චාරුක සහ අකීල් සාන්ත අන්තෝනුවන්ට ජය ගෙනේ

867

වමත් දඟපන්දු යවන්නන් වන චාරුක ඒකනායක සහ මොහොමඩ් අකීල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 112ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඊයේ (13දා)  සමත් විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ H කාණ්ඩයේ තරගයක් වූ මෙය රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

කමිඳු ඇතුළු රිච්මන්ඩ් කණ්ඩායමට විශිෂ්ට ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වූ තරග අතුරෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනෙක් තරගය ඉනිමකින් හා ලකුණු…

කාසියේ වාසිය දිනාගත් සත්කාරක කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසිය  ද ඔවුන්ට පිටියේ ස්ථාවර වීමට සංචාරක ක්‍රීඩකයෝ ඉඩ හසර ලබා දුන්නේ නැත. වමතින් දඟපන්දු යවන චාරුක ඒකනායක රාජකීය ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙමින් ලකුණු 09කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඔහුට අනගි සහායක් ලබා දුන් අනෙක් වමත් දඟපන්දු යවන්නා වන මොහොමඩ් අකීල් ලකුණු 2කට කඩුලු 3ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනාගේ මේ දක්ෂතා හේතුවෙන් රාජකීය ඉනිම ලකුණු 42 දී නිමා වුණි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර තිබිය දී ඉනිම අත් හිටවූවේ ය. එහි දී ආරම්භක පිතිකරු ඉඳුවර ගලප්පත්තිගේ පන්දු 63ක දී හතරේ පහර 10ක් සමග ලකුණු 69ක් ලබා ගත්තේ ය.

මෙම තරගාවලිය පුරාම ලකුණු අතර සිටින ලහිරු අබේසිංහ මෙම තරගයේ දී ලකුණු 500 කඩ ඉම පසු කිරීම සුවිශේෂි සිදුවීමක් විය. ඔහු මෙම තරගයේ දී පන්දු 16කට මුහුණ දී ලකුණු 52ක් ලබා ගත්තේ ය. ලහිරු මේ දක්වා තරග 6ක දී ඉනිම 6ක් ක්‍රීඩා කරමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 510කි. ඊට ඔහු විසින් ශතක දෙකක් ද එක් කර තිබේ.

ලකුණු 161ක් පිටුපස සිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයන්ට එවර රැස්කර ගත හැකි වූයේ ලකුණු 49ක් පමණි. එම ඉනිමේ දී ද විශිෂ්ට දඟපන්දු යැවීමක නිරත වූ චාරුක සහ ආකීල් කඩුලු 4 බැගින් දවා ගත්තේ ය.

චාරුක මෙම තරගයේ දී පන්දුවාර 24ක් යවමින් නොඉඳුල් පන්දුවාර 10ක් සමඟින් ලකුණු 31කට කඩුලු 9ක් දවා ගන්නේ ය. අකිල් පන්දුවාර 19ක් යවමින් නොඉඳුල් පන්දුවාර 9ක් සමඟින් ලකුණු 17කට කඩුලු 7ක් දවා ගන්නේ ය. දෙවැනි ඉනිමේ දී පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ ලහිරු අබේරත්න පන්දු යැවීමට ද එක්වෙමින් එක් පන්දුවාරයක් යවමින් කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 2ක් ලබා ගන්නේ ය.

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම පන්දු වාර 31.0ක දී සියලුම දෙනා දැවී 42 ( යනුක දිලුක්ෂ 09 , දුල්මිණ නෙත්මාල් 09 , චාරුක ඒකනායක 5/09 , මොහොමඩ් අකීල් 3/02 )

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම පන්දු වාර 25.0ක දී කඩුලු 5ක් දැවී 203 ( ඉඳුවර ගලප්පත්තිගේ 69 , ලහිරු අබේසිංහ 52 , මොහොමඩ් අකිල් 26 , සී. එච්. මැතිව්ස් 20 , දුල්මිණ නෙත්මාල් 2/25 )

රාජකීය විද්‍යාලය; දෙවැනි ඉනිම පන්දු වාර 26.5ක දී සියලුම දෙනා දැවී 49 ( කවීෂ විශ්මිත 10 , තිසර ලක්ෂාන් නොදැවී 10 , මොහොමඩ් අකීල් 4/15 , චාරුක ඒකනායක 4/22 , ලහිරු අබේසිංහ 2/00 )

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න