ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසාන අදියර මෙම සති අන්තයේදී කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. මව්බිමේදී තරගාවලී ශූරතාවක් ලබා ගනු පිණිස ක්‍රීඩා කරන්නාවූ ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

පසුගිය ලිපි: ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය මෙවර කොළඔදී

හිටපු ජාතික කණ්ඩායම් නායක සුදර්ශන මුතුතන්ත්‍රී නැවතත් කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන මුතුතන්ත්‍රී හට තරගාවලියේ පළමු හා දෙවන අදියර මඟහැරී ගියේ ඔහුගේ මැණික් කටුව අසල ඇතිවූ අබාධ තත්ත්වයක් නිසාවෙනි. ප්‍රථම අදියරේදී දක්ෂතා අතර සිටි, එහෙත් දකුණු කොරියාවේ පැවති දෙවන අදියරේදී ඇතිවූ ආබාධ තත්ත්ව හේතුවෙන් සහභාගී වීමට නොහැකි වූ ක්‍රීඩකයින් දෙදෙනෙක්ද අවසාන අදියරේ තරග සඳහා කණ්ඩායම වෙත එක්ව සිටිනු දැකගත හැකි. එසේ නැවතත් ආබාධ සුව වීමෙන් අනතුරුව කණ්ඩායමට එක්ව ඇත්තේ ජේසන් දිසානායක හා කෙවින් ඩික්සන් යන ක්‍රීඩකයින් දෙදෙනාය.

“මම බෙහෙවින් සතුටු වෙනවා වත්මන් නායක ධනුශ්ක රන්ජන් යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම ගැන. ජේෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිව ඔහු පළමු හා දෙවන අදියරේදී කණ්ඩායම මෙහෙයවූ ආකාරය කැපී පෙනෙන කාර්යයක්. එමඟින් ඔහුගේ නායකත්වයේ ආකල්පය සහ සාර්ථකත්වය සනාථ කරවීමට ඔහු සමත් වෙලා තිබෙනවා.” යැයි හිටපු කණ්ඩායම් නායක සුදර්ශණ මුතුතන්ත්‍රී විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදි.

තරගාවලියේ පසුගිය තරග සඳහා නම් කරනු ලැබූ හිරන්ත පෙරේරා, සශාන් මොහොමඩ් හා සාලිය හඳපාන්ගොඩ මෙවර කණ්ඩායමට නම් නොකළ ක්‍රීඩකයින් වේ. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන වින්ග් ක්‍රීඩක සාලිය හඳපාන්ගොඩ පසුගිය තරගාවලියේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන තරගය දක්වා ක්‍රීඩා කිරීමට, තම වගකීම් මනාව හදුනා ගනිමින් ක්‍රීඩා කල ක්‍රීඩකයෙකු ලෙස ඔහු හැදින්විය හැකිය. හොංකොං ක්‍රීඩක ටොම් මැක් කුයීන් විසින් එල්ල කරන ලද ටකල් පහරකින් මිදීමට යාමේදී කලවයේ ඇති වූ අබාධයක් හේතුවෙන් අවසාන අදියරේ තරග ඔහුට අහිමි වී ඇත.

“අපි හොංකොං හි පැවති පළමු අදියරේදී ශූරතාවය සමීපයටම පැමිණියා. දෙවන අදියර පැවති දකුණු කොරියාවේදීත් අවසාන තරගය දක්වා ක්‍රීඩා කළා. ඒ අදියර දෙකම සැලකිල්ලට අරගෙන සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් ක්‍රීඩා කරන්නයි අපේ බලාපොරොත්තුව. මං හිතනවා මේක වඩාත් හොඳ සමබර කණ්ඩායමක් කියලා සහ මව්බිමේදී මේ කණ්ඩායම තමුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරයි කියල” යැයි ජාතික කණ්ඩායමේ කළමණාකාර රොහාන් චින්තක මහතා ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා සංචිතය –

දනුශ්ක රන්ජන් (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචර්ඩ් ධර්මපාල, දුලාජ් පෙරේරා, දනුශ් දයාන්, කාංචන රාමනායක, කවිඳු පෙරේරා, ජේසන් දිසානායක, කෙවින් ඩික්සන්, සුදර්ශන මුතුතන්ත්‍රි, ඔමල්ක ගුණරත්න, තරින්ද රත්වත්තේ.

ඔබ සිතන ආකාරයට ශූරතාවය දිනාගනු ඇත්තේ කුමන කණ්ඩායම විසින්ද, ඔබේ මතය ඉහත ඇති මත විමසුමට එකතු කරන්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට