ශතක දෙකක් සමඟ ජයග්‍රහණය මහානාමයට

1703
Schools Cricket

පාසල් ක්‍රිකට් තරු සොයා යන ගමනේ තවත් දිනයක් වූ අද (21) දිනය තුල, පළමු කාණ්ඩයේ තරඟ කිහිපයක්ම පැවැත්විණි. ඊයේ (20) ආරම්භ වූ තරඟ දෙකෙන් කොළඹ මහානාම විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය යන කණ්ඩායම් පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගන්නට අද සමත් විය.

පසුගිය ලිපි: ගුරුකුල විද්‍යාලයට ඉණිමක ජයක්

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස බ්ලුම්ෆීල්ඩ් පිටියේදී ඊයේ (20) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය, පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නට මහානාම විද්‍යාලය සමත් විය.

පළමු දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිටියේය. දිනය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි මලිදු මදුරංග ලකුණු 44*ක් ලබාගෙන අර්ධ ශතකය ආසන්නයේ රැදී සිටි අතර ඔහු මනරම් හා තාක්ෂණයෙන් සපිරුණු ඉණිමක් දියත් කරමින් ශතකයක් තම නාමය ඉදිරියෙන් සටහන් කරගන්නට සමත් විය. ඔහු ලකුණු 111ක් මහානාම ලකුණු පුවරුවට එක් කරද්දී, පවන් රත්නායක මලිදු හට අගනා සහයක් ලබාදෙමින් තම ශතකයටද ලඟාවිය. ඔහු නොදැවී ලකුණු 102*ක් ලබාගනිමින් මහානාම පළමු ඉණිම ලකුණු 400ක කඩඉමක් දක්වාම ඔසවා තබන ලදි.

එශාන් නේලක තරඟකාරී පිතිකරණයක් දියත් කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවී යන ලදි. අවසානයේ මහානාම විද්‍යාලය තම ඉණිම අත්හිටුවීමට තීරණය කල අතර එම ඉණිම මහානාම විද්‍යාලයට කිසිදා අමතක නොවන ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් කඩුලු 7ක් දැවී ලකුණු 409ක් ලෙස අවසානයේ සටහන් විය.

ලකුණු 192ක පළමු ඉණිමේ අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල ආනන්ද විද්‍යාලය දිනය අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 64ක් ලබා ගන්නා ලදි. එහිදී සම්මු අශාන් ලකුණු 34ක් වාර්තා කරන ලදී.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 58): සහන් සුරවීර 55, සම්මු අශාන් 50, අශාන් පියුමාල් 2/40, මහේල ද සිල්වා 2/44

මහානාම විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු  409 dec (පන්දුවාර 130.3): මලිදු මදුරංග 111, පවන් රත්නායක 102*, එශාන් නේලක 99, කවිදු මුණසිංහ 48, , අසේල සිගේරා 3/28

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 64 (පන්දුවාර 14): සම්මු අශාන් 34

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (20) ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල මලියදේව විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය.

බණ්ඩාරනායක විද්‍යාලයේ ලකුණු 190ට පිළිතුරු ලෙස තම පළමු ඉණිම ආරම්භ කල මලියදේව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගෙන තම ඉණිම අත්හිටුවූ අතර, එහිදී දමිත සිල්වා තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ලකුණු 108ක් ලබා ගන්නා ලදි. දුලාජ් රණතුංග මැදපෙළ සවිමත් කරවමින් ලකුණු 62ක් ලකුණු පුවරුවට එකතු කල අතර, අරෝශ මදුෂාන් හා ජනිදු ජයවර්ධන කඩුලු 2ක බැගින් දවාගන්නා ලදි.

ලකුණු 110ක පළමු ඉණිමේ අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල බණ්ඩාරනායක විද්‍යාලයේ පිතිකරුවන් හට තරඟය අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණි.

එහිදී සසිත මදනායක නොදැවී ලකුණු 77*ක් ලබාගෙන එක් අන්තයක ක්‍රීඩා කලද, අනෙක් අන්තයෙන් නිසි සහයක් ඔහුට නොලැබිණි. දමිත සිල්වා ලකුණු 76කට කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 43.3): හචිත තිමාල් 67, සසිරි අධිකාරි 61, දමිත සිල්වා 4/49, සංජීවන් ප්‍රියදර්ශන 2/24

මලියදේව විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 300 dec (64): දමිත සිල්වා 108, දුලාජ් රණතුංග 62, දිනංජය ප්‍රේමරත්න 33, අරෝශ මදුෂාන් 2/32, ජනිදු ජයවර්ධන 2/33

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 41.3): සිසිත මදනායක 77*, දමිත සිල්වා 5/76, සංජීවන් ප්‍රියදර්ශන 2/19

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (21) ගම්පොළ වික්‍රමබාහු පිටියේදී පළමු දිනය ක්‍රියාත්මක විය. කාසියේ වාසිය හිමිකරගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම දියත් කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියි.

සාන්ත මරියා විද්‍යාලය තම පළමු ඉණිමට සියල්ලන්ම දැවී ලකුණු 151ක්  රැස්කර ගත් අතර, එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේදී ගජිත කොටහේගොඩ ලකුණු 33ක් ලබාගෙන පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මොහොමඩ් අමීන් සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ලකුණු 41කට කඩුලු 4ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

අනතුරුව තම පළමු ඉණිම දියත් කල පීතරයින් පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා ගන්නා ලදි. සන්තුෂ් ගුණතිලක ලකුණු 28කට දවාලීමට සාන්ත මරියා විද්‍යාලය සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 50.4): ගජිත කොටහේගොඩ 33, මොහොමඩ් අමීන් 4/41, සචින් සිල්වා 3/19, චතුර ඔබේසේකර 3/46

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – කඩුලු 3ක් දැවී ලකුණු 98 (පන්දුවාර 34.5): සාලිත් ප්‍රනාන්දු 46*, සන්තුෂ් ගුණතිලක 28

සාන්ත පීතර විද්‍යාලය සාන්ත මරියා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 53ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට