ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලාංකීය මංපෙත

7968
TUSKERS’ record at Asia’s Annual 15’s Tournament

ආසියාවේ රග්බි අධිකාරිත්වය දරන “ආසියානු රග්බි ආයතනය” (පෙර – ආසියානු රග්බි පාපන්දු සංගමය) විසින් 2008 වසරේ සිට වාර්ෂික රග්බි තරගාවලියක් හඳුන්වා දෙන ලදි. එය පැවැත්වෙන්නේ ආසියානු රග්බි කණ්ඩායම් විවිධ කාණ්ඩවලට බෙදා, ඒවායින් ඉහළ ස්ථාන ලබන්නන් උසස් කිරීමේ සහ පහළ ස්ථාන ලබන්නන් පහතට හෙලීමේ ක්‍රමයටයි.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබයි

පසුගිය වසරේ දී හොංකොං සහ චීන තායිපේ යන රටවල් වල දී පැවති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික ආසියානු කුසලාන රග්බි තරග මාලාවේ දී ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගත් අතර, ඒ නිසාවෙන් …

මේ තරගාවලිය හඳුන්වාදීමත් සමඟ, ඉන් පෙර වසරකට දෙවරක් පැවති ‘රග්බි ඒෂියාඩ්’ තරගාවලිය යළි නොපැවැත්වීමට ඔවුන් තීරණය කළේ සෑම කණ්ඩායමකටම තමාගේ ශක්ති මට්ටමට සමාන ශක්ති මට්ටමකින් යුත් කණ්ඩායම් සමඟින් නිතර තරග කොට ආසියානු රග්බි ක්ෂේත්‍රය තුළ ඉහළට නැගීමට අවස්ථාව සලසා දෙන අරමුණිනි. මෙහි දී ආසියාවේ ඉහළම කාණ්ඩය තුළ කණ්ඩායම් 5ක් තරග වදින අතර ඉන් පහත කාණ්ඩ තුළ කණ්ඩායම් 3 හෝ 4 බැගින් ක්‍රීඩා කරයි.

නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ගත වන 10 වැනි වසර මෙය බැවින්, ThePapare.com අප මේ සූදානම් වන්නේ ආසියානු රග්බි තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නොහොත් ‘ශ්‍රී ලංකා රග්බි ඇත් පවුර’ (Tuskers) දැක්වූ දස්කම් ගැන අවධානය යොමු කිරීමටයි.

2008

මංගල තරගාවලිය ඇරඹුණේ චීන තායිපේ හිදීයි. එහි දී ශ්‍රී ලංකාව ඇතුළත් වූ පළමු කාණ්ඩයෙන් තරග වදින්නට චීන තායිපේ, චීනය සහ සිංගප්පූරුව එක්විය. නමුත් වීසා පිළිබඳ ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් චීනය තරගාවලියෙන් ඉවත් වූ අතර අනෙක් කණ්ඩායම් 3 පමණක් ඉතිරි විය. පළමුව සිංගප්පූරුව හා තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20-20ක් ලෙස තරගය සම කර ගත් අතර පසුව චීන තායිපේට එරෙහිව 35-23ක් වශයෙන් පරාජය විය. සිංගප්පූරුව චීන තායිපේට එරෙහිව 23-22ක තියුණු ජයක් ලද අතර එබැවින් ඔවුන් ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියට සුදුසුකම් ලැබුවේය. චීනය දෙවන කාණ්ඩය තෙක් පහත හෙලන ලදී. චීන තායිපේ සහ ශ්‍රී ලංකාව තවත් වසරක් සඳහා පළමු කාණ්ඩය තුළ රැඳිනි.

ස්ථාන

  1. සිංගප්පූරුව (ලකුණු 8)
  2. චීන තායිපේ (ලකුණු 7)
  3. ශ්‍රී ලංකාව (ලකුණු 3)

2009

පෙර වසරේ දී ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියෙන් ඉවත් කෙරුණු අරාබි ගල්ෆ් කණ්ඩායම සමඟින් *චීන තායිපේ, *ශ්‍රී ලංකාව, *තායිලන්තය (* – දෙවන කාණ්ඩයෙන් උසස්වීම් ලද) තරග වැදුණේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටයි. එහි දී අරාබි ගල්ෆ් කණ්ඩායම, තායිලන්තය සමඟත් ශ්‍රී ලංකා කණ්ඩායම, චීන තායිපේ කණ්ඩායම සමඟත් සටන් වැදුණි. ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක උසස්වීම් ලැබීම සඳහාත් අනෙකුත් කණ්ඩායම් දෙක මෙම කාණ්ඩයෙන් පහතට නොවැටී සිටීම සඳහාත් තරග වැදිණි. ප්‍රතිඵල දිස්වූයේ මේ අයුරිනි.

  • පළමු තරගය – අරාබි ගල්ෆ් 36-17 තායිලන්තය.
  • දෙවන තරගය – චීන තායිපේ 36-24 ශ්‍රී ලංකාව.
  • උසස්වීම් ලැබීමේ තරගය – අරාබි ගල්ෆ් 44-24 චීන තායිපේ.
  • ස්ථානය රඳවාගැනීමේ තරගය – ශ්‍රී ලංකාව 51-17 තායිලන්තය.

අරාබි ගල්ෆ් කණ්ඩායම ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලිය තුළ සිය අසුන නැවතත් තහවුරු කරගනිද්දී තායිලන්තය දෙවන කාණ්ඩය තෙක් පහත හෙලන ලදි. දෙවන වරටත් පළමු කාණ්ඩයේ තම ස්ථානයන් රැක ගැනීමට ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම සමත් විය.


2010

සිංගප්පූරුවේ දී පැවති මෙම තරගාවලියට ඔවුන් හා ශ්‍රී ලංකාව, චීන තායිපේ සහ *මැලේසියාව (* – දෙවන කාණ්ඩයෙන් උසස්වීම් ලද) එක්ව සිටියේය. මෙහිදීත් කණ්ඩායම් තරග වැදුණේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටයි. ශ්‍රී ලංකාව සමඟින් චීන තායිපේ තරග වැදුණු අතර සිංගප්පූරුව සමඟින් තරග වැදුණේ මැලේසියාවයි. ප්‍රතිඵල මෙසේ සටහන් විණි.

  • පළමු තරගය – ශ්‍රී ලංකාව 37-07 චීන තායිපේ.
  • දෙවන තරගය – සිංගප්පූරුව 22-20 මැලේසියාව.
  • උසස්වීම් ලැබීමේ තරගය – ශ්‍රී ලංකාව 23-16 සිංගප්පූරුව.
  • ස්ථානය රඳවාගැනීමේ තරගය – මැලේසියාව 35-08 චීන තායිපේ.

2011 ෆයිව් නේෂන්ස් තරගාවලිය සඳහා උසස්වීම වෙනුවෙන් පැවති තරගයේ දී සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාව, ප්‍රථම වතාවට ආසියානු ප්‍රබලයන් පස්දෙනා අතරට පිවිසියේ ඉතිහාසගත අයුරිනි. මැලේසියාව හමුවේ පරාජය ලද චීන තායිපේ කණ්ඩායම දෙවන කාණ්ඩය තෙක් පහතට හෙලන ලදි.


2011

උක්ත වසරේ ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලිය පැවැත්වුණේ රවුන්ඩ් රොබින් ක්‍රමයටයි. සෑම කණ්ඩායමක්ම සිය නිජබිමේ දී තරග දෙකකටත්, ඉන් පිටත දී තරග දෙකකටත් සහභාගී වීමට නියමිත විය. නිජබිම තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගය 13-13ක් ලෙස සමකරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුව ද ඊළඟ තරග කිහිපයේ දී අසාර්ථකත්වයට පත්වීම හේතුවෙන් 2012 වසර සඳහා නැවතත් පළමු කාණ්ඩය තෙක් පසුබසින්නට ඔවුන්ට සිදුවිය. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවල ප්‍රතිඵල මෙසේයි.

  • ශ්‍රී ලංකාව 13-13 එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
  • හොංකොං 48-03 ශ්‍රී ලංකාව.
  • කසකස්තානය 34-18 ශ්‍රී ලංකාව.
  • ජපානය 90-13 ශ්‍රී ලංකාව.

ස්ථාන

  • ජපානය (ලකුණු 24)
  • හොංකොං (ලකුණු 18)
  • එක්සත් අරාබි එමීර්. රාජ්‍යය (ලකුණු 8)
  • කසකස්තානය (ලකුණු 6)
  • ශ්‍රී ලංකාව (ලකුණු 3).

2012

දෙවන කාණ්ඩයෙන් උසස්වීමක් ලද පිලිපීනයේ දී පැවති ආසියානු රග්බි තරගාවලිය සඳහා කසකස්තානය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව එක්විය. රවුන්ඩ් රොබින් ආකාරයට පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවල ප්‍රතිඵල මෙසේ විය.

  • ශ්‍රී ලංකාව 36-08 චීන තායිපේ.
  • ශ්‍රී ලංකාව 35-10 සිංගප්පූරුව.
  • පිලිපීනය 28-18 ශ්‍රී ලංකාව.

අපරාජිතව වැඩිම ලකුණු වාර්තා කළ පිලිපීනය, 2013 ෆයිව් නේෂන්ස් තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, සහභාගී වූ සියලු තරග පරාජය වූ සිංගප්පූරුව දෙවන කාණ්ඩය තෙක් පසුබසින ලදි. ශ්‍රී ලංකාව සහ චීන තායිපේ, තවත් වසරක් සඳහා පළමු කාණ්ඩයේ රැඳිනි.

ස්ථාන

  • පිලිපීනය (ලකුණු 18
  • ශ්‍රී ලංකාව (ලකුණු 12)
  • චීන තායිපේ (ලකුණු 7)
  • සිංගප්පූරුව (ලකුණු 4)

2013

රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවති මේ තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ දී ය. කසකස්තානය, චීන තායිපේ සහ තායිලන්තය, සහභාගී වූ අනෙකුත් රටවල් ය. අනගි ක්‍රීඩා ශෛලියක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාව මෙහි දී අනෙකුත් සෑම කණ්ඩායමක්ම පරයා ශූරතාවය දිනා ගත්තේය. එහි දී වාර්තා වූ ප්‍රතිඵල මෙසේ විය.

  • ශ්‍රී ලංකාව 39-08 චීන තායිපේ
  • ශ්‍රී ලංකාව 45-07 තායිලන්තය
  • ශ්‍රී ලංකාව 49-18 කසකස්තානය

මේ දස්කම් ප්‍රදර්ශනයත් සමඟින් ශ්‍රී ලංකාව ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියට දෙවන වරටත් සුදුසුකම් ලද අතර අනෙකුත් කණ්ඩායම් සමඟින් දැඩි සටනක් දුන් තායිලන්තය දෙවන කාණ්ඩය තෙක් පහතට හෙලන ලදි. චීන තායිපේ සහ කසකස්තානය තවත් වසරක් සඳහා පළමු කාණ්ඩයේ ඉඩකඩ වෙන්කර ගත්තේය.

ස්ථාන

  • ශ්‍රී ලංකාව (ලකුණු 18)
  • කසකස්තානය (ලකුණු 6)
  • චීන තායිපේ  (ලකුණු 6)
  • තායිලන්තය (ලකුණු 5)

2014

2014 වසරේ ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව කණගාටුදායක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින්, තමන් සහභාගී වූ සියලු තරග පරාජය විය. ආසියාවේ සුපිරිතම කණ්ඩායම් ත්‍රිත්වය අතින් දැවැන්ත පරාජයන් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයක් ලබා දීමට සමත් වූයේ පිලිපීනයට පමණි. එහි දී වාර්තා වූ ප්‍රතිඵල පහත පරිදි විය.

  • කොරියාව 59-03 ශ්‍රී ලංකාව.
  • හොංකොං 41-10 ශ්‍රී ලංකාව.
  • ජපානය 132-10 ශ්‍රී ලංකාව.
  • පිලිපීනය 26-25 ශ්‍රී ලංකාව.

මින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 2015 දී පළමු කාණ්ඩය තෙක් පහත හෙලන ලදි. පිලිපීනයට ද එම කාණ්ඩය තෙක්ම පහත බසින්නට සිදුවූයේ ආසියානු රග්බි ආයතනය විසින් “ආසියානු රග්බි ශූරතාවලිය” ලෙස වඩාත් තරගකාරී තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කිරීම හේතුවෙනි. මීට කණ්ඩායම් තුනක් ඇතුළත් වූ අතර තම රට තුළ සහ ඉන් පිටත දී ඔවුන් තරග වැදිණි. ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියේ හොඳම කණ්ඩායම් තුන බවට පත්වූ ජපානය, හොංකොං සහ කොරියාව ඊට සුදුසුකම් ලැබීය.

ස්ථාන

  1. ජපානය (ලකුණු 24)
  2. හොංකොං (ලකුණු 18)
  3. කොරියාව (ලකුණු 12)
  4. පිලිපීනය (ලකුණු 6)
  5. ශ්‍රී ලංකාව (ලකුණු 1)

2015

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වුණු මෙම තරගාවලිය තුළ දී කසකස්තානය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ සත්කාරක පිලිපීනය තරග වැදිණි. ප්‍රතිඵල පහත පරිදි විය.

    • පළමු තරගය – ශ්‍රී ලංකාව 35-14 කසකස්තානය.
    • දෙවන තරගය – පිලිපීනය 20-17 සිංගප්පූරුව.
    • උසස්වීම් ලැබීමේ තරගය – කසකස්තානය 32-12 සිංගප්පූරුව
  • ස්ථානය රඳවා ගැනීමේ තරගය – ශ්‍රී ලංකාව 27-14 පිලිපීනය

මේ තරගාවලිය තුළ පළමු කාණ්ඩයේ ප්‍රමුඛ කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකාවට ආසියාවේ සුපිරි කණ්ඩායම් ත්‍රිත්වය අතරට යෑම සඳහා කොරියාවට එරෙහි තරගයක් ක්‍රීඩා කිරීමට සිදු වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ එයට සහභාගී නොවී පළමු කාණ්ඩය තුළම රැඳීමටයි.


2016

දෙවන කාණ්ඩයෙන් පළමු කාණ්ඩයට උසස්වීමක් ලැබූ මැලේසියාව විසින් මෙම තරගාවලිය සංවිධානය වූ අතර එවකට ශූර ශ්‍රී ලංකාව, පිලිපීනය සහ සිංගප්පූරුව ඊට එක්ව සිටියේය. ශ්‍රී ලංකාව එහි දී පසු කළ තරගවල ප්‍රතිඵල මෙසේයි.

  • ශ්‍රී ලංකාව 33-17 සිංගප්පූරුව.
  • මැලේසියාව 42-17 ශ්‍රී ලංකාව.
  • ශ්‍රී ලංකාව 25-21 පිලිපීනය.

මේ තරගාවලියේ ශූරතාවය මැලේසියාව විසින් දිනා ගත් අතර ශ්‍රී ලංකාවට හිමි වූයේ දෙවන තැනයි. පිලිපීනය සහ සිංගප්පූරුව පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථානවලට පත්විය.

ස්ථාන

  1. මැලේසියාව (ලකුණු 11)
  2. ශ්‍රී ලංකාව  (ලකුණු 9)
  3. පිලිපීනය (ලකුණු 7)
  4. සිංගප්පූරුව (ලකුණු 5)

2017

මේ වසරේ තරගාවලිය ද පැවැත්වෙන්නේ මැලේසියාවේදීයි. එය මැයි 14 සිට 20 වැනිදා දක්වා රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ. ඊට මැලේසියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහභාගී වෙයි. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වන තරග මෙසේ වේ.

  • ශ්‍රී ලංකාවට එරෙහිව පිලිපීනය (මැයි 14)
  • ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (මැයි 17)
  • ශ්‍රී ලංකාවට එරෙහිව මැලේසියාව (මැයි 20)

සාරාංශයක්

නව තරගාවලිය හඳුන්වා දීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩය තුළ ඉහළ දස්කම් පා ඇත. 2010, 2013 සහ 2015 යන වර්ෂ තුනේදීම ශූරතාවය හිමි කර ගැනීමට සමත්ව ඇති ශ්‍රී ලංකාව, 2012 සහ 2016 යන වර්ෂවල දී දෙවන ස්ථානයට පත්ව ඇත. 2008 සහ 2009 යන වර්ෂවල තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවයි. 2011 සහ 2014 යන දෙවසරේදීම ආසියාවේ සුපිරිතම කණ්ඩායම් 5 අතර පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම, නව තරගාවලි ක්‍රමය හඳුන්වාදීමෙන් පසු ආසියාවේ සුපිරිතම රග්බි කණ්ඩායම් 3 හා සමානවම පළමු කාණ්ඩයෙන් පහතට නොවැටී ඇති කණ්ඩායමකි.

2017 වසරේ ශූරතාවය ද සමඟින් සිය 4 වැනි ශූරතාවයත් ලබා ගැනීමට “ශ්‍රී ලංකා රග්බි ඇත්පවුරට” ThePapare.com අපි ඉතසිතින් සුබ පතමු.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට