතිචාර වශයෙන් අනුරාධපුර ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණි. එබැවින් දෙවැනි ඉනිම ක්‍රීඩා කල ධර්මාශෝක ක්‍රීඩකයින් ලකුණු 295ක ඉලක්කයක් අනුරාධපුර විද්‍යාලයට හිමිකර දුන්නේය. එය හඹාගිය අනුරාධපුර පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණි. එබැවින් ලකුණු 164ක ජයක් ධර්මාශෝක විද්‍යාලයට හිමිවිය. ජයග්‍රාහී විද්‍යාලය වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ශතකයක් රැස්කල රවිඳු රෂාන්ත මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 310 (පන්දුවාර 56.5): රවිඳු රෂාන්ත 116, උශාන් ඉමන්ත 65*, සිතුම් නිලුමින්ද 5/95, මධුරංග චන්ද්‍රරත්න 2/75.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 47.1): ධනංජය තම්මිට 91, චිත්‍රක චිරන්ත 35, ඩිල්ශාන් ලක්ෂිත 33, හර්ෂජිත් රොෂාන් 2/22, ලසිත් කුමාර 2/32, කවිඳු නදීශාන් 2/52, නිමේෂ් මෙන්ඩිස් 2/54.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (දෙවැනි ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 34) උශාන් ඉමන්ත 58, කවීෂ් කුමාර 23, කසුන් මධුරංග 23, සිතුම් නිලුමින්ද 4/80, රවින්ද්‍ර ප්‍රභාෂ්වර 6/78.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 131: (පන්දුවාර 40) ලසිත් කුමාර 3/26, නිමේෂ් මෙන්ඩිස් 2/18.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 8ක පහසු ජයක් හිමිවුනු මෙම තරගය ඊයේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේදී ආරම්භ විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ලකුණු 155ක් තුලදී සියලු කඩුලු අහිමි කරගත් අතර සාර්ථක පිතිකරණයක යෙදුනු මලියදේව ක්‍රීඩකයින් ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 300ක් රැස් කර ගත්හ. මලියදේව විද්‍යාලය වෙනුවෙන් දමිත සිල්වා නොදැවී ලකුණු 110ක් රැස් කළේය. ඒ අනුව ලකුණු 145ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ජනාධිපති පිතිකරුවන් ලකුණු 213කට දැවී ගියේ මලියදේව විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 69ක පහසු ඉලක්කයක් හිමිකර දෙමිනි. එය කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් හඹාගිය මලියදේව පිතිකරුවෝ තරග ජය තමන් සතුකර ගත්හ.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 50): ශලක බණ්ඩාර 37, රිෆාස් මහරූෆ් 33, සචිත ලියනගේ 27, සංජීවන් ප්‍රියදර්ශන 6/21.

කුරුණෑගල මලියදේව විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 300 (පන්දුවාර 64.2): දමිත සිල්වා 110*, දුලාජ් රණතුංග 89, කවීන් බණ්ඩාර 35, තනුල චමෝද් 3/67.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 56.5): සචිත ලියනගේ 47, මාලක ද සිල්වා 37, සංජීවන් ප්‍රියදර්ශන 5/80, දිනංජය ප්‍රේමරත්න 2/40.

කුරුණෑගල මලියදේව විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 69 (පන්දුවාර 15.5): දුලාජ් රණතුංග 31*.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අසරණ කරමින් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඉනිමක සහ ලකුණු 79ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගත් මෙම තරගය කදිරාන ක්‍රීඩාංගණයේදී අද නිමාවට පත්විය. එහිදී බණ්ඩාරනායක පිතිකරුවන් ප්‍රථම ඉනිම අසාර්ථක කරගනිමින් ලකුණු 134ක් තුලදී සියල්ලන්ම දැවී ගිය අතර මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 6කට ලකුණු 318ක් ලබා ගනිමින් සිය ඉනිම අත්හිටවීය. මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ විශිෂ්ට ඉනිමක නිරත වෙමින් ලකුණු 151ක් වාර්තා කිරීමට සමත් විය. මාරිස්ටෙලා පිතිකරුවන්ගේ සාර්ථකත්වය හමුවේ දැඩි පීඩනයකින් දෙවැනි ඉනිම ක්‍රීඩා කල බණ්ඩාරනායක පිතිකරුවන්ට එහිදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 50.3) හචින්ත තිමල් 30, සසිරි අධිකාරි 24, පසිඳු බණ්ඩාර 26, සචිඳු කොළඹගේ 4/13, රවිඳු ප්‍රනාන්දු 3/26.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 318 (පන්දුවාර 62) ලසිත් කෲස්පුල්ලේ 151, දුශාන් ගුරුගේ 67*, නවීන් ප්‍රනාන්දු 26*, චතුර අනුරාධ 25, අශාන් ප්‍රනාන්දු 22, පසන් හංසන 2/96, හචින්ත තිමල් 2/40.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 35.5) පසිඳු බණ්ඩාර 20, මාධව සත්සර 15, පසිඳු උශෙට්ටි 5/39, රවිඳු ප්‍රනාන්දු 2/39.


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

කොළඹ ඉසිපතන විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමිවුණු මෙම තරගය අද කොළඹ BRC පිටියේදී නිමාවට පත්විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය රැස්කල ලකුණු 281ට පිලිතුරු වශයෙන් ලුම්බිණි පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 117ක් පමණි. අසාර්ථක ප්‍රථම ඉනිම නිසා ලකුණු 164ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම අරඹන්නට සිදුවූ ලුම්බිණි ක්‍රීඩකයින් ප්‍රථම ඉනිමේදී තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස් කරගෙන සිටියහ.

කොළඹ ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 281 (පන්දුවාර 91.3) සංජුල අබේවික්‍රම 88, අයන සිරිවර්ධන 56, හර්ෂ රත්නායක 39, කළණ පෙරේරා 35, මනීෂ රූපසිංහ 20, තානුක දාබරේ 5/56, විමුක්ති කුලතුංග 3/88.

කොළඹ ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 38.4) විනූ හේමාල් 20, ලහිරු ඩිල්ශාන් 5/34, සන්ජුල බණ්ඩාර 3/14, අයන සිරිවර්ධන 2/09.

කොළඹ ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 224 (පන්දුවාර 65) තානුක දාබරේ 55, විනූ හේමාල් 56, අමිත දාබරේ 27*, රවිඳු සංජීව 20, ලහිරු ඩිල්ශාන් 3/57, හේශාන් ප්‍රනාන්දු 2/53, සංජුල බණ්ඩාර 2/37.


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය අද ප්‍රථම දිනය සඳහා ක්‍රියාත්මක විය. එහිදී කාසියේ වාසිය හිමිකර ගත් ධර්මපාල පිතිකරුවන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළත් ඔවුන්ට ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කිරීමට හැකි වූයේ ලකුණු 131ක් පමණි. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත සෙබස්තියන් පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කරගෙන ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 47) ගිම්හාන් ගුණසිංහ 30, තෂික් පෙරේරා 3/10, තරූෂ ප්‍රනාන්දු 3/29.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 189 (පන්දුවාර 46) දුලාජ් ශානිල්ක 64, මලින්ත පීරිස් 50*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට