ඉසිපතනය වෙනුවෙන් අයන සිරිවර්ධනගෙන් ප්‍රවේගකාරී ශතකයක්!

415

අනාගතය දිදුලවන ක්‍රිකට් තරු කැට උණුසුම් සටනක යෙදෙන සිංගර් – වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 4ක් අද (18) ආරම්භ විය.

එහි දී මුල් දිනයේ කැපී පෙනෙන වාසියක් ලබා ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වී සිටියි. තම පිත්තෙන් අද දිනය වර්ණවත් කළ අයන සිරිවර්ධන සහ රවිඳු සංජන අද විශිෂ්ට ශතක දෙකක් රැස්කර ගනිද්දී කවික ඩිල්ශාන් සහ චමිඳු ලක්ෂිත පන්දුවෙන් දස්කම් පෑ ක්‍රීඩකයින් බවට පත්විය.

කෞශල්‍යය ගජසිංහ සහ දිනෙත් තිමෝද්‍ය කණ්ඩායම් ගොඩදායි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන තරග දෙකක් අද (17) පැවැත්විය. එහි දී MAS සිලුඒටා හා DHT..

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

ඉසිපතන විද්‍යාලයේ නායක අයන සිරිවර්ධන පිත්තෙන් පෑ සුරු විරුකම් නිසා දෙදින ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ස්ථාවර තත්ත්වයක පසුවීමට ඉසිපතනය සමත්ව සිටියි. තරගයේ කාසියේ වාසිය ද දිනා ගැනීමට අයන සිරිවර්ධන සමත් වූ අතර පිතිකරණ පාරාදීසයක් ලෙසින් දිස්වුනු කෝල්ට්ස් තණතිල්ලේ ප්‍රථමයෙන්ම පිත්ත හැසිරවීමට ඔහු පසුබට නොවීය. ඒ අනුව ඉතාමත් සාර්ථක ඉනිමක් ගොඩ නැගූ ඉසිපතන ක්‍රීඩකයින් පන්දුවාර 77යි එක් පන්දුවක් තුල දී සියල්ලන්ම දැවී ලකුණු 278ක් රැස් කර ගැනීමට සමත් වූහ.

එහි දී නායකත්වයේ සුපිරි ඉනිමක් දියත් කළ දකුණත් පිතිකරු අයන සිරිවර්ධන පන්දු 79ක දී වේගවත් ලකුණු 101ක් රැස් කරමින් තම කණ්ඩායමට තරගයේ පෙරමුණ ගැනීමට මාවත පෙන්වීය. අයනගේ මෙම විශිෂ්ට ඉනිම මනරම් හතරේ පහර 11කින් සහ දැවැන්ත හයේ පහර 3කින් අලංකාරවත් විය. ඔහු සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක සවිමත් සබඳතාවයකට මුල පිරූ දකුණත් පිතිකරු ශමිල්ක වික්‍රමතිලක ලකුණු 71යි. ඉනිමේ නැංගුරම බවට පත්වූ ශමිල්ක ක්‍රීඩා කළ මෙම දීර්ඝ ඉනිමට පන්දු 164ක් වැය විය. පන්දු යැවීමේ දී සඳරු චන්දිත සහ රුවින් පීරිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

අද සන්ධ්‍යා කාලයේ දී පිතිකරණ අවස්ථාව ලබාගත් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබුණේ පන්දුවාර 4කට පමණි. ඒ ඉතාමත් ඉක්මනින්ම කෝල්ට්ස් ක්‍රීඩාංගණයට අඳුර ගලා ආ බැවිනි. එම සුළු කාල සීමාව තුල දී තම කඩුලු කිසිවක් පූජා නොකළ ඩී. එස්. පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු 3ක් ලබා සිටියි. තරගය හෙට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 77.1): අයන සිරිවර්ධන 101, ශමිල්ක වික්‍රමතිලක 71, ලෙශාන් අමරසිංහ 39, සඳරු චන්දිත 2/20, රුවින් පීරිස් 2/20.

ඩී.එස්. සේනානායක විද්‍යාලය – කිසිවෙකු නොදැවී ලකුණු 3 (පන්දුවාර 4)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

මීගමුව කදිරාන පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ මුල් දිනය නිමා වන විට වැඩි ගෞරවය අත්කරගෙන සිටින්නේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි. ඒ දුර කතර ගෙවාගෙන ගොස් දෙදින ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ මහන්සියට වටිනාකමක් එක්කොට ගනිමිනි. දිනය නිමා වෙද්දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට වඩා ලකුණු 154ක් ඉදිරියෙන් සිටින්නේ ද සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි. එහි දී රවිඳු සංජන නොදැවී වාර්තා කළ සුවිශේෂී ශතකය තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව බණ්ඩාරනායක පිතිකරුවන්ට ලබා දුන් අතර ඔවුන් තමන්ට හොඳින් හුරුපුරුදු කදිරාන පිටියේ දී ලකුණු 85කට දැවී ගියේ විශ්මිත අන්දමිනි. එහි දී ඇලෝසියස් පන්දු යවන්නන්ට ගම්පහ බණ්ඩාරනායක ප්‍රථම ඉනිම සුණුවිසුණු කර දැමීමට පන්දුවාර 30ක් ප්‍රමාණවත් විය. ඒ වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක යෙදුණු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක කවික ඩිල්ශාන් අද තම විද්‍යාලයට ගෞරවයක් අත්කර දුන්නේ ලකුණු 19කට කඩුලු 5ක් දවා ගනිමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය දිනය නිමා වෙද්දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 239ක් රැස් කරගෙන සිටියි. ඒ පන්දුවාර 66කට මුහුණ දෙමිනි. අනභිභවනීය ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින රවිඳු සංජන පිට පිටම වාර්තා කර ගත් තම දෙවැනි ශතකය ලෙස නොදැවී ලකුණු 141ක් රැස් කරගෙන සිටියි. ඒ අනුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට මෙම තරගය බේරා ගැනීමට නම් දෙවැනි ඉනිමේ දී ඉතාමත් ප්‍රවේසමෙන් පිතිකරණයේ යෙදීමට සිදුවනු ඇත.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 30): තහිරු රොෂේන් 27, කවික ඩිල්ශාන් 5/19, හරීන් බුද්ධිල 2/5, කවිඳු මධුරංග 2/12.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 239 (පන්දුවාර 66): රවිඳු සංජන 141*, පසිඳු නානායක්කාර 20, ජනිඳු ජයවර්ධන 2/50.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

කන්ද උඩරට අස්ගිරි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය මුලින් පන්දුවට පහර දීම සඳහා මාතර සාන්ත සර්වේසස් විදුහලට ඇරයුම් කරන ලදි. ඒ අනුව ඉනිම ඇරඹූ සර්වේසස් විද්‍යාලයේ මුල්පෙළ කඩුලු 4ක් දිවා විවේකය වන විට බිඳ වැටුණි. ඒ ලකුණු 80ක් තුල දීයි. ඉන් අනතුරුව අද දිවා කාලයේ දී ද සිදු වූ හානිය ප්‍රතිසංස්කරණය කර ගැනීමට නොහැකි වූ සර්වේසස් ක්‍රීඩකයින්ට සිදුවූයේ තම ප්‍රථම ඉනිම ලකුණු 138කට සීමාකර ගැනීමටයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක කවිශ්ක සේනාධීර, සර්වේසස් ඉනිම බිඳ දැමීමේ දී මූලිකත්වය ගනිමින් ලකුණු 48කට කඩුලු 4ක් බිඳ හෙලීය. මීට අමතරව ජාතික යොවුන් පිළේ වර්ණ දරන තිසරු ඩිල්ශාන් සහ විමුක්ති නෙත්මාල් කඩුලු 3 බැගින් බිඳ හෙලමින් කණ්ඩායමට අනගි සේවයක් ඉටු කළහ. මේ වන විට සාන්ත සර්වේසස් ඉනිම පසුපස සාර්ථක හඹා යාමක නිරත වන ත්‍රිත්ව විද්‍යාලීය පිතිකරුවන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටියි. ඔවුන්ට හෙට දිනයේ සර්වේසස් ප්‍රථම ඉනිම පසුකර යාමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 33ක් පමණි.

සාන්ත සර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 59.2): සඳරු නෙත්මිණ 28, කේශර නුවන්ත 21, කවිශ්ක සේනාධීර 4/48. තිසරු ඩිල්ශාන් 3/29, විමුක්ති නෙත්මාල් 3/41.

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 106 (පන්දුවාර 35): හසිත බෝයගොඩ 33*, හිමංග සූරියම්පොළ 25, හසින්ත ජයසූරිය 20.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

ධර්මරාජ විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගයේ මුල් දිනයේ වැඩි වාසියක් හිමිව තිබෙන්නේ ද ඔවුන්ටයි. ඒ තරගයේ මුල් දිනය නිමා වෙද්දී ප්‍රතිවාදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු 8ක් අතැතිව ධර්මරාජ විද්‍යාලයට වඩා තවත් ලකුණු 220ක් පිටුපසින් සිටීම නිසයි. කෙසේ වෙතත් හෙට දිනයේ ඉතාමත් සාර්ථක ක්‍රීඩා රටාවක නිරත වුවහොත් තරගයේ අවසන් තීරණය උඩු යටිකුරු කිරීමට ධර්මපාල විද්‍යාලයට ද හැකියාවක් ඇත.

කාසියේ වාසිය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 256ක් ලබා සිටිය දී තම ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එහි දී සුපිරි පිතිකරණයක යෙදුණු කසුන් ගුණවර්ධන ලකුණු 82ක් රැස්කර ගනිමින් දස්කම් දැක්වීය. චේතිය ඒකනායක ලකුණු 57යි. විශිෂ්ට අන්දමින් පන්දුව හසුරුවාගත් චමිඳු ලක්ෂිත ලකුණු 51ට කඩුලු 6ක් දවා ගනිමින් තම විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 36ක් රැස් කරගෙන සිටියි. ඒ පන්දුවාර 15යි පන්දු 4ක් තුලදීයි. බිඳ වැටුණු කඩුලු 2ම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නවීන්ද්‍ර ඩිල්ශාන්ට හිමිවිය.

මහනුවර ධර්මරාජ විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 256 (පන්දුවාර 71.3): කසුන් ගුණවර්ධන 82, චේතිය ඒකනායක 57, චමිඳු ලක්ෂිත 6/51, අශේන් එගොඩගේ 2/66.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 36 (පන්දුවාර 15.4): නවීන්ද්‍ර ඩිල්ශාන් 2/10.

මෙම තරග සියල්ලම හෙට දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට