ද මැසනඩ් විද්‍යාලය ජයග්‍රහණය අභියස නවතී

166

2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට නිමා වී තිබේ. කෙසේ නමුත් එම තරගාවලියේ සුහද කාණ්ඩයේ තවත් තරග කිහිපයක් ඊයේත් (24) ක්‍රියාත්මක විය.

මලියදේව පිතිකරණය රිච්මන්ඩ් ක්‍රීඩකයන් රිදවයි

මහා ක්‍රිකට් තරග …

කඳාන ද මැසනඩ් විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ නිමාව දුටු මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉකුත් දා (23) කාසියේ වාසිය දිනා ගත් ද මැසනඩ් ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙහි දී මැසනඩ් ක්‍රීඩකයන් ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 145ක් ලබා ගන්නා ලදි. මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු ලකුණු 44ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කවිඳු  අංජන කඩුලු 4ක් බිඳ හෙළන ලදි.

තම ප්‍රථම ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ආනා ක්‍රීඩකයන් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 87ක් රැස්කරගෙන ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටි අතර ඊයේ උදෑසන ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවේ දී ඔවුන්ගේ අවසන් කඩුල්ලත් බිඳ වැටුණි. පන්දු යැවීමේ දී ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් රොමල් ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 58ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශන කළ රොමාල් ප්‍රනාන්දු නොදැවී ලකුණු 42*ක් ලබා ගත්තේය. මිතුල් සෙනරත් ලකුණු 34යි. ඔවුන් දෙවන ඉනිමේ දී කඩුලු 8ක් දැවී ලකුණු 138ක් ලබාගෙන ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් සාන්ත ආනා විද්‍යාලයට ලබා දෙමින් ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිටුවන ලදි.

සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලසිත් වර්ණකුලසූරිය ලබා ගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් ද මැසනඩ් විද්‍යාලයට ලබා ගැනීමට තිබූ ජය වැළකී ගියේය. පන්දු යැවීමේ දී රොමාල් ප්‍රනාන්දු දෙවන ඉනිමේ කඩුලු 3ක් ද තමන් සතුකර ගත්තේය.

ද මැසනඩ් විද්‍යාල පළමු ඉනිම – 145 (41.2): නිම්න ප්‍රනාන්දු 44, ලෙස්ටර් ජයවීර 24, සාලිය ජුඩ් 22, කවිඳු රණසිංහ 4/37, පසිඳු තෙන්නකෝන් 2/29, මනාන් මුසම්මිල් 2/37.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම –  87 (51.5): රොමාල් ප්‍රනාන්දු 6/30.

ද මැසනඩ් විද්‍යාල දෙවන ඉනිම – 138/8d (45): රොමාල් ප්‍රනාන්දු 42*, මිතුල් සෙනරත් 34, සිහින සිතුමිණ 32*, පසිඳු තෙන්නකෝන් 3/34, කවිඳු රණසිංහ 2/28.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 134/8 (52): ලසිත් වර්ණකුලසූරිය 57, රොමාල් ප්‍රනාන්දු 3/39, සිහින සිතුමිණ 2/15, සාලිය ජුඩ් 2/26.

රනේෂ් සහ සඳරු සහෝදර සංග්‍රාමය නැවත ලියයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර….

පළමු දිනයට පැවැත්වූ තරග

ලුම්බිණි විද්‍යාල හා කොළඹ මහානාම විද්‍යාලය

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ලුම්බිණි පිතිකරුවන් පැතුම් බොතේජුගේ දක්ෂ පන්දු යැවීමට එරෙහිව පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 137ක් පමණි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 216ක් ලබාගෙන පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන තිබුණි.

එහි දී මහානාම විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පළමු දිනය තුල දී ම අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පවන් රත්නායක හා සොනාල් ගමගේ නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටී. ඊට අමතරව මහානාම විද්‍යාලයේ මුල් පෙළ සවිමත් කළ පවන්ත වීරසිංහ ලකුණු 5කට දැවී ගියේ රවිෂ්ක විජේසිරිගේ පන්දුවකටයි. මේ තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 137 (46.2): ප්‍රභාෂ් මදුසංක 50, මොහොමඩ් නසීම් 32, ශවින්ද ප්‍රභාෂණ 21, පැතුම් බොතේජු 3/22, අවිශ්ක පෙරේරා 2/15, පවන්ත වීරසිංහ 2/25.

මහානාම විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 216/3 (46): සොනාල් ගමගේ 56*, පවන් රත්නායක 52*, පවන්ත වීරසිංහ 52, විනුක රූබසිංහ 31, බිෂාන් මෙන්ඩිස් 21, රවිෂ්ක විජේසිරි 2/70.

සල්පිටි රයිගම් කෝරල කුසලානය 15 වැනි වතාවටත් සමව බෙදේ

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය …

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය සුහද කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත සිල්වෙස්ටර්  විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 163ක් රැස්කර ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය අවසන් වූ වහාම සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මුල්පෙළ ප්‍රබල කඩුලු කිහිපයක් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට දේවින්ද දිසානායක ඇතුළු කිංග්ස්වුඩ් විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. නමුත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉනිම සවිමත් කළ මනෝහරන් පවිත්‍රන් ලකුණු 33ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 78ක් ලබාගෙන ඉතාමත් හොඳ ප්‍රබල තැනක පසුවේ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 163 (71.2): මනෝහරන් පවිත්‍රන් 33, චරිත් රාජගුරු 30, නදීර බාලසූරිය 30, චන්දුල ජයකොඩි 24, දේවින්ද දිසානායක 3/25, මහිඳුල එදිරිවීර 2/18, උත්පල ජයලත් 2/33.

කිංග්ස්වුඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 78/2 (21): විනුක පුස්සෙපිටිය 27*, දීඝායු බණ්ඩාර 24*

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම අද (25) දෙවන දිනයටත් ක්‍රියාත්මක වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<