යොවුන් ක්‍රීඩකයන් පාසලේ අභිමානය වෙනුවෙන් දැඩි සටනක

80

සිංගර් කුසලාන වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කිහිපයක් ඊයේ (01) ක්‍රියාත්මක විය.

එයින් තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන් එක් තරගයකින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වැඩි ගෞරව හිමි වෙමින් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශේෂ වේ.

සාන්තුවරයන්ගේ සටනේ දී ඩාර්ලි පාර ක්‍රීඩකයෝ සන්නද්ධ වෙති

බම්බලපිටිය සාන්ත පීතරයන්ගේ පළමු ඉනිමට එරෙහිව ඩාර්ලි පාරේ ක්‍රීඩකයෝ….

රත්ගම දේවපතිරාජ සහ අම්බලන්ගොඩ ශ්‍රි දේවේන්ද්‍ර

ඉකුත් දා (28) සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දේවෙන්ද්‍රයන් මුලින් පන්දුවට පහර දීමට දේවපතිරාජයන්ට ආරාධනා කළේය.

ඒ අනුව දේවපතිරාජයන්ගේ පළමු ඉනිම පන්දුවාර 71යි පන්දු 2ක් තුල ලකුණු 156කට සීමා විය. එහි දී දේවපතිරාජයන් වෙනුවෙන් සාර්ථක වූ ජිවක ශෂේන් ලකුණු 56යි. පවන් සංජය ලකුණු 24ක් සහ සුදීර වීරරත්න ලකුණු 21ක් ද රැස්කරන ලදි.

දේවේන්ද්‍රයන් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සමුදු ප්‍රමෝද් ලකුණු 48කට කඩුලු 7ක් දවා ගත් අතර චමිදු අනුෂ්ක ලකුණු 40කට කඩුලු 2ක් දවා ගත්තේය.

අනතුරුව ශ්‍රී දේවේන්ද්‍රයන් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් පන්දුවාර 46යි පන්දු 5ක් තුල සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 128ක් පමණි. එම ඉනිම වෙනුවෙන් දිලිඳු ද සිල්වා ලකුණු 33ක් සහ ප්‍රවීන් අවිශ්ක ලකුණු 32ක් එකතු කළහ.

දේවපතිරාජයන්ගේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ හිරුෂ්ක තිමිර ලකුණු 58කට කඩුලු 4ක් බිඳ හෙළීය.

අනතුරුව දේවේන්ද්‍රයන්ගේ පළමු ඉනිමට ලකුණු 28ක් ඉදිරියෙන් සිට දේවපතිරාජයන් සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් අවසන් දිනය නිමා වන තෙක් සිය ඉනිම ගොඩනගමින් පන්දුවාර 69ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 310ක් රැස්කරගෙන සිටියහ.

දේවපතිරාජයන්ගේ දෙවන ඉනිමට පැතුම් මදුශංක දක්ෂ ඉනිමක් ක්‍රිඩා කරමින් ලකුණු 126ක් ලබා ගත් අතර ඔහුට අනඟි සහයක් ලබා දෙමින් සුදීර වීරරත්න ලකුණු 85ක් සහ තිසර දිල්ශාන් ලකුණු 57ක් ලබා ගත්තේය.

මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

දේවපතිරාජ විද්‍යාලයේ පළමු ඉනිම:- සියල්ලන් දැවී 156 (71. 2) ජීවක ශෂේන් 56, පවන් සංජය 24, සුදීර වීරරත්න 21, සමුදු ප්‍රමෝද් 7/48, චමිදු අනුෂ්ක 2/ 40

ශ්‍රි දේවේන්ද්‍ර විද්‍යාලයේ පළමු ඉනිම:- සියල්ලන් දැවී 128 (46.5) දිවිඳු ද සිල්වා 33, ප්‍රවීන් අවිශ්ක 32, හිරුෂ්ක තිමිර 4/58, පවන් සදේශ් 2/05

දේවපතිරාජ දෙවන ඉනිම:- කඩුලු 7ක් දැවී ලකුණු 310 (69) පැතුම් මදුශංක 126, සුදීර වීරරත්න 85, තිසර දිල්ශාන් 57, දෙවිඳු ද සිල්වා 4/ 142


කොළඹ තර්ස්ටන් සහ මාතර සර්වේසස්

මෙම තරගය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති තීරණාත්මක තරගයක් වූ අතර එහි දී පළමු ඉනිමේ ජයක් සමඟින් ප්‍රසාද ලකුණක් හිමිකරගත් තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.  

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉකුත් දා (28) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සර්වේසස් නායකයා මුලින් පන්දුවට පහර දීම තර්ස්ටන් පිලට ලබා දුන්නේය.

ඒ අනුව තර්ස්ටන් පළමු ඉනිම පන්දුවාර 79යි පන්දු 4ක් තුල ලකුණු 283කට සියල්ලන් දැවී යාමෙන් නිමා විය. තර්ස්ටන් පළමු ඉනිම වෙනුවෙන් අයේෂ් හර්ෂණ ලකුණු 71ක් සහ රනේෂ් සිල්වා ලකුණු 51ක් ලබා ගත්හ. එමෙන්ම  භවන්ත ජයසිංහ ලකුණු 35ක්, යොහාන් ලියනගේ සහ නිමේෂ් පෙරේරා ද ලකුණු 26 බැගින් සිය ඉනිමට එක් කළහ.

සර්වේසස් වෙනුවෙන් පන්දුවෙන් කේෂර නුවන්ත ලකුණු 74කට කඩුලු 3ක් සහ චේතක දෙනුවන්, මතීෂ මදුෂාන් සහ ශෂික දුල්ශාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

අනතුරුව සර්වේසස් පළමු ඉනිම ක්‍රියාත්මක වූ අතර එහි දී ඔවුන් පන්දුවාර 71යි පන්දු 3ක් තුල සියල්ලන් දැවී ලකුණු 208ක් ලබා ගත්තේය.

සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර එහි දී රිසිර ලක්වින් ලකුණු 55ක් සහ ශෂික දුල්ශාන් ලකුණු 51ක් ලබාගත්හ. එමෙන්ම පසිඳු මනුප්‍රිය සහ කේෂර නුවන්ත පිළිවෙළින් ලකුණු 36ක් සහ 33ක් රැස්කළහ.

තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ද දස්කම් දැක්වූ අයේෂ් හර්ෂණ ලකුණු 67කට කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙණිනි. සඳරු ඩයස් ලකුණු 79කට කඩුලු 3ක් සහ භවන්ත ජයසිංහ ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්හ.

අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ තර්ස්ටන් පිතිකරුවන් ඊයේ (01) තරගය නිමා වන විට පන්දුවාර 35 පන්දුවක් තුල සියල්ලන් දැවී දෙවන ඉනිමට ලකුණු 134ක් ලබාගත්හ.

තර්ස්ටන් පළමු ඉනිම:- සියල්ලන් දැවී 283 (79.4) අයේෂ් හර්ෂණ 71, රනේෂ් සිල්වා 51, භවන්ත ජයසිංහ 35, යොහාන් ලියනගේ 26, නිමේෂ් පෙරේරා 26, කේෂර නුවන්ත 3/74, චේතක දෙනුවන් 2/31, මතීශ මදුෂාන් 2/33, ශෂික දුල්ශාන් 2/70

සාන්ත සර්වේසස් පළමු ඉනිම:- සියල්ලන් දැවී ලකුණු 208 (71.3) රිසිර ලක්වින් 55, ශෂික දුල්ශාන් 51, පසිඳු මනුප්‍රිය 36, කේෂර නුවන්ත 33, අයේෂ් හර්ෂණ 4/67, සඳරු ඩයස් 3/79, භවන්ත ජයසිංහ 2/21

මහානාමය ඉදිරියේ වේල්ස් කුමරුවන් තම විද්‍යාලය තුල දී ම අසරණ වෙයි!

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද….


මාතර සාන්ත තෝමස් සහ මහනුවර සාන්ත සිල්වෙස්තර

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සාන්ත තෝමස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඔවුන් සිය පළමු ඉනිම පන්දුවාර 72යි පන්දු 4ක් තුල කඩුලු 8කට ලකුණු 218ක් ලබා සිටිය දී අත්හිටු විය.

ඉනිම අත්හිටු වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිසන්තික ජයවීර ලකුණු 52ක් ලබා ගත් අතර හරිඳු ජයසේකර සහ නිපුන් රුචිර පිළිවෙළින් ලකුණු 48 සහ ලකුණු 34ක් ලබා ගත්හ.

සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නදීර බාලසූරිය ලකුණු 68කට කඩුලු 5ක් බිඳ දැමීය.

ඒ අනුව සිල්වෙස්තර පිතිකරුවන් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර දිනය නිමා වන විට ඔවුන් පන්දුවාර 23ක් තුල කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබා සිටියේය.

තරගයේ අවසන් දිනය අද (02) ආරම්භ වීමට නියමිතය.

සාන්ත තෝමස් විද්‍යාලය:- කඩුලු 8ක් දැවී ලකුණු 218 (72.4) දිසන්තික ජයවීර 52*, හරිඳු ජයසේකර 48, නිපුන් රුචිර 34, සචීර රශ්මික 25, මිහිසල් අමෝද් 24, නදීර බාලසූරිය 5/68

සාන්ත සිල්වෙස්තර පළමු ඉනිම:- කඩුලු 2ක් දැවී ලකුණු 60 (23)


මීගමුව මාරිස් ස්ටෙල්ලා  සහ මොරටුව සාන්ත සෙබස්තියන්

මෙම තීරණාත්මක තරගය ද විද්‍යාල දෙකටම ඉතා සුවිශේෂ තරගයක් වන්නේ මෙහි ජයග්‍රාහකයන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතින නිසාවෙනි.

ඒ අනුව සෙබස්තියන් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ මාරිස් ස්ටෙල්ලා නායකයා කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත්ත ද එම තීරණයට අභියෝග කරමින් ඔවුන්ගේ පළමු ඉනිම පන්දුවාර 41යි පන්දු 1ක් තුල ලකුණු 114කට සීමා කිරීමට සෙබස්තියන් පන්දු යවන්නන් සමත් විය.

පසිඳු පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබාගෙන එක් අන්තයක් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ ද අනෙක් කිසිදු පිතිකරුවෙකුට සැලකිය යුතු පිතිහරඹයක නිරත වීමට නොහැකි විය.

මාරිස් ස්ටෙල්ලා ඉනිම අඩපණ කරන පන්දු යැවීමක නිරත වූ තිෂික් පෙරේරා ලකුණු 23කට කඩුලු 3ක් සහ විනුජ රණසිංහ, කළණ සංදීප පිළිවෙළින් ලකුණු 21කට කඩුලු 2ක් සහ ලකුණු 27කට කඩුලු 2ක් බැගින් දවා ගත්හ.

අනතුරුව සෙබස්තියන් පිතිකරුවන් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර පළමු දිනය නිමා වන විට ඔවුන් පන්දුවාර 20ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 76ක් ලබා සිටියේය.

සෙබස්තියන් ඉනිම වෙනුවෙන් දුනිත් ජයතුංග ලකුණු 39ක් රැස්කළ අතර දිනය නිමා වන විට දැවී ගිය කඩුලු තුනෙන් දෙකක් නවීන් ප්‍රනාන්දු ලකුණු 23ක් ලබා දෙමින් තමන් සතුකර ගත්තේය.

අද (02) තරගයේ අවසාන දිනය ක්‍රියාත්මක වීමට නියමිතයි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම:- සියල්ලන් දැවී 114 (45.1) පසිඳු පෙරේරා 22*, රවිඳු ප්‍රනාන්දු 21, තිෂික් පෙරේරා 3/ 23, විනුජ රණසිංහ 2/21, කළණ සංදීප 2/27

සාන්ත සෙබස්තියන් පළමු ඉනිම:- කඩුලු 3ක් දැවී ලකුණු 76 ( 20) දුනිත් ජයතුංග 39, නවීන් ප්‍රනාන්දු 2/23

90 වැනි සුලෝහිත සංග්‍රාමයට කලින් මේ ටික දැනගෙන ඉන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය….


යාපනය සාන්ත ජෝන් සහ වත්තල සාන්ත අන්තෝනි

මෙම තරගය යාපනය සාන්ත ජෝන් කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ එම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ඉකුත් දා (28) ආරම්භ විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් සාන්ත ජෝන් පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් වෙත යාමට වත්තල ශෙසාන්ත අන්තෝනියන් ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව පන්දුවාර 49යි පන්දු 2ක් තුල ලකුණු 163කට සිය පළමු ඉනිම අවසන් කරගැනීමට යාපනය කණ්ඩායමට සිදු විය.

කෙසේ වෙතත් ඉනිම අවසන් වන තෙක් නොදැවී පිටියේ රැඳුණු දකුණත් පිතිකරු තේවේන්තිරම් දිනෝෂන් දර්ශනීය ඉනිමක් දියත්කරමින් ලකුණු 74ක් ලබා ගත්තේය. ඉනිමේ යම්තාක් දුරට හෝ සාර්ථක වූ අනෙක් පිතිකරුවා ක්‍රිස්ටි ප්‍රසන්න ලකුණු 31ක් රැස්කළේය.

සාන්ත අන්තෝනිය වෙනුවෙන් අවීශ දුලාංජන ලකුණු 33කට කඩුලු 4ක් සහ පැතුම් විහංඟ ලකුණු 51කට කඩුලු 3ක් බිඳ දැමූහ.

අනතුරුව අන්තෝනි පිතිකරුවන් සිය පළමු ඉනිම ආරම්භ කළ ද පන්දුවාර 48ක් තුල ලකුණු 110කට අන්තෝනි පළමු ඉනිම නවතා දැමීමට යාපනය පන්දු යවන්නන් සමත් විය.

එහි දී පිත්තෙන් ද නොදැවී ලකුණු 74ක් ලබාගත් දකුණතින් මද වේගපන්දු යවන තේවේන්තිරම් පන්දුවෙන් ද අනඟි මෙහෙයක් ඉටු කරමින් ලකුණු 16කට කඩුලු 3ක් බිඳ දැමීය. මූපින් අභිනාස් ලකුණු 24කට කඩුලු 3ක් සහ ඇන්ටන් අභිෂේක් ලකුණු 26කට කඩුලු දෙකක් ද දවා ගත්හ.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ යාපනය පිතිකරුවන් සිය දෙවන ඉනිමේ දී පන්දුවාර 61යි පන්දුවකට මුහුණ දී කඩුලු 8ක් දැවී ලකුණු 225ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු වීමට තීරණය කළේය.

සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ක්‍රිස්ටි ප්‍රසන්න ලකුණු 73ක් සහ මූපින් අභිනාස් ලකුණු 51ක් ලබාගත්හ.

සාන්ත ජෝන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 40කට දවා ගැනීමට අරින්ද පසිඳු සමත් විය.

ඒ අනුව ලකුණු 278ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට සාන්ත අන්තෝනි පිතිකරුවන් පිටියට පිවිසිය ද තරගය අවසන් වන විට ඔවුන්ට රැස්කිරීමට හැකි වූයේ පන්දුවාර 24ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 110ක් පමණි.

සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් මූපින් අභිනාස් ලකුණු 31කට කඩුලු 3ක් සහ ඇන්ටන් අභිෂේක් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තේය.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම:- සියල්ලන් දැවී 163 (49.2) තේවේන්තිරම් දිනෝෂන් 74*, ක්‍රිස්ටි ප්‍රසන්න 31, අවීශ දුලාංජන 4/33, පැතුම් විහංඟ 3/51

සාන්ත අන්තෝනි පළමු ඉනිම:- සියල්ලන් දැවී 110 (48) විසල් සිල්වා 22, ජොයෙල් පින්ටෝ 20, තේවේන්තිරම් දිනෝෂන් 3/16, මූපින් අභිනාස් 3/24, ඇන්ටන් අභිෂේක් 2/26

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම:-  කඩුලු 8කට ලකුණු 225 ( 61.1) ක්‍රිස්ටි ප්‍රසන්න 73, මූපින් අභිනාස් 51, තේවේන්තිරම් දිනෝෂන් 21, අරින්ද  පසිඳු 4/40

සාන්ත අන්තෝනි දෙවන ඉනිම:- කඩුලු 6ක් දැවී ලකුණු 110 (24) අවිශ්ක තරිඳු 52, මූපින් අභිනාස් 3/31, ඇන්ටන් අභිෂේක් 2/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<