සහිරා විද්‍යාලයට තියුණු ජයක්

402

වයස අවුරුදු 18න් පහළ පළමුපෙළ පාසල් පාපන්දු තරගාවලියට සමගාමීව හමීඩ්, අල් හුසේයිනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර පැවැත්වූ පාපන්දු තරගය ඊයේ (21) කොළඹ සිටි ලීග් පාපන්දු සංකීර්ණ පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් ගෝල 0–1ක් ලෙස තියුණු ජයක් වාර්තා කර ගැනීමට සහිරා විද්‍යාලය සමත් විය.

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය සවස 3.20ට පමණ ආරම්භ වූයේ පැහැබර කාලගුණික තත්වයක් යටතේයි.

සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ගෝල වර්ෂාවක්

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලිය යටතේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ…

තරගයේ පළමු මිනිත්තුවේ සිටම ප්‍රබල සහිරා කණ්ඩායමට ඔවුන් නොසිතු අභියෝගයක් ලබා දීමට හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයට හැකි විය. තරගයේ 16 වන මිනිත්තුවේ දී හමීඩ් අල් හුසේයිනි ක්‍රීඩක මොහොමඩ් අමාන් හට තරගයේ විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් නිකුත් කළේය.

තරගයේ 30 වැනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලය ගෝලයක් ලබා ගැනීමට මාන බැලුව ද, හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් සෆ්රින් සිය දක්ෂතා මනාව ප්‍රදර්ශනය කරමින් එම අවස්ථාව වළක්වන්නට සමත් විය.

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයේ පළමු කහ කාඩ්පත් හිමි කර ගැනීමට මොහොමඩ් මුශුෆිර් හට සිදු වූයේ, ඔහුව යම් අවදානම් තත්වයකට ඇද දමමිනි.

තරගයේ 40 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් හමාද් හට ද විනිසුරුතුමා කහ කාඩ්පතක් නිකුත් කළ නිසා, සහිරා ක්‍රීඩකයින් යම් අතිරේක පීඩනයක් ද රඳවා ගෙන ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් දෙපිලේම මැදපෙළ ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කර ගනිමින් කරට කර සටනක නිරත වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ, පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා නොවීමයි.

පළමු අර්ධය අවසානයේ: හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය 0–0 සහිරා විද්‍යාලය

සවස 4.20ට පමණ ආරම්භ වූ මෙම උණුසුම්කාරී තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හමීඩ් අල් හුසේයිනි ක්‍රීඩක මොහොමඩ් බාසිත් හට කහ කාඩ්පතක් නිකුත් විය. ඒ වන විට තරගයේ 46 වන මිනිත්තුව ක්‍රියාත්මක වෙමින් තිබුණි.

තරගය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වන්නට පටන් ගත්තේ තරගයේ මිනිත්තු 50කට අධික කාලයක් ක්‍රීඩා කළ ද, එකoq පිලකට හෝ ගෝලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා වෙනි. හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයට තරගයේ 51 වන මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවක් මඟ හැරී ගියේ සහිරා විද්‍යාලයේ ගෝල රකින්න ක්‍රීඩක මොහොමඩ් සාකීර් දක්ෂතාවය නිසාවෙනි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් මෙම තරගාවලිය තුළ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා වන මුශුෆිර් නැවතත් තරගයේ 55 වැනි මිනිත්තුවේ කහ කාඩ්පතක් හිමිකර ගත්තේ, ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුව පාපන්දු තරගයකට නොගැළපෙන ආකාරයෙන් වැළැක්වීමට ගිය නිසාවෙනි. මුශුෆිර් මෙම තරගය තුළ කහ කාඩ්පත දෙවතාවක් ලබාගත් නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු විය.

තරගයේ වැඩි පීඩනය සහිරා විද්‍යාලය දෙසට තවදුරටත් නතුවූයේ, ඔවුන්ට ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟින් තරගයේ අවසන් මිනිත්තු 25කට ආසන්න කාලය ක්‍රීඩා කිරීමට සිදු වූ නිසාවෙනි.

නමුත් එයින් නොසැලුණු සහිරා කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ හසන් රාසා තරගයේ 67 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර ගත්තේ සිය කණ්ඩායමට මානසික සහනයක් ලබා දෙමිනි.

තරගයේ අවසන් මිනිත්තු 10 තුළ සහිරා ක්‍රීඩකයින් උපක්‍රමශීලීව ක්‍රීඩාවේ නියැලෙනු දක්නට ලැබුණි.

ඔවුන් හැකි මට්ටමින් තම කණ්ඩායම සතුව පන්දුව තබාගෙන ආරක්ෂාකාරිව ක්‍රීඩා කරන්නට විය. අවසානයේ දී සහිරා විද්‍යාලයට ගෝල 1–0ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමි විය. කෙසේ නමුත් ප්‍රතිවාදී හමීඩ් අල් හුසේයිනි ක්‍රීඩකයින් ද මෙම තරගය තුළ කරට කර සටනක් ලබා දෙමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ බව කිව යුතුය.

සම්පූර්ණ කාලය අවසානයේ: හමීඩ් අල් හුසේන් විද්‍යාලය 0–1 සහිරා විද්‍යාලය

ගෝල ලබා ගැනීම,

සහිරා විද්‍යාලය (1) – හසන් රාසා 67’

කහ කාඩ්පත්,

හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය – මොහොමඩ් අමාන් 16’, මොහොමඩ් බාසිත් 46’

සහිරා විද්‍යාලය – මොහොමඩ් මුශුෆිර් 38’, 55‘, මොහොමඩ් හමාද් 40’

රතු කාඩ් පත්

සහිරා විද්‍යාලය – මොහොමඩ් මුශුෆිර් 55’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට