සාන්ත සිල්වෙස්ටර් – තර්ස්ටන් ගැටුම උණුසුම් වන ලකුණු!

සිංගර් කුසලාන 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

137
U19 schools cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුබදායක කරගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) දිනයේ ක්‍රියාත්මක විය.

ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා ගෙන සිටි සත්කාරක ධර්මරාජ විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 270ක් රැස්කර ගැනීමට සමත්ව තිබිණි. කෙසේ නමුත් දෙවන දිනය වූ අද දිනයේ ඇදහැළුණු වර්ෂාපතනය නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය. 

නායක දුලාජ් බණ්ඩාර ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වෙමින් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව ඔහු සමඟ එක්ව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ චේතිය ඒකනායක ලකුණු 94ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ සිටිය දී දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ. ඉසුරු දයානන්ද ලකුණු 32යි. 

පන්දු යැවීමේ දී දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක දිල්මින් රත්නායක ලකුණු 90කට කඩුලු 4ක් දවාගනිමින් ධර්මරාජ පළමු ඉනිම යම් මට්ටමකට පාලනය කළ නමුත් අද උදෑසන ඇතිවූ වර්ෂාපතනයෙන් පසුව පන්දුවාර 9කුත් පන්දු 5ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. ඒ වන විට ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 296ක් රැස්කරගෙන තිබුණි. 

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 2ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබාගෙන සිටියහ.  

ධර්මරාජ විද්‍යාලය : 296/8d (104.5) දුලාජ් බණ්ඩාර 108, චේතිය ඒකනායක 94, ඉසුරු දයානන්ද 32, දිල්මින් රත්නායක 4/90. 

සාන්ත තෝමස් විද්‍යාලය – 10/0 (2)  


පළමු දිනයට පැවති තරග

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගන්නට සමත් වූයේ සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය යි. තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදෙමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 249ක් රැස්කර ගැනීමට සමත් විය. 

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 249/5 (84) බුද්ධිම විජේසුන්දර 121, අනුදිත් වික්‍රමසිංහ 60*, සාහිල් ඩයස් 25, නදීර ප්‍රනාන්දු 2/53. 


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල් ක්‍රිකට් පිටියේ දී පැවති C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ ආරම්භක දිනය වූ අද දිනයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් පළමු දිනය නිමාවට පත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 98 (36.5) පුන්තිල සමන්ත 5/32, දනජය සිල්වා 2/11, නවිඳු ප්‍රනාන්දු 2/25. 

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 16/2 (2.5) 


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනාගත් සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු පිළිතුරු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියහ.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය : 184 (57.2) තේනුක නන්දලාල් 45*, ෂෙහාන් ප්‍රනාන්දු 38, ලශාන් ගුණරත්න 4/51, අමිත දාබරේ 3/04, මනේන්ද්‍ර ජයතිලක 2/22.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 98/6 (18.5) මුදිත ලක්ෂාන් 54*, ඔනිල පතිරණ 3/28,  මලින්ද පෙරේරා 2/02. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<