18න් පහළ පාපන්දු ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් ජෝසප්වරුන්ට

599

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අද (30) කොළඹ තුරග තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී සාන්ත පැට්‍රික්ස් විද්‍යාලයීය කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජයට පත්කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

සාන්ත ජෝසප් සහ සාන්ත පැට්‍රික් විද්‍යාල අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (25) මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරතාවය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී මරදාන සහිරා විද්‍යාලයීය කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් පසුව ගෝල 3-3ක් ලෙස තරගය සම තත්වයෙන් නිමාවීමෙන් අනතුරුව දඬුවම් පහර වටයේ දී ඔවුන්ව පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් පසින් යාපනය සාන්ත පැට්‍රික්ස් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-0ක් වශයෙන් පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

තරගය ආරම්භයේ පටන් මද වර්ෂාවකින් බාධා එල්ල වූ අතර ඒ අනුව ක්‍රීඩාංගණය තුළ තිබූ තෙත බරිත තත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකටම තරගයට අවතීර්ණ වීම සඳහා කාලය ගතවිය. කෙසේ නමුත් තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කර ගැනීමට ආසන්නයට පැමිණියත්, එම අවස්ථාවන් ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් අපොහොසත් විය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දිගින් දිගටම ඔවුන්ගේ සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට සමත් වූ අතර ඒ අනුව චලන ප්‍රමන්ත ගෝල රාමුව ආසන්නයට ලබා දුන් පන්දුවකට පහරක්‍ එල්ල කරමින් එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට චමත් රෂ්මිත සමත් විය.

ඉන් අනතුරුව සාන්ත පැට්‍රික්ස් ක්‍රීඩකයින් ද ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර තරගය ආරම්භයේ පටන් ඔවුන් උත්සාහ දැරුවේ දුර සිට එල්ල කරනු ලබන පහරක් හරහා ගෝලයක් වාර්තා කර ගැනීමට යි. ඒ අනුව තරගයේ 16 වන මිනිත්තුවේ දී ක්‍රීඩාංගණයේ මැද භාගයට ආසන්නයේ සිට එල්ල කරනු ලැබූ පහරක් හරහා ඉතා විශිෂ්ට ගෝලයක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට හේන්ස් හැමිල්ටන් සමත් විය.

පසුව නැවතත් තරගය කණ්ඩායම් දෙක දෙසටම දෝලනය වන්නට වූ අතර එහි දී සාන්ත පැට්‍රික්ස් ක්‍රීඩකයින් පන්දුව තමන් සතුව රඳවා ගනිමින්, එය උපක්‍රමශීලීව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් ඔවුන්ගෙන් පන්දුව ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලයේ අසේල මදුෂාන් එය ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් ඉදිරියට රැගෙන යමින් පහරක් එල්ල කළ ද එහි දී පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට යාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමි විය.   

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කර ගනිමින් ලකුණු තත්වයෙන් ඉදිරියට එන්නට උත්සාහ දැරුව ද ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 1 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට ගෝලයක් වාර්තා කර ගනිමින් ලකුණු තත්වයෙන් ඉදිරියට එන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. එහි දී අසේල මදුෂාන් පිටියේ මැද භාගයේ දී පන්දුව ලබා ගනිමින්, ප්‍රතිවාදී ක්‍රීඩකයින් උපක්‍රමශීලීව පසුකරමින් එය ගෝල රාමු කලාපය වෙත රැගෙන ගිය අතර පසුව පන්දුවට පහරක් එල්ල කරමින් එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරන්නට සමත් වූයේ ඔහුගේ දක්ෂතාවය මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

අනතුරුව සාන්ත පැට්‍රික්ස් කණ්ඩායමේ නායක අභීෂන් වෙත සෘජු රතු කාඩ්පතක් නිකුත් වූ අතර ඒ අනුව ඔවුන්ට තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු විය.

පසුව සාන්ත ජෝසප් විද්‍යාලයේ චමත් රශ්මිත පන්දුව අසේල මදුෂාන් වෙත යොමු කළ අතර එහි දී ඉදිරියට ඇදී ආ පන්දුව නිසි පරිදි ග්‍රහණය කර ගන්නට සාන්ත පැට්‍රික්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක කිජුමන් අපොහොසත් වීමත් සමඟ එය ලබාගත් අසේල මදුෂාන් ඉතා පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කර ගන්නට සමත් විය. අනතුරුව සාන්ත පැට්‍රික්ස් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක් දැරුවත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අනුගමනය කළ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.

කාලයත් සමඟ තරගය ඉදිරියට ඇදෙද්දී තරගයේ උණුසුම ඉහළ යන්නට වූ අතර ඒ අනුව සාන්ත පැට්‍රික්ස් විද්‍යාලයේ ජයකුමාර් ශාන්තන් සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ නිමේෂ් සාලින්ද කුරේ අතර පිටිය මැද ඇතිවූ කලහකාරී තත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාටම රතු කාඩ්පත් නිකුත් කරන්නට විනිසුරුවරයා කටයුතු කළේය.

ඒ අනුව තරගයේ දෙවන අර්ධය තුළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රදර්ශනය කළ විශිෂ්ට ක්‍රීඩා විලාශයත් සමඟින් තරගය ගෝල 1-3ක් ලෙස ජයග්‍රහණය කරමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට ඔවුන් සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 3 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අසේල මදුෂාන් (සාන්ත ජෝසප් විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – චමත් රශ්මිත 11’, අසේල මදුෂාන් 45’, 65’,
  • සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය – හේන්ස් හැමිල්ටන් 16’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<