රාජකීයේ මිශාරගෙන් රාජකීය ඉනිමක්

275

පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් වන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේත් (18) සාර්ථක ලෙස දිවයින පුරා ව්‍යාප්ත වූ ක්‍රිකට් ක්‍රීඩා පිටි කිහිපයක දී ම ක්‍රියාත්මක විය.

එහි දී රාජකීය විද්‍යාලයේ කමිල් මිශාර සිය විද්‍යාලය වෙනුවෙන් එක් ඉනිමක් තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව තමාගේ නමට ඉදිරියෙන් සටහන් කරගන්නා විට, කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබාගෙන දිනයේ නිමාව සනිටුහන් කළේය.

සුමනරත්න හා කවීන් ශතක ඉනිම් වාර්තා කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) ක්‍රියාත්මක විය.

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය ලබාගත් ලකුණු 163ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ මලියදේව විද්‍යාලය තරගයේ පළමු දිනය ඊයේ (17) අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 221ක් ලබාගෙන ප්‍රබල තැනක සිටියේය.

එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන සුපුන් සුමනරත්න (ලකුණු 117*) හා කවීන් බණ්ඩාර (ලකුණු 102*) නොදැවී ශතක ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමිනි.

Photos: Nalanda College vs President’s College | Singer U19 Cricket Tournament 2018/19

තරගයේ පළමු දිනය නිමා වන විට මලියදේව විද්‍යාලය ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 68ක්  ඉදිරියෙන් සිටියේ තරගයේ වැඩි වාසිය ලබා ගෙනයි. එතැන් සිට ක්‍රියාත්මක වූ දෙවන දිනයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට මලියදේව විද්‍යාලය තීරණය කළේය. සුමනරත්න හා බණ්ඩාර සිය ශතක ඉනිම් දෙක පිළිවෙළින් ලකුණු 175ක් හා ලකුණු 122ක් දක්වා ඔසවා තබා ගන්නා ලදි. විදත් බටපොල ලකුණු 50යි.

ලකුණු 205ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණි ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ අශේන් ගුණවර්ධන ලකුණු 65ක් ලබාගෙන සිය විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට වෑයම් කළ නමුත් අනෙකුත් පිතිකරුවන්ගෙන් නිසි සහායක් නොලැබීම නිසා ඒ වෑයම නිෂ්ඵල විය. මලියදේව විද්‍යාලයේ පසිඳු තෙන්නකෝන් ඉසිපතන දෙවන ඉනිමේ කඩුලු 5ක් දවා ගන්නා විට, මදුරංග නවීන් තරගය පුරාවට කඩුලු 8ක් දවා ගත්තේය.

අවසානයේ දී A කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයෙන් ඉනිමක හා ලකුණු 18ක ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 163 (43.3): තෙවිඳු දික්වැල්ල 50, අශේන් ගුණවර්ධන 39, විදත් බටපොල 4/27, මදුරංග නවීන් 4/32, නිකිල ධර්මදාස 2/35

මලියදේව විද්‍යාල පළමු ඉනිම  – 368/4d (71): සුපුන් සුමනරත්න 175, කවීන් බණ්ඩාර 122, විදත් බටපොල 50.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 187 (58): අශේන් ගුණවර්ධන 65, තෙවිඳු දික්වැල්ල 43, පසිඳු තෙන්නකෝන් 5/33, මදුරංග නවීන් 4/110.

“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්

නවසීලන්තයේ දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු තරමේ දස්කම් දැක්වූයේ ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගනිමිනි.

කොළඹ නාලන්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

දෙවන දිනයට පැවැත්වූ මෙම තරගය නිමා වූයේ නාලන්දා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 38ක දැවැන්ත ජයක් හිමි කරදෙමිනි.

පළමු දිනය නිමා වන විට නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 301ක් රැස්කර ගෙන පළමු ඉනිම අත්හිටවූ අතර ජනාධිපති විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 257ක් පසුපසින් සිටිමිනි.

ඊයේ දිනයේ පළමු කාර්තුව තුල දී ම ජනාධිපති විද්‍යාල පළමු ඉනිම ලකුණු 96කට සීමා කිරීමට දිනෙත් සමරවීර හා කවීෂ් මදුරප්පෙරුම යන නාලන්දා පන්දු යවන්නන් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති විද්‍යාලයට නැවත වතාවක් පිතිකරණයේ නිරත වීමට සිදු විය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 205ක ඉලක්කයක් පසුපස හඹා ගිය ජනාධිපති විද්‍යාල කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු අතරට පැමිණි නමුත් ඉනිමක පරාජයෙන් ගැලවීමට අපොහොසත් විය. තරගය පුරාවට ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන ඉරංග හෂාන් ලකුණු 57ක් ලබාගත් අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රවීන් ද සිල්වා කඩුලු 7ක් දවා ගනිමින් නාලන්දා ජය තහවුරු කරන ලදි.

නාලන්දා පිටියේ දී නිමාව දුටු මේ තරගය B කාණ්ඩයේ තරගයකි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 301/8d (72.5): චමිඳු විජේසිංහ 89, රවීන් ද සිල්වා 78, ලක්ෂිත රසාංජන 34, දිල්හාර පොල්ගපොල 32, කසුන් මාලින්ද 2/44, ශෂික නිර්මාල් 2/71.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 96 (41.5): දිනිත් නෙලුම්දෙණිය 24, දිනෙත් සමරවීර 5/34, කවීෂ් මදුරප්පෙරුම 3/12.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (F/O) – 172 (49.1): ඉරංග හෂාන් 57, ශෂික නිර්මාල් 38, රවීන් ද සිල්වා 7/58.

පළමු දිනයට පැවැත්වූ තරග

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

සාන්ත තෝමස් විදුහල් පිටියේ දී පැවැත්වෙන සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ ශෂික දුල්ශාන් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 99ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ උමයංග සුවාරිස් ලකුණු 45ක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ තේනුක පෙරේරා ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 91ක් පමණි. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු නායක ඩෙලෝන් පීරිස් ලකුණු 26කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 61ක පළමු ඉනිමේ වාසියක් සිය අත තිබූ සාන්ත තෝමස් විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සාන්ත තෝමසුවන් සිය දෙවන ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ වෙස්ලි විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 107ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම –  152/9d (44.4): උමයංග සුවාරිස් 45, තේනුක පෙරේරා 5/31.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 91 (36.3): ඩෙලෝන් පීරිස් 7/26.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 46/0 (11): සිතර හපුහින්න 31*

ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක්; උණුසුම් තරගයක් අපේක්ෂිතයි

බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) නිලවරණය, ක්‍රීඩා නීතියට ගෙන එන ලද නව රෙගුලාසිවලට අදාළ තාක්ෂණික දෝෂයක් නිසා…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

සුහද තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 232කට සීමා විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක පුබුදු බණ්ඩාර ලකුණු 78ක් ලබාගත් අතර මැදපෙළ පිතිකරුවෙක් වන අශාන් ලොකුකැටිය ලකුණු 46ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක නායක අශේන් ඩැනියල් ලකුණු 68කට කඩුලු 4යි.

සිය පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 117ක් පසුපසිනි සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් සිටින ශෙවෝන් ඩැනියල්  ලකුණු 70*.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 232 (76.2): පුබුදු බණ්ඩාර 78, අශාන් ලොකුකැටිය 46, උමෙයිර් රයිසාන් 26, අශේන් ඩැනියල් 4/68, ශාලින්ද සෙනෙවිරත්න 3/81.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 115/1 (23): ශෙවෝන් ඩැනියල් 70*


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක සිටියේ රාජකීය විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 325ක් පසුපසින් සිටිමිනි.

ආනන්ද විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 373ක් ලබාගෙන සිය මුල් ඉනිම අත්හිටුවන ලද්දේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කමිල් මිශාරගේ වාර්තාගත ද්විත්ව ශතකය (ලකුණු 250) සවියක් කරගෙනයි.

රාජකීය විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කළ ක්‍රීඩකයෙක් පාසල් ක්‍රිකට් තරගයක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය එය බවට පරිවර්තනය වූ  අතර එම ඉනිම 4 පහර 32කින් හා 6 පහර 5කින් අලංකාරවත් විය. අහන් වික්‍රමසිංහ ලකුණු 69*යි.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 373/2d (81): කමිල් මිශාර 250, අහන් වික්‍රමසිංහ 69*, ඉසිවර දිසානායක 31.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 48/5 (12) ලහිරු මදුසංක 4/20.

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

ධර්මරාජ විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුව යැවූ මහින්ද විද්‍යාලය ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 325කට සීමා කළේය.

කසුන් ගුණවර්ධන හා ඉසුරු දයානන්ද පිළිවෙළින් ලකුණු 82ක් හා ලකුණු 60ක් වාර්තා කරන ලදි. පන්දු යැවීමේ දී නිපුන් මාලිංග කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද  විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 70ක් ලබා සිටියේය.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 325 (82): කසුන් ගුණවර්ධන 82, ඉසුරු දයානන්ද 60, යකිත සමරරත්න 48, චේතිය බණ්ඩාර 32, නිපුන් මාලිංග 3/54.

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 70/0 (10): නවෝද් පරණවිතාන 38*, ධනුජ ඉඳුවර 24*.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම අද (19) දෙවන දිනයත් පැවැත්වෙන අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගය හෙටත් උදෑසන 9.30 සිට සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<