ශ්‍රී ලංකා කඹ අදින්නෝ පදක්කම් සියල්ල තමන්ගේ දෙසට ඇදගනී

972

13 වැනි ආසියානු හා 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලීන් අද (15) කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ දී ආරම්භ වූ අතර උදෑසන වරුවේ ආසියානු කඹ ඇදීමේ ශූරතාවලියේ තරග ද සවස් වරුවේ දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලියේ තරග ද පැවැත්විය.

දිනය පුරා ටොරින්ටන් පිටියේ සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන් සහභාගී වූ තරගවලින් එක් තරගයක් හැර අනෙකුත් තරග සියල්ලම ජය ගෙන අවසන් මහා තරග සඳහා පිවිසීම විශේෂත්වයකි.

ආසියානු කඹය අදින්නට පෙර

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන 13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලිය සහ 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය මෙම මස (දෙසැම්බර්) 15, 16 යන දෙදින පුරා…

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර කඹ ඇදීමේ තරගාවලිය මෙය වන අතර ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියි. ආසියානු ශූරතාවය කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වුණු අතර ඒවා පිරිමි කිලෝග්‍රෑම් 640 බර පන්තිය, කාන්තා කිලෝග්‍රෑම් 560 බර පන්තිය හා මිශ්‍ර කිලෝග්‍රෑම් 600 බර පන්තිය යන කාණ්ඩ යටතේ පැවැත්විය. මෙහි දී එක් කණ්ඩායමකට තරගකරුවන් අට දෙනෙකු ඇතුළත් වූ අතර මිශ්‍ර තරග සඳහා ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයින් සිව්දෙනා බැගින් ඇතුළත් විය.

ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් මුහුණ දුන් සියලුම තරග ජයගත්තේ ප්‍රතිවාදීන්ව පහසුවෙන් පරාජය කරමිනි. කිලෝග්‍රෑම් 640 කාණ්ඩයේ පිරිමි තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හා ඉන්දියාව පහසුවෙන් පරාජය කළේ තෙවන වටය දක්වා යාමටවත් ඔවුන්ට ඉඩක් ඉතිරි නොකරමිනි. ඒ අනුව අවසන් මහා තරගයේ එක් අසුනක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර කාණ්ඩයේ දෙවන හා තෙවන ස්ථානය පාකිස්තානය හා ඉන්දියාව දිනා ගත්තේය. අවසන් මහා තරගයේ අවසන් අසුන සඳහා ඉන්දියාව හා පාකිස්තානය හෙට (16) අවසන් පූර්ව තරගයේ දී තරග වදිනු ඇත.

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

කාන්තා කිලෝග්‍රෑම් 540 කාණ්ඩයේ ජය හා මිශ්‍ර කිලෝග්‍රෑම් 600 ඉසව්වන් වලද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූ සියලු තරග ජය ගත්තේ ඉන්දියාව හා පාකිස්ථානය පරාජය කරමින්.එම කාණ්ඩ දෙකේම දෙවන ස්ථානය ඉන්දියාව දිනාගත් අතර අවසන් මහා තරගයට පිවිසීම සඳහා එම කණ්ඩායම් දෙක හෙට අවසන් පූර්ව තරගවල තරග වදිනු ඇත.

සවස් වරුවේ පැවැත්වුණේ දකුණු ආසියානු ශුරතාවයයි. ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වුනේ උදෑසන තරග කළ කණ්ඩායම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් නවක මුහුණු සමඟිනි.

එහි ද තරග ඉසව් තුනක් පැවැත්වුණේ බර කාණ්ඩ තුනක් යටතේයි. පිරිමි කිලෝග්‍රෑම් 600, කාන්තා කිලෝග්‍රෑම් 480 හා මිශ්‍ර කිලෝග්‍රෑම් 560 යනු ඒ බර කාණ්ඩයි.

පිරිමි කිලෝග්‍රෑම් 600 බර කාණ්ඩයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. යම්කිසි සිදුවීමක් නිසා විනිසුරු හා සංවිධායකයින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට පියවර ගන්නා ලද්දේ මිනිත්තු කිහිපයක් තරගය පමාවීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් සිය දෙවන තරගයේ දී ඉන්දියාව පරාජය කරන්නට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව ඔවුන් අවසන් මහා තරගයට පිවිසුණු අතර ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයේ හෙට තරග වදිනු ඇත.

ආසියාවේ ශක්තිවන්තයින් තෝරන තරගාවලියක් මෙරටදී

ආසියානු කඹ ඇදීමේ සංගමයේ සහ දකුණු ආසියානු කඹ ඇදීමේ සංගමයේ අනුදැනුම මත ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය සංවිධානය කරනු ලබන “13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලිය” සහ…

කාන්තා කිලෝග්‍රෑම් 480 කාණ්ඩයේ හා මිශ්‍ර කිලෝග්‍රෑම් 560 කාණ්ඩවලින් ද පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ඉන්දු, පාකිස්තාන කණ්ඩායම් පරාජය කරමිනි. ඒ අනුව එම කාණ්ඩවල ද අවසන් පූර්ව වටයන් සඳහා ඉන්දු, පාකිස්තාන කණ්ඩායම් තරග වදිනු ඇත.

හෙට (16) තරගාවලියේ දෙවන දිනයයි. ආසියානු හා දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලියේ අවසන් පූර්ව තරග හෙට සවස 1ට ආරම්භ වන අතර අවසන් මහා තරග සවස 3 සිට පැවැත්වෙනු ඇත.

පළමු වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික කඹ ඇදීමේ තරගාවලියක සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<