වේල්ස් කුමරුවන් දැවැන්ත ජයක් ලබාගෙන 2018ට තිත තබයි

778

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක පාසල් ක්‍රිකට් තරග කිහිපයක් අද (31) පැවැත්විය. එහි දී කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 96කින් පරාජයට පත් කළ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ජයක් සමරමින් 2018 වර්ෂය නිමා කිරීමට සමත් විය.

ඊට අමතරව කොළඹ ආනන්ද විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණවලින් සැහීමකට පත්විය.

ආනන්ද – ධර්මපාල විද්‍යාල ක්‍රිකට් තරගය උණුසුම් වන ලකුණු

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා….

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කෝට්ටේ  ජනාධිපති විද්‍යාලය

මොරටුවේ දී නිමාවුණු මෙම B කාණ්ඩයේ ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 96ක දැවැන්ත ජයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වූ අතර එහි දී පන්දු යැවීමෙන් කෞමාල් නානායක්කාර සුපිරි ගණයේ දස්කම් දක්වන ලදි.

මේ තරගයේ අද දිනය ආරම්භ කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 64ක් ලබාගෙන සිටි අතර දෙවන දිනයේ උදෑසන පළමු පැය තුල ජනාධිපති විද්‍යාල පළමු ඉනිම ලකුණු 126කට සීමා කිරීමට වේල්ස් කුමරුවන් සමත් විය.

ඉන් අනතුරුව ලකුණු 140ක පළමු ඉනිමේ අවාසියක් සහිතව නැවත වතාවක් පිටියට පිවිසුණු ජනාධිපති විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීමට නොහැකි වූ අතර එය ජනාධිපති විද්‍යාල පිතිකරුවන්ට සිහිනයක් කළ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම ලකුණු 44කට සීමා කළේය. නායක සුවත් මෙන්ඩිස් කඩුලු 3යි.

වේල්ස් කුමර විද්‍යාල ඊයේ දිනයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 266/9d (71.2): ප්‍රින්ස් ප්‍රනාන්දු 85, පසිඳු පැතුම් 68, කාවින්ද ද මෙල් 26, තරිඳු අමරසිංහ 22, තෙවින් තෙව්මික 3/43, ටශික නිර්මාල් 3/57.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 126 (49.2): තෙවින් තෙව්මික 21, කෞමාල් නානායක්කාර  5/38, ලක්ෂාන් පෙරේරා 3/27.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (F/O) – 44 (21.5): හසිත නිර්මාල් 27, කෞමාල් නානායක්කාර 5/22, සුවත් මෙන්ඩිස් 3/14

A කණ්ඩායමේ නායකත්වය ප්‍රියංජන්, තරංග සහ දුමිඳුට

එළඹෙන 6 වැනිදා ආරම්භ වන අයර්ලන්ත A – ශ්‍රී ලංකා A නිල නොවන….


කොළඹ ආනන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

දෙවන දිනයට ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මපාල විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 60ක් තුලයි. අද දිනයේ උදෑසන කාලයේ දී සිය පළමු ඉනිම ලකුණු 210 සීමාව දක්වා රැගෙන ඒමට දකුණතින් පිත්ත හසුරුවන නවිඳු මදුසංක හා තරිඳු සඳරුවන් සමත් වූ නමුත් පළමු ඉනිමේ ජයක් සඳහා එම ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවීය.

>>Photos: Dharmapala College vs Ananda college | Singer U19 Cricket Tournament 2018/19<< 

තරගයේ නියමිත කාලය අවසන් වන විට ආනන්ද විද්‍යාල සිය දෙවන ඉනිමේ වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 216ක් ලබාගෙන සිටි අතර කනිෂ්ක රන්තිලකගේ හා කමේෂ් නිර්මාල් අර්ධ ශතක ලබාගෙන ආනන්ද දෙවන ඉනිම ඔසවා තැබුවේය. ඊට අමතරව ආනන්ද මැදපෙළ සවිමත් කළ කලණ විජේසිරි නොදැවී ලකුණු 45*ක් ලබාගන්නා ලදි.  ඩිල්ශාන් ද සිල්වා කඩුලු 2යි.

සත්කාරක ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරදෙමින් අවසන් වූ මේ තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස නිමා විය.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 248 (82.2): කනිෂ්ක  රන්තිලකගේ 58, කලණ විජේසිරි 41, කවිඳු ගිම්හාන 38, ඩිල්ශාන් ද සිල්වා 3/37, විහඟ ගුණරත්න 3/50.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 210 (71.5): නවිඳු මදුසංක 55, තරිඳු සඳරුවන් 34*, මලිත් සඳකැලුම් 24, චාමික ගුණසේකර 4/38, ජනිඳු ජයවර්ධන 4/71.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 216/4 (35): කනිෂ්ක  රන්තිලකගේ 56, කමේෂ් නිර්මාල් 55, කලණ විජේසිරි 45*, ඩිල්ශාන් ද සිල්වා 2/42.


මරදාන සහිරා විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

සහිරා විදුහල් පිටියේ දී මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් වූ මේ තරගයේ අද දිනය ආරම්භ වන මොරටු මහා විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 100ක් ලබාගෙන සිටියේ සහිරා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පසුපසින් සිටිමිනි.

ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 42*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටි මදුශාන් දිලක්ෂණ සිය ඉනිම ශතකයක් දක්වා වර්ධනය කර ගත් අතර එම ඉනිම 4 පහර හයකින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය. ජනිත් සෙමිත් ලකුණු 37යි. පන්දු යැවීමේ දී මොහොමඩ් කාලිඩ් හා මොහොමඩ් රිෆාත් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

>>Photos: Moratu Vidyalaya vs Zahira College – Singer U19 Cricket Tournament 2018/19<< 

ලකුණු 110ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ සහිරා විද්‍යාල පිතිකරුවන් පළමු ඉනිමට සාපේක්ෂව වැඩි වගකීමක් සිය කර මතට ගෙන පිතිකරණයේ නිරත වීම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට සහිරා විද්‍යාලයට හැකි විය.

එහි දී මොහොමඩ් ශහදුල්ලා (ලකුණු 93) හා දුල්සර ශමින්ද (ලකුණු 51) එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය මොරටු මහා විද්‍යාල පන්දු යවන්නන්ට හිසරදයක් වූ අතර ඒ නිසාවෙන් අවසානයේ ඔවුන්ට පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදු විය. ඒරන් හංසමාල් කඩුලු 2යි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 118 (43.3): නදිත් මිශේන්ද්‍ර 7/34, ඒරන් හංසමාල් 2/43.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 228 (81): මදුශාන් දිලක්ෂණ 100, ජනිත් සෙමිත් 37, මොහොමඩ් කාලිඩ් 3/25, මොහොමඩ් රිෆාත් 3/67.

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 201/5 (62): මොහොමඩ් ශහදුල්ලා 93, දුල්සර ශමින්ද 51, මොහොමඩ් සල්සා 34, ඒරන් හංසමාල් 2/59.

ක්ෂණික කෝපය නිසා බැට කෑ පාකිස්තාන පුහුණුකරු

පසුගිය දා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදි නිමාව දුටු දකුණු අප්‍රිකාව සහ…


පළමු දිනයට පැවැත්වූ තරගය

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

මෙම දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (31) දින කොළඹ බී. ආර්. සී පිටියේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි නායකයා පළමුව පන්දුවට පහ රදෙන ලදි.

පළමු දිනය නිමා වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලුම්බිණි විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියේ ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 86ක් පසුපසින් සිටිමිනි.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් සොහාන් ඩිල්ශාන් හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර චමත් යටවර හා මෙතුශාන් කුමාර යන දඟපන්දු යවන්නන් ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කළේ පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 4ක් දවාගෙනයි.

ලුම්බිණි පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරගයේ පළමු දිනය තුලම සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය. ඒ වෙනුවෙන් සඳරු වික්‍රමරත්න  ලකුණු 44ක් ලබාගෙන ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුවත් එම ලකුණු ප්‍රමාණය අභිබවා ලකුණක් වෙතට යාමට ඩී. එස්. සේනානායක විද්‍යාල වෙනත් කිසිදු පිතිකරුවෙක් හට අවස්ථාව නොලැබුණේ ප්‍රභාත් මදුසංකගේ දක්ෂ පන්දු යැවීම නිසයි. අවසානයේ ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම ලකුණු 164කට සීමා විය. රවිෂ්ක විජේසිරි කඩුලු 3යි.

මේ තරගය හෙට (1) දෙවැනි දිනය සඳහා ද පැවැත්වීමට නියමිතව ඇත.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 74 (43.2): සොහාන් ඩිල්ශාන් 26, චමත් යටවර 5/14, මෙතුශාන් කුමාර 4/28.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 164 (43.1): සඳරු වික්‍රමරත්න 44, ප්‍රභාත් මදුසංක 5/36, රවිෂ්ක විජේසිරි 3/41.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 4/1 (4.1)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<