හරීන් හා නවිදු ඇලෝසියස් ජය තහවුරු කරයි

351
U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (28) පැවැත්වු අතර ඒ අතුරෙන් ඊයේ (27) ආරම්භ වු තරඟයෙන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: හරීන් බුද්ධිල සර්වේසස් විද්‍යාලයේ කඩුලු 7ක් සොරාගනියි

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඊයේ (27) මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කල ගාල්ල ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට සාන්ත සර්වේසස් විද්‍යාලයට ඇරයුම් කරන ලදි. මෙම තරඟයෙන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය තම දෙවන ඉණිමට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටින ලදි. එතැන් සිට තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක වූ අතර, සාන්ත සර්වේසස් විද්‍යාලය සිය දෙවන ඉණිමට සියල්ලන්ම දැවී ලකුණු 256ක් ලබා ගැනීමට සමත් විය. එවන් ලකුණකට යාමට දක්ෂ ඉණිමක් දියත් කල සඳරු නෙත්මින විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 79ක් ලබා ගන්නට සමත් විය. අනෙක් අන්තයේ සිට කඩුල්ල රැකගෙන ක්‍රිඩා කල මුදිත හශාන් ලකුණු 46ක් දක්වා තම ඉණිම ක්‍රියාත්මක කලද, අර්ධ ශතකයක් ලබා ගැනීමේ වාසනාව ඔහුට අහිමිවී ගියේය. හරීන් බුද්ධිල දෙවන ඉණිම තුලද ලකුණු 6ක් තුළ කඩුලු 3ක් ඩැහැගනිමින් දස්කම් දක්වන ලදි.

ලකුණු 157ක ඉලක්කයක් සහිතව තම දෙවන ඉණිමට ආරම්භය ලබාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් නවිදු නිර්මාල් නොදැවී ලකුණු 38ක් ලබා ගන්නා ලදි. ඔහු නොහිටින්නට යම් හෙයකින් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට තිබුණු අතර, පිත්තෙන් ද ලකුණු 39ක් සාන්ත සර්වේසස් දෙවන ඉණිමට එක් කල ඉසුරු දල්දවත්ත කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 31.5): සුපුන් කවිදු 45, සඳරු නෙත්මින 31, හරීන් බුද්ධිල 7/26, කවිශ්ක ඩිල්ශාන් 2/35

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 56): අශේන් බණ්ඩාර 126, හරීන් බුද්ධිල 25, ශසික දුල්ෂාන් 3/42, සඳරු නෙත්මින 2/35

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 256 (පන්දුවාර 83.2): සඳරු නෙත්මින 79, මුදිත හශාන් 46, සුපුන් කවිදු 39, ඉසුරු දල්දවත්ත 39, හරීන් බුද්ධිල 3/06, කවිශ්ක ඩිල්ශාන් 2/35

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 157 (පන්දුවාර 23): නවිදු නිර්මාල් නොදැවී 38, පසිදු නානායක්කාර 28, ඉසුරු දල්දවත්ත 3/63


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (28) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තරගයේ මුල් දිනය අවසානයේ දී  නාලන්ද විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 15ක් ලබාගෙන සිටියි.

තෙවන ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය ලබා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩක හසිත බෝයගොඩ දර්ශනීය පහර කිහිපයක්ම එල්ල කරමින් ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 35ක් රැස්කර දෙන ලදි. අනෙක් අන්තයෙන් හසින්ත ජයසූරිය ලකුණු 31ක් ලබා ගත්තද, අනෙත් ත්‍රිත්ව පිතිකරුවන්ට සාර්ථක ඵල නෙලන්නට උමේක්ෂ ඩිල්ශාන් ඉඩකඩ ලබා දුන්නේ නැත. ඔහු  ලකුණු 24ක් තුල ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රබල කඩුලු 5ක් ක්‍රීඩාගාරයට ඉක්මනින් හරවා යවන ලදි. සවස් කාලයේදී මෙම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 48.1): හසිත බෝයගොඩ 35, හසින්ත ජයසූරිය 31, උමේක්ෂ ඩිල්ශාන් 5/24, දසුන් සෙනවිරත්න 2/11

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 15 (පන්දුවාර 8.1):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට