ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ වෙනස්කම් 02 ක්

337
Sri Lanka 7s Rugby Squad 2017

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇති අතර එයට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙපළක් වන දනුෂ්ක රංජන් සහ චානක චන්දිමාල් යන ක්‍රීඩකයින් ඇතුළත් කර ඇත.

තරගාවලියේ පළමු අදියර සඳහා සංචිතයට ඇතුළත්ව සිටි කවිඳු පෙරේරා සහ සමිත් ධනංජය වෙනුවට දනුෂ්ක සහ චානක හට සංචිතයේ ස්ථාන ලබා දී ඇත.

කවිඳු පෙරේරා සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරා හට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර සඳහා නම් කරන ලද කණ්ඩායමෙන් ඉවතට යාමට සිදුව ඇත.

ඒ අනුව සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමට තරගාවලියේ දෙවැනි අදියර සඳහා පසුගිය වසරේ කණ්ඩායමේ නායකයාගේ මෙන්ම කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වන දනුෂ්ක රංජන්ගේ ද සේවය ලැබෙනු ඇත.

24 හැවිරිදි මහනුවර ක්‍රීඩා සමාජයේ ‘Center’ ක්‍රීඩකයෙක් වන දනුෂ්ක රංජන්, පසුගිය මැයි මාසයේ දී පැවති ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාවලිය අතරතුර ආබාධයකට ලක්වූ අතර ඉන් සම්පූර්ණයෙන් සුවය නොලැබීම නිසා ඔහුට මෙම තරගාවලියේ පළමු අදියරට ක්‍රීඩා කිරීමට නොහැකි විය.  

කෙසේ නමුත් ඔහු ආරම්භයේ පටන් කණ්ඩායම සමඟ පුහුණුවීම්වල නිරත වූ අතර එමනිසා ඔහුට සිය සුපුරුදු රිද්මයට පැමිණීම ඉතා අපහසු කාර්යයක් නොවනු ඇත.  

චානක චන්දිමාල් තරගාවලියේ පළමු අදියර සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් කරනු ලැබූවත්, ඔහුට පැපොල රෝගය වැළදීම නිසා ඔහුට ද තරගාවලියේ පළමු අදියර සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වූ නමුත් ඔහුව නැවතත් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ඇතුළත් කර ඇත.

ඒ අනුව පළමු අදියර සඳහා ක්‍රීඩා කරනු ලැබූ කවිඳු පෙරේරා සිය පාදයේ සුළු ආබාධයකට ලක්වීම නිසා තරගාවලියේ දෙවැනි අදියර සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් කර නොමැති අතර සමිත් ධනංජය ද එම සංචිතයට ඇතුළත් කර නැත.

කෙසේ නමුත් බෙල්ල ප්‍රදේශයේ ආබාධයකින් සුවය ලැබූ රිචඩ් ධර්මපාල මෙම සංචිතයට ඇතුළත් කර නොමැත.

“අපිට රිචඩ්ව කණ්ඩායමට ඇතුළත් කරලා අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. ඔහු බරපතල බෙල්ලේ ආබාධයකින් සුවය ලැබුවා විතරයි. ඒ නිසා අපි ඔහුට සුවය ලබාගන්න තවත් කාලය ලබා දෙනවා.”

ජාතික තේරීම් සංචිතයේ මයිකල් ජයසේකර මහතා රිචඩ් ධර්මපාල සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

“බෙල්ල ප්‍රදේශයේ ආබාධයක් කියන්නේ බරපතල තවත්වයක්.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

පළමු අදියරේ පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියර අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව නිමාවට පත් කරන්නේ ප්‍රථම අදියරේ පස්වැනි ස්ථානය දිනා ගනිමිනි.

කණ්ඩායමට ඇතුළත් කර සිටි වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් 06 දෙනා තරගාවලියේ දෙවැනි අදියරට ද ඒ ආකාරයටම ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියේ දෙවැනි අදියර සඳහා පිවිසෙන්නේ පළමු ස්ථාන 04 අතරට පැමිණීමේ අපේක්ෂාවෙනි.

තරගාවලියේ පළමු අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඔවුන් 05 වෙනි ස්ථානයේ රැඳෙමින් පලඟ ශූරතාවයට හිමිකම් කියමින් පළමු අදියර අවසන් කළේය. නමුත් දකුණු කොරියාවේ දී ඉහළ දස්කම් දක්වමින් හොඳම කණ්ඩායම් 03 අතරට පැමිණීමට ඔවුන් බලාපොරොත්තු වනු ඇත.

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය

  • සුදර්ශන මුතුතන්ත්‍රි – හැව්ලොක් ක්‍රී. ස.
  • ජේසන් දිසානායක – මහනුවර ක්‍රී. ස.
  • දනුෂ්ක රංජන් – මහනුවර ක්‍රී. ස.
  • සුදම් සූරියආරච්චි – හැව්ලොක් ක්‍රී. ස.
  • චානක චන්දිමාල් – නාවික හමුදා ක්‍රී. ස.
  • ඔමල්ක ගුණරත්න – CR & FC ක්‍රී. ස.
  • කෙවින් ඩික්සන් – හැව්ලොක් ක්‍රී. ස.
  • බුද්ධිම පියරතන – නාවික හමුදා ක්‍රී. ස.
  • තරින්ද රත්වත්තේ – CR & FC ක්‍රී. ස.
  • නවීන් හේනකන්කානම්ගේ – සාන්ත තෝමස් විද්‍යාලය
  • දනුෂ් ඩයන් – මහනුවර ක්‍රී. ස.
  • හිරන්ත පෙරේරා – හැව්ලොක් ක්‍රී. ස.

කණ්ඩායම මෙම මස 20 වන දා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට