ඇලෝසියස් සහ ත්‍රිත්ව විද්‍යාලවලට දැවැන්ත ජයග්‍රහණ

371

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට ප්‍රබල අත්වැලක් සපයන සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග 4ක් අද (19) නිමාවට පත්විය.

එහි දී රවිඳු සංජන සහ කවික ඩිල්ශාන්ගේ සුපිරි දක්ෂතා නිසා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක ජයක් ලබාගත් අතර හසිත බෝයගොඩ, විමුක්ති නෙතුමාල් සහ කවිශ්ක සේනාධීර දැක්වූ කුසලතා නිසා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක් හිමි විය.

ජය පරාජයෙන් තොරව නිමා වූ අනෙක් තරග දෙකේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි.

ඉසිපතනය වෙනුවෙන් අයන සිරිවර්ධනගෙන් ප්‍රවේගකාරී ශතකයක්!

අනාගතය දිදුලවන ක්‍රිකට් තරු කැට උණුසුම් සටනක යෙදෙන සිංගර් – වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට්….

ගම්පහ බණ්ඩාරනායක විද්යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්යාලය අතර තරගය

මීගමුව කදිරාන පිටියේ දී පැවති මෙම තරගයේ මුල සිටම අණසක පැතිරවූයේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඉනිමක සහ ලකුණු 130ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ද ඔවුන්ට අද අවස්ථාව උදා විය.

කාසියේ වාසිය දිනාගත් ඇලෝසියස් විද්‍යාලයේ ඇරයුමින් මුලින් පිත්ත අතට ගත් ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩකයින් ලකුණු 85කට සීමාවීමත් සමඟ මෙම ජයග්‍රහණය සඳහා මූලික පදනම සැකසුණි. එහි දී ඇලෝසියස් විදුහල වෙනුවෙන් පන්දුවෙන් සුපිරි පන්දු යැවීමක යෙදුණු කවික ඩිල්ශාන් ලකුණු 19කට කඩුලු 5ක් බිඳ දැමීය.

බණ්ඩාරනායක පිතිකරුවන්ට අවාසනාව කැටුව ආ කදිරාන තණතිල්ලේ ඉතාමත් පහසුවෙන් ලකුණු රැස්කළ ඇලෝසියස් පිතිකරුවන්, කඩුලු 6කට ලකුණු 282ක් රැස් කිරීමෙන් අනතුරුව තම මුල් ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ඒ ඔවුන්ට ඒ වන විටත් පූර්ණ තරග ජයග්‍රහණයක ඉව වැටී තිබුණි බැවිනි. ඇලෝසියස් ප්‍රථම ඉනිම වෙනුවෙන් මූලිකත්වය ගත් රවිඳු සංජන අද නොදැවී ලකුණු 168ක් දක්වා තම ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්තේය. මෙය ඔහු පිට පිටම තරග දෙකක දී වාර්තා කළ දෙවැනි ශතකයයි.

ඒ අනුව ලකුණු 197ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය එහි දී ලකුණු 67කට දැවී ගියේ ඉතාමත් දරුණු පරාජයකට උරුමකම් කියමිනි. එහි දී කිසිදු බණ්ඩාරනායක පිතිකරුවෙකු ලකුණු 25 සීමාව පවා ඉක්මවා නොගිය අතර ඇලෝසියස් පන්දු යවන්නන් රැසක්ම ඉතාමත් හොඳින් කඩුලු දඩයම සාර්ථක කර ගත්හ. එහි දී ජාතික යොවුන් පිළට ද ක්‍රීඩා කරන හරීන් බුද්ධිල කඩුලු 3ක් බිඳ හෙලද්දී නිදූක මල්ශිත්, කවික ඩිල්ශාන් සහ රවිඳු සංජන කඩුලු 2 බැගින් දවාලූහ.

ගම්පහ බණ්ඩාරනායක විද්යාලයසියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 30):  තහිරු රොෂේන් 27, කවික ඩිල්ශාන් 5/19, හරීන් බුද්ධිල 2/5, කවිඳු මධුරංග 2/12.

සාන්ත ඇලෝසියස් විද්යාලයකඩුලු 6ක් දැවී ලකුණු 282 (පන්දුවාර 80.1):

රවිඳු සංජන 168*, පසිඳු නානායක්කාර 50, ජනිඳු ජයවර්ධන 2/52, හචිත හේමප්‍රිය 2/55.

ගම්පහ බණ්ඩාරනායක විද්යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 67 (පන්දුවාර 29.2): පසිඳු බණ්ඩාර 21, හරීන් බුද්ධිල 3/18, නිදූක මල්ශිත් 2/8, කවික ඩිල්ශාන් 2/14, රවිඳු සංජන 2/18.

නව මුහුණු ද සමඟින් එළියට ආ ක්‍රිකට් තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරා පත්කරගත් නව ක්‍රිකට් තේරීම් කමිටුව අද (19) නිල වශයෙන් මාධ්‍ය වෙත…

මාතර සාන්ත සර්වේසස් විද්යාලය සහ මහනුවර ත්රිත්ව විද්යාලය අතර තරගය

තරගයේ දින දෙකේ දී ම ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් නිරූපණය කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 49ක පහසු ජයක් වාර්තා කර ගත්හ. තරගය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ දර්ශනීයම ක්‍රීඩාංගණයක් වන මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේ දීයි.

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලයේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් පිතිකරුවන් එහි දී ලකුණු 138කට සීමා විය. එහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක සේනාධීර ලකුණු 48කට කඩුලු 4ක් දවා ගනිමින් වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර ඉතිරි කඩුලු 6 තිසරු ඩිල්ශාන් සහ විමුක්ති නෙතුමාල් අතරේ සමසේ බෙදී ගියේය.

මෙම අඩු ලකුණු සංඛ්‍යාව පහසුවෙන්ම පසුකර ගිය ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 272ක් රැස්කර සිටිය දී තම ඉනිම නතර කිරීමට තීරණය කළහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හසිත බෝයගොඩ එහි දී නොදැවී ලකුණු 130ක් වාර්තා කරමින් තම කණ්ඩායමට දැවැන්ත ශක්තියක් විය.

ඒ අනුව ලකුණු 134ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත සර්වේසස් විද්‍යාලය ලකුණු 85කට දැවී ගියේ ත්‍රිත්ව විද්‍යාලයේ ඉනිමක ජය තහවුරු කරමිනි. දක්ෂ පන්දු යැවීමක යෙදුණු විමුක්ති නෙතුමාල් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් තම විද්‍යාලය වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළේය.

සාන්ත සර්වේසස් විද්යාලයසියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 59.2): සඳරු නෙත්මිණ 28, කේශර නුවන්ත 21, කවිශ්ක සේනාධීර 4/48. තිසරු ඩිල්ශාන් 3/29, විමුක්ති නෙතුමාල් 3/41.

ත්රිත්ව විද්යාලයකඩුලු 4ක් දැවී ලකුණු 272 (පන්දුවාර 77): හසිත බෝයගොඩ 130*, පූර්ණ වණසේකර 49, ට්‍රෙවෝන් පර්සිවිල් 25*, ඉමංග සූරියම්පොළ 25, හසින්ත ජයසූරිය 20.

සාන්ත සර්වේසස් විද්යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 32.2): ශශික දුල්ශාන් 27, පසිඳු මනුප්‍රිය 25*, විමුක්ති නෙතුමාල් 5/27, කවිශ්ක සේනාධීර 2/29.

කොළඹ ඉසිපතන විද්යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය අද නිමාවූයේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ පහසු ජයග්‍රහණයක් ඉසිපතන විද්‍යාලයට හිමි විය.

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය ඊයේ දිනයේ තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 278ක් රැස්කර ගත්හ. එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ ඉසිපතන විද්‍යාලයේ නායක අයන සිරිවර්ධනයි. ජාතික යොවුන් කණ්ඩායමේ ද වර්ණ දරන දකුණත් පිතිකරුවෙකු වන අයන එහි දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 101කි.

අද දිනයේ මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹාගිය ඩී. එස්. පිතිකරුවන් පන්දුවාර 50යි පන්දු 4ක් අවසානයේ ලකුණු 118කට සීමා විය. ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙතරම් අඩු ලකුණකට සීමා කිරීමට ඉසිපතනය වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූයේ සන්ජුල බණ්ඩාරයි. ඔහු ලකුණු 35ක් පමණක් ලබා දෙමින් ඩී. එස්. පිතිකරුවන් පස් දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීය. කෙසේ වෙතත් පූර්ණ තරග පරාජයක අවදානම ද කැටිව නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වූ සේනානායකයින් එහි දී සාර්ථක අයුරින් පිතිකරණයේ යෙදීම නිසා තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. දෙවැනි දිනය අවසන් වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 183යි. දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ විහාන් ගුණසේකර ලකුණු 70යි.

ඉසිපතන විද්යාලයසියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 77.1): අයන සිරිවර්ධන 101, ශමිල්ක වික්‍රමතිලක 71, ලෙශාන් අමරසිංහ 39, සඳරු චන්දිත 2/20, රුවින් පීරිස් 2/20.

ඩී. එස්. සේනානායක විද්යාලයසියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 50.4): රුවින් පීරිස් 28, සන්ජුල බණ්ඩාර 5/35, අයන සිරිවර්ධන 2/10, ලහිරු ඩිලශාන් 2/11.

ඩී. එස්. සේනානායක විද්යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 183 (පන්දුවාර 53): විහාන් ගුණසේකර 70, මුදිත ලක්ෂාන් 54, එශාන් ප්‍රනාන්දු 2/21, මධුෂික සඳරුවන් 2/38, ලහිරු ඩිලශාන් 2/38..

මුරලිගේ නම ඉවත්වීම ගැන මහානායක හිමිගේ අවධානය

ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම බිහිවූ සාර්ථකම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්..

හනුවර ධර්මරාජ විද්යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්යාලය අතර තරගය

දෙපිළෙන්ම කරට කර තරගයක් දකින්නට ලැබුණු මෙම තරගය අවසානයේ නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ වෙතත් මුල් ඉනිමේ ලකුණු 8ක් පමණක් ඉදිරියෙන් සිටි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජය හිමිකර ගැනීමට හැකි විය.

කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විද්‍යාලය මුලින් පන්දුවට පහර දීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇරයුම් කළ අතර ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 256ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම තීරණය ප්‍රථම ඉනිමේ පරාජයට ද පාර කැපූ සන්ධිස්ථානය බවට පත්විය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹාගිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තම කඩුලු සියල්ලම වැය කරමින් හෝ ධර්මරාජ ඉනිම පසුකර යාම ඊට හේතුවයි. එහි දී තම කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක හසරින්ද ලකුණු 108ක් රැස්කර ගත්තේය. ඉන් අනතුරුව තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටියහ. තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක විය.

ධර්මරාජ විද්යාලයකඩුලු 9ක් දැවී ලකුණු 256d (පන්දුවාර 71.3): කසුන් ගුණවර්ධන 82, චේතිය ඒකනායක 57, චමිඳු ලක්ෂිත 6/51, අශේන් එගොඩගේ 2/66.

ධර්මපාල විද්යාලයසියල්ලන්ම දැවී ලකුණු 264 (පන්දුවාර 83.2): අවිශ්ක හසරින්ද 108, චමිඳු ලක්ෂිත 42, නවීන්ද්‍ර ඩිල්ශාන් 3/32, පී. වර්ණකුලසූරිය 2/62.

ධර්මරාජ විද්යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 119 (පන්දුවාර 34): දුලාජ් බණ්ඩාර 62, ඩිල්ශාන් ද සිල්වා 3/38, චමිඳු ලක්ෂාන් 3/62.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<