ශ්‍රී ලංකා යෞවනයෝ ජයග්‍රහණයකින් ආසියානු කුසලාන අරඹයි

646

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාවත් සමඟ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් ඇරඹි අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට අද (29) සමත් වූහ.

ඉන්දියාව නැවත ආසියානු ක්‍රිකට් ශූරතාව රැගෙන යයි

ආසියානු කලාපයේ ක්‍රිකට් ශූරයන් තමන් මිස අන් කවරෙක්වත් නොවේ යැයි නැවත වතාවක් ඔප්පු..

‘බී’ කාණ්ඩය යටතේ චිතගොංහි පැවති මෙම තරගයේ දී ප්‍රථමෙයන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 46කුත් පන්දු 4ක දී ලකුණු 141කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වෙද්දී පන්දුවාර 12කුත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය සපුරා ගැනීමට නුවනිඳු ප්‍රනාන්දු ප්‍රමුඛ පිතිකරුවෝ සමත් වූහ. ශ්‍රී ලංකා ජයග්‍රහණ තහවුරු වන විට ශ්‍රී ලංකා පිලේ දැවී ගොස් තිබුණේ කඩුලු 4ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව එක් ලකුණකට සීමා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ දක්ෂ පන්දු රැකීමට හැකි විය.

පසිඳුගේ පන්දු රැකීම හමුවේ සජිඩ් හොසේන් (01) බංග්ලාදේශ කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වද්දී වමත් වේගපන්දු යවන කලන පෙරේරා විසින් නව්රෝස් නබිල්ව දවා ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබිය දී ය.

එහෙත් ටන්සිඩ් හසන්ට එක්වූ නායක ටවුහිඩ් රිඩෝයි තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51ක දී ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩ නගමින් බංග්ලාදේශ කණ්ඩායම කරදරයෙන් ගොඩගත්හ. කල්හාර සේනාරත්නගේ පන්දුවක් හමුවේ නුවනිඳු ප්‍රනාන්දු උඩ පන්දුවක් රැක ගැනීම නිසා හසන්ගේ ඉනිම ලකුණු 24කට සීමා වද්දී යළිත් ඉනිමේ වැඩි බරක් බංග්ලාදේශ නායකයාගේ උර පතට පැටවිය.

ඒ අනුව යමින් ශමීන් හොසේන් සමඟ එක්වූ රිඩෝයි සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නැවතත් ලකුණු 31ක් එක් කිරීමට සමත් විය. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 93ක්ව තිබිය දී ශමීන් හොසේන් දැවී යෑමත් සමඟ බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ඇරඹිණි. ශෂික දුල්ශාන්ගේ පන්දුවක් හමුවේ ශමීන්ගේ ඉනිම ලකුණු 20කට සීමා වද්දී ග්‍රහණය වැඩි කළ පන්දු යවන්නෝ ලකුණු පුවරුවට ලකුණු 04ක් එක්වද්දී නායක රිඩෝයිගේ කඩුල්ල ද ඇතුළුව කඩුලු 4ක් දවා ගනිමින් අනපේක්ෂිත පීඩනයකට බංග්ලාදේශය නතු කළහ. ඒ අනුව ලකුණු 93කට කඩුලු 3ක් ලෙසින් සටහන්ව තිබූ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 97කට කඩුලු 7ක් ලෙසින් සටහන් විය.

පහරවල් කරා යෑමට වඩා අන්තය ආරක්ෂා කර ගැනීම කොයිකටත් හොඳ බව වටහා ගෙන පන්දුවට පහර දුන්න ද රිඩෝයිට ලබාගත හැකි වූයේ ලකුණු 35ක් පමණි. දුලිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ නිපුන් ධනංජය අතට උඩ පන්දුවක් දී රිඩෝයි දැවී යන විටත් තම සිය ඉනිම සඳහා පන්දු 63ක් වැය කර තිබුණි. කෙසේ වෙතත් එම ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශ පිතිකරුවෙකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් එල්ල කරන ලද එකම හයේ පහරට හිමිකරුවා වූ රිෂාඩ් හොසේන් අවසන් පිතිකරු වූ ෂොරිෆුල් ස්ලාම් සමඟ දහවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක් රැස් කරමින් වගකීම් විරහිත පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් පිති හැසිරවූහ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම ඉහළ මට්ටමක පැවති අතර එහි දී කල්හාර සේනාරත්න (31/2), ශෂික දුල්ෂාන් (11/2) සහ දුලිත් වෙල්ලාලගේ (21/2) කඩුලු 2 බැගින් දවා ගනිමින් කැපී පෙනුනි.

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක පුවත් ය..

ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි නවෝද් පරණවිතාන සහ නිශාන් මධුෂ්ක අතර සම්බන්ධතාව පන්දු  දෙකකට සීමා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පන්දු යැවූ ෂොරිෆුල් ස්ලාම් සමත් විය. පරණවිතාන ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් වද්දී නායක නිපුන් ධනංජය ද (01) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 05ක දී දැවී යෑම බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ‘ගැම්ම’ වැඩි කරවන්නක් විය.

ලකුණු 142ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ දී තෙවැනි කඩුල්ල ලෙස නිශාන් මධුෂ්ක ද ෂොරිෆුල් ස්ලාම්ගේ දෙවැනි ගොදුරු බවට පත්වෙමින් ලකුණු 12කට දැවී යෑම ද ශ්‍රී ලංකා හඹා යෑම තරමක සසල කරවන්නක් විය.

නායකයා ඇතුළු වගකීමක් ගත හැකි ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවී ගොස් තිබිය දී වගකීම කුමක් ද යන්න හරියටම වටහා ගනිමින් පන්දුවට පහර දුන් නුවනිඳු ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා වූ මාවත ශ්‍රී ලංකාවට විවර කර දුන්හ. ඉලක්කය පහසු බැවින් වැඩි කලබලයක් නොගත් මොවුන් දෙදෙනා කිසිදු කලබලයකින් තොරව පන්දු 152ක්ම වැය කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 24ක් තිබිය දී සූරියබණ්ඩාරගේ වටිනා ඉනිම ලකුණු 36 දී අවසන් විය. ඒ වන විටත් පන්දු 92කට මුහුණ දී සිටි පසිඳු සිය ඉනිම හතරේ පහර 3කින් වර්ණවත් කර ගෙන තිබුණි. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ  නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් එල්ල කරන ලද එකම හයේ පහර ද සමඟ තවත් හතරේ පහර 7කින් තම ඉනිම අලංකාර කර ගත් නුවනිඳුගේ නොබිඳුණු ලකුණු 64ක ඉනිම සඳහා ඔහු පන්දු 94කට මුහුණ දී තිබුණි. තරගය අවසන් වන තෙක් ඔහු සමඟ කඩුල්ලේ රැඳී දුලිත් වෙල්ලාලගේ පන්දු 18ක දී ලකුණු 10ක් ලබා සිටියේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් ෂොරිෆුල් ස්ලාම්ට අමතරව කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ එකම පන්දු යවන්නා වූයේ රිතුන්ජෝයි චෞද්‍රි පමණි. මෙම තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් 10 දෙනෙකු යොවුන් එක්දින තරග වරම් හිමිකර ගනිද්දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් කල්හාර සේනාරත්න යොවුන් එක්දින වරම් හිමි කර ගත්තේය.

ලක්ෂිත හා සන්තුෂ් ශතකවලට

අනාගත ක්‍රිකට් ලොව ජය ගැනීම වෙනුවෙන් සැදී පැහැදී සිටින ක්‍රිකට් තරු හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා…

ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ සහභාගි වන දෙවැනි තරගය සැප්තැම්බර් 30 වැනිදා හොංකොං කණ්ඩායම සමඟ පැවැත්වේ.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 141 (46.4) – ටවුහිඩ්  රිඩෝයි 35, ටන්සිඩ් හසන් 24, ශමීම් හොසේන් 20, රිෂාඩ් හොසේන් (නොදැවී) 18, රිතුන්ජෝයි චෞද්‍රි 12, දුලිත් වෙල්ලාලගේ 21/2, කල්හාර සේනාරත්න 31/2, ශෂික දුල්ෂාන් 11/2

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 144 (37.5) – නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී) 64, පසිඳු සූරියබණ්ඩාර 36, දුලිත් වෙල්ලාලගේ (නොදැවී) 10, නිශාන් මධුෂ්ක 12, ෂොරිෆුල් ස්ලාම් 29/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<