ආසියානු කඹය අදින්නට පෙර

1091

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන 13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලිය සහ 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය මෙම මස (දෙසැම්බර්) 15, 16 යන දෙදින පුරා කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මට්ටමේ කඹ ඇදීමේ තරගාවලියක් මෙරට දී පවත්වනු ලබන පළමු වතාව මෙය වන අතර එයට රටවල් 6ක් සහභාගී වේ. පැවැත්වීමට නියමිත ආසියානු කඹ ඇදීමේ තරගාවලියට ප්‍රථම කඹ ඇදීමේ ක්‍රීඩාවේ වගතුග පිළිබඳව ඔබට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ආසියාවේ ශක්තිවන්තයින් තෝරන තරගාවලියක් මෙරටදී

ආසියානු කඹ ඇදීමේ සංගමයේ සහ දකුණු ආසියානු කඹ ඇදීමේ සංගමයේ අනුදැනුම මත ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය සංවිධානය කරනු ලබන “13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලිය” සහ…

කඹ ඇදීමේ ඉතිහාසය

ලෝකයේ නොයෙක් රටවල් වල ඈත අතීතයේ සිටම කඹ ඇදීමේ තරග පවත්වා ඇති බවට බොහෝ සාක්ෂි මේ වන විට හමුවී ඇත. කාම්බෝජියාව, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ජපානය, කොරියාව, හවායි දූපත් සහ දකුණු අප්‍රිකාව යනාදී රටවල් වල ආදී කාලීන ජන කොටස් ඔවුනොවුන්ගේ ආගමික ඇදහිලි සහ විශ්වාස ආශ්‍රයෙන් ඔවුන්ගේ උත්සව සඳහා කඹ ඇදීම සිදුකර ඇත. කාම්බෝජියාවේ ආදී ජනයා සූර්යයා සහ චන්ද්‍රයා වන්දනා කරමින් “දේව” සහ “අසුර” ලෙස කණ්ඩායම් දෙකකට බෙදී කඹ ඇදීම සිදුකර ඇති බවට ප්‍රසිද්ධ දේවස්ථානයක් වන “අන්කොර්-වාට්” දේවස්ථානයෙන් හමුවී ඇති කැටයම් වලින් පිළිබිඹු වේ. ආදී ඊජිප්තු රණකාමීන් සහ චීන රණකාමීන් ඔවුනොවුන් අතර ශක්තිවන්තයා තේරීම සඳහා කඹ ඇදීම යොදාගෙන ඇත. අතීතයේ බටහිර යුරෝපයේ ද කඹ ඇදීම මඟින් ශක්තිවන්තයින් තෝරාගත් බවට ස්කැනේඩියානු සහ ජර්මානු වීරකතා වලින් සාක්ෂි හමුවී තිබේ.

“දේව” සහ “අසුර” යන කණ්ඩායම් දෙක කඹ ඇදීම පෙන්නුම් කරන “අන්කෝර්-වාට්” දේවස්ථානයේ තිබෙන කැටයමක්. Courtesy – Wikipedia

කණ්ඩායම් ආකාරයෙන් පමණක් නොව තනි තනි වශයෙන් ද කඹ ඇදීම පවත්වා ඇති බවට පැහැදිලි සාක්ෂි කැනඩාවෙන් හමුවී තිබේ. කැනේඩියානු එස්කිමෝවරුන් අතර ඈත අතීතයේ සිටම “අර්සාර්ක්” නම් කඹ ඇදීමේ තරග පවත්වා ඇති අතර එම තරග වර්තමානයේදීත් ඔවුන් පවත්වයි.

19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කඹ ඇදීමේ ක්‍රීඩාවට යම් යම් නීතිරීති එක්කරන ලද අතර නාවිකයන් මඟින් ඔවුන් එය ලොව වටා ප්‍රචාරය කිරීමට සමත් විය. 1900 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද ඇතුළත් කරන කඹ ඇදීමේ ක්‍රීඩාව 1920 වසරේ දී ඉන් ඉවත් කරනු ලබන්නේ ජගත් ඔලිම්පික් කමිටුව මඟින් ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව අවම කිරීමටයි. ඉන්පසු ප්‍රථම වරට කඹ ඇදීමේ ජාතික සම්මේලනයක් ස්වීඩනයේ දී ආරම්භ කරනු ලබන්නේ 1933 වසරේ දීයි. වර්ෂ 1958 දී එංගලන්තය විසින් කඹ ඇදීමේ සංගමයක් (Tug of War Association) පිහිටු වනු ලැබූ අතර 1984 වසරේ දී මහා බ්‍රිතාන්‍ය කඹ ඇදීමේ සම්මේලනය (Tug of War Federation of Great Britain) පිහිටුවීය.

1958 වසරේ දී එංගලන්තයේ පිහිටුවනු ලැබූ කඹ ඇදීමේ සංගමයේ ලාංඡනය Courtesy – Twitter.com

වර්තමානයේ දී ජාත්‍යන්තර කඹ ඇදීමේ සම්මේලනය මඟින් වසර දෙකකට වරක් ලෝක කඹ ඇදීමේ ශූරතා තරගාවලි පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකාව තුළ කඹ ඇදීම  

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධානතම උත්සවයකි. එම උත්සවයට පසු රටපුරාම පවත්වන අවුරුදු උත්සවවල සිදු කරනා ප්‍රධාන අංගයක් වන්නේ කඹ ඇදීමේ තරගයි. සැබැවින්ම මෙරට තුළ කඹ ඇදීමේ තරග නොමැතිව පවත්වන අවුරුදු උත්සව නොමැති තරම් ය. එතරම්ම එය මෙරට ජනතාව තුළ ප්‍රචලිතය.

අලුත් අවුරුදු උත්සවයක පැවැත්වෙන කඹ ඇදීමේ තරගයක්. Courtesy – videoblocks.com

ශ්‍රී ලංකාවට කඹ ඇදීමේ ක්‍රීඩාව හඳුන්වා දෙන්නේ එම්. ටී. ප්‍රනාන්දු මහතා විසිනි. ශ්‍රී ලංකාව තුළ කඹ ඇදීම ක්‍රීඩාවක් ලෙස නීතිරීති වලට අනුව තරග පැවැත්වීම ආරම්භ වූයේ 2004 වසරේ දී ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය පිහිටුවීමත් සමඟයි. ඉන් වසර දෙකකට පසු ජාත්‍යන්තර කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. දැනට දිවයින පුරා විසිරී පවතින කඹ ඇදීමේ ක්‍රීඩා සංගම් 23ක් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන අතර මේ වනවිට ජාතික කඹ ඇදීමේ ශූරතාවලි 13ක් පවත්වා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපතිධූරය කර්නල් ජානක රණසිංහ මහතා විසින් හොඹවන අතර ලේකම්වරයා ලෙස ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

ලෝකයේ විවිධාකාරයේ කඹ ඇදීම්

ලෝකයේ විවිධ රටවල් කඹ ඇදීමේ තරගවල දී විවිධ ආකාරයේ කඹ භාවිතා කර ඇත. කොරියාවේ පැවැත්වෙන සම්ප්‍රදායික කඹ ඇදීමේ තරග සඳහා ඔවුන් කඹය ලෙස යොදාගනු ලබන්නේ එකිනෙකාගේ බඳවල් අත්වලින් වෙලාගෙන සාදාගනු ලබන මනුෂ්‍ය දම්වැලකි. ඇෆ්ගනිස්ථානයේ සම්ප්‍රදායික කඹ ඇදීමේ තරග වලට යොදාගනු ලබන්නේ ලී රිටකි. පේරු රාජ්‍යයේ කඹ ඇදීමේ තරග පවත්වන්නේ පිහිනුම් තටාක වලයි. එහි දී කුඩා ලණුවක් භාවිතා කරන ඔවුන් එක් කණ්ඩායමකට 3 දෙනා බැගින් කණ්ඩායම් දෙකකට බෙදී පිහිනුම් තටාකය ඉහළ රඳවා තිබෙන වේදිකාවන් දෙකක කඹ ඇදීම ආරම්භ කරයි. එහි දී එක් කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායම පිහිනුම් තටාකයට ඇද දැමිය යුතුවේ.

පෝලන්තයේ පැවැත්වෙන විශේෂ කඹ ඇදීමේ තරගයක්.    Courtesy – mashable.com

කැනේඩියානු එස්කිමෝවරුන් පවත්වන “අර්සාර්ක්” නම් කඹ ඇදීමේ තරග සඳහා කෙටි කඹයක් භාවිතා කරන අතර තරගයට පෙර ක්‍රීඩකයින් දෙදෙනා කඹය අල්ලා බිම වාඩිවීම සිදුකරයි. තරගය ආරම්භ කර පසු වාඩිවී සිටි තැනින් තම ප්‍රතිවාදියා ඇද ගැනීමට සමත් වූ ක්‍රීඩකයාට මෙහි දී ජයග්‍රහණය හිමි වේ. පෝලන්ත ජාතිකයන් ද කඹ ඇදීම සිදුකරන්නේ ජල තටාකයකයි. එහි දී කඹයක් හෝ ලීයක් හෝ යොදා ගනිමින් ඇදීමක් සිදු නොකරන අතර එක් කණ්ඩායමකට 6 දෙනා බැගින් කණ්ඩායම් දෙකක් දිගින් වැඩි ඔරුවක නැගී මුහුණට මුහුණලා ඔරුව පැදීම සිදුකරයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කඹ ඇදීම

1904 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ඔලිම්පික් උළෙලේ කඹ ඇදීමේ තරගයක්. Courtesy – Wikipedia

කඹ ඇදීමේ ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වන්නේ 1900 වසරේ දීයි. එම වසරේ ප්‍රංශයේ පැවති ඔලිම්පික් උළෙලේ කඹ ඇදීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ස්වීඩනය යි. ඇමරිකා එක්සත් ජනපදය රිදී පදක්කමත් සත්කාරක ප්‍රංශය ලෝකඩ පදක්කමත් හිමිකර ගැනීමට සමත් විය. එම වසරේ සිට 1920 වසරේ බෙල්ජියමේ පැවති ඔලිම්පික් උළෙල දක්වා කඹ ඇදීමේ තරග පැවැත්විය. කඹ ඇදීමේ ඉසව්වෙන් ඔලිම්පික් උළෙලක පිරිනැමූ අවසන් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූයේ එංගලන්තය යි.

ශ්‍රී ලංකාවේ දී පළමු වරට පැවැත්වීමට නියමිත ආසියානු සහ දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලි මෙම මාසයේ දී පැවැත්වෙන අතර එහි දී ආසියාවේ සහ දකුණු ආසියාවේ සිටිනා ශක්තිවන්තයින් කවුරුන්ද යයි දැක බලාගත හැකිය. එය දැකබලා ගැනීමට ඔබටත් මෙම මස (දෙසැම්බර්) 15 සහ 16 යන දිනයන් වල කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ThePapare.com අපි ආරාධනා කරන්නෙමු.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<